27 C
Colombo
2024-07-05
mediahumanrights.lk
Local News News

සිපෙට්කෝ පොකුරක් ඇතිකර රටම අඩපණ කරන්න සැලසුමක්..

බලශක්ති අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේ දී බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් මෙම අදහස් පල කලේය.

ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සිදුවන්නේ කුමක්දැයි මෙලෝ හසරක් අවබෝධයක් නොමැති ආනන්ද පාලිත නැමැති විශ්‍රාමික සේවකයෙකු යොදාගෙන විපක්ෂය විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් පච මල්ලක් අතහරිනවා අප ඊයේ දැක්කා. දැනට සේවයේ යෙදී සිටින්නෙක් වෙනුවට විශ්‍රාම ලැබූ පුද්ගලයෙකු ගෙන් වා මේ කරුණු ඉදිරිපත් කිරීම හරහා විපක්ෂය අද වන විට කෙතරම් බංකොලොත් වී ඇත්දැයි කියන එකයි පෙන්නුම් කළේ. අවාසනාවකට එම විශ්‍රාමික නිලධාරියා තමන් නොදන්නා කරුණු දන්නා ලෙසින් කියාපෑමට දැරූ උත්සාහය මාධ්‍ය මගින්ද ප්‍රචාරය වූ නිසා අපට මෙයට පිළිතුරු බඳින්නට සිදුවෙනවා.

විපක්ෂයේ උත්සාහය වී ඇත්තේ කොරෝනා තෙල් පොකුරක් බිහිවී ඇති බවට අනිසි බියක් ඇතිකර සේවකයින් රාජකාරියට වාර්තා කිරීම වළක්වා මේ රටේ ආහාර ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාහැරීම අඩපණ කිරීමත් ලංකා විදුලිබල මණ්ඩලයට තෙල් සැපයීම නතර කරලා රට අඳුරේ තැබීමත් කියන යටි අරමුණු වලින් කටයුතු කිරීමයි. මේ පදනම් විරහිත චෝදනා නගන්නේ ඒ නිසා බවයි අප විශ්වාස කරන්නේ. ඒ නිසා මේ බොරුව බොරුවක් බවට රට හමුවේ පැවසීම අපේ වගකීමක් වෙනවා.

පසුගිය 14 වැනිදා පෞද්ගලික රෝහලකට ඇතුළත් වීමට ගිය ආයතනයේ සේවකයෙකුට පීසීආර් පරීක්ෂණයක් සිදු කරනවා. ඔහු පසුවදා කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගන්නවා. කොරෝනා හැදුණු බවට හඳුනාගත් රෝගියා ආයතනය විසින් ගෙදර යවා නැහැ. එම පුද්ගලයා කොරෝනා රෝගියෙකු ලෙසින් හඳුනාගන්නා විටත් ඔහු ගෙදර රැඳී සිට තිබෙනවා. ඒ අනුව 15 වැනිදා එම සේවකයා විසින් ආයතනයේ කළමනාකාරීත්වය දැනුවත් කරනවා තමන් කොරෝනා ආසාදිතයෙකු ලෙසින් හඳුනාගෙන තියෙන බවට. ඒ අනුව ඔහුගේ පළමු ආශ්‍රිතයන් 15 වැනිදා සවසම පීසීආර් පරීක්ෂණයට ලක් කරන්නට ආයතනය කටයුතු කරනවා. ඒ අනුව 57 දෙනෙකුට පරීක්ෂණය කරනවා. ඉන් 29 දෙනෙකුම ඔහුගේ පළමු ආශ්‍රිතයන් වන අතර අනෙක් අය අහඹු පරීක්ෂණ. මෙම පරීක්ෂණ සිදුකරන්නේ පෞද්ගලික අංශයේ. ඒ අනුව පෞද්ගලික අංශයෙන් පරීක්ෂන කිරීමට සභාපතිවරයා ප්‍රතික්ෂේප කර ඇති බවට සහ පරීක්ෂණ ප්‍රතිඵල ලැබීමට දින තුනක් ගත වී ඇති බවට ආනන්ද පාලිත මහතා සමඟ විපක්ෂය නගන චෝදනා සම්පූර්ණ අසත්‍ය බවට ඉතාමත්ම පැහැදිලි වෙනවා. ඒ 57 දෙනාට ම පරීක්ෂණ සිදු කරන්නේ ආයතනයේ මුදල් ගෙවලා පෞද්ගලික අංශයෙන්. එහි ප්‍රතිඵල දාහත් වැනිදා උදේ ලැබෙනවා. එහි ප්‍රතිඵල අනුව 11 දෙනෙකු රෝගීන් බවට හඳුනා ගන්නවා. එකොලොස් දෙනාගේ පළමු ආශ්‍රිතයන් 47 දෙනෙකුට 19 වන දා පීසීආර් පරීක්ෂණ සිදු කරනවා. විපක්ෂය විසින් ගොඩනඟන කොරෝනා භීතිකාව බොරුවක් බවට පත් කරමින් එම හතළිස් හත් දෙනාගෙන් කිසිවෙකුටත් කොරෝනා රෝගය ආසාදනය වී නොමැති බව තහවුරු වෙනවා.

20 දා රජයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොදාගෙන තිස් පස් දෙනෙකුට අහඹු පරීක්ෂණයක් කරනවා. ප්‍රතිඵල අද සවස හෝ හෙට උදේ වන විට ලැබේවි. අපි ඊයෙ සෞඛ්‍ය අමාත්‍යතුමිය සමඟ සාකච්ඡා කරලා ඛනිජ තෙල් බෙදාහැරීම් අත්‍යවශ්‍ය සේවාවක් නිසා මේ සේවකයන් අතර භීතිකාවක් ඇතිවීම වැළැක්වීම සඳහා අද දිනයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂ අවධානය යොමු කිරීමේ ප්‍රතිඵලයක් විදියට අද දිනයේ දෙසිය පනස් දෙනෙකුට අපි අහඹු පීසීආර් පරීක්ෂණ සිදු කිරීමට කටයුතු සූදානම් කරල තියෙන්නෙ. ඒ වගේම අපි සෞඛ්‍ය අධ්‍යක්ෂකතුමාගේ එකඟතාවය ලබාගෙන පෞද්ගලික අංශයෙන් මිල ගනන් කැඳවලා බදාදා දිනය වන විට පීසීආර් පරීක්ෂණවලට ලක් නොකල සියලුම දෙනාට ඇන්ටිජන් පරික්ෂාව කරන්නත් මේ වන විට සියල්ල සූදානම් කරලයි තියෙන්නේ. ඒ සඳහා අපිට සෞඛ්‍ය බලධාරීන්ගේ එකඟතාවය ලැබිලා තියෙනවා. අද දිනය ඇතුළත මිල ගනන් කැඳවලා මොන ආයතනයෙන්ද පරීක්ෂාව කරවන්නේ කියලා තීරණය කරලා බදාදා වනවිට මේ පරීක්ෂණය සිදු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා සියළුම නිලධාරීන් සේවකයන් පරීක්ෂාවට ලක් වීමක් සිදු වෙනවා. විපක්ෂය සිහින මවන ආකාරයට කොරෝනා ඛනිජ තෙල් පොකුරක් මතු වෙන්නේ නැති බව අපි ඉතාමත් වගකීමෙන් ප්‍රකාශයට පත් කරනවා. සමාජයේ අන් ආයතන වල අහඹු ලෙස රෝගීන් හමු වන ආකාරයට අපේ ආයතන වලත් රෝගියෙක් දෙන්නෙක් හමුවුනාම අපි එම රෝගීන් සම්බන්ධයෙන් ඉතා වගකීමෙන් කටයුතු කරල තියෙන බව අපි රටට කියන්න කැමතියි.

මෙහිදී අදහස් දැක්වූ කොලොන්නාව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මොහොමඩ් උවයිස් මහතා

අපේ ආයතනය සෞඛ්‍ය උපදෙස් නිසි ආකාරයටම පිළිපැද්ද ආයතනයක්. අත් සේදීම මුඛ ආවරණ පැළදීම අනිවාර්ය කරලා. විසබීජහරණය කරලා තියෙනවා. වාහනයේ ටයර් පවා විෂබීජහරණය කරලා තමයි අපි ඇතුලට ගන්නෙ. ඉතිං අවාසනාවන්ත ලෙස මේ මොහොතේ මේක ඇවිල්ල තියෙනව. නමුත් දැඩි විශ්වාසයක් තිබෙනවා ආයතනයක් විදියට අපිට මේක පාලනය කරගන්න පුළුවන් වේවි කියලා.

ඒ වගේම අපේ තොග ගබඩාවෙන් 50%ක තොග තිබෙන්නේ මුතුරාජවෙල. අනෙක් 50% තිබෙන්නේ කොළොන්නාවේ. අපි මේ ප්‍රධාන මධ්‍යස්ථාන දෙකේම සේවක මුර වලට තමයි සේවකයන් කැඳවීම් කරන්නේ. ඒ කියන්නේ දවස් හතක් එක දිගට එක කණ්ඩායමක් එනවා. ඊට පස්සේ ඒ කණ්ඩායමෙන් අනිත් කණ්ඩායම වැඩ බාරගන්නා විට විෂබීජහරණය කරලා අලුත් කණ්ඩායම යොදාගන්නවා. ඒ කියන්නේ දවස් 14ක් හම්බෙනවා මොනවා හරි ප්‍රශ්නයක් තිබුනොත් ඒ අය හඳුනා ගැනීමට. ඒකෙ ප්‍රතිඵලයක් ලෙසින් තමයි කිසිම අඩුවක් නැතිව සේවය පවත්වාගෙන යා හැක්කේ. මේ කොරෝනා රෝගීන් 12ක් හමු වුණාටත් පස්සෙත් අපිට සේවය පවත්වාගෙන යා හැක්කේ අපේ වැඩපිළිවෙළ හින්දා. කිසිම අඩුවකින් තොරව අපිට රටට ඉන්ධන දෙන්න පුළුවන් කියලා වගකීමෙන් කියන්න කැමතියි.

ප්‍රශ්නය : පුද්ගලික අංශය හරහා පීසීආර් පරීක්ෂණ සිදුකරන්නේ ඇයි ?

බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා : රජයට මේ වනවිටත් පරීක්ෂණ විශාල ප්‍රමාණයක් සිදු කිරීමට තිබෙනවා. අපෙත් විශාල තොගයක් යැව්වහම ප්‍රථිපල ලැබීමට යම් ප්‍රමාදයක් සිදු වන්නට පුළුවන්. අත්‍යවශ්‍ය සේවයක් සපයන මෙවැනි ආයතනයක කොරෝනා රෝගීන් සිටිනවා නම් අනික් සේවකයන්ගෙන් වෙන් කර ගැනීමේ අවශ්‍යතාව තියෙනවා. මෙබඳු ආයතනයක විශාල පිරිසකට රෝගය හැදුනොත් වාහන ධාවනය නතර වීමට, විදුලි බලය ඇණහිටීමට, රටම අඩපණ වීමට, ඉඩ තියෙනවා. ඒ නිසා පරීක්ෂණ ප්‍රතිඵල කාර්යක්ෂමව ලබා ගැනීමට තමයි රාජ්‍ය අංශයට සමගාමීව පෞද්ගලික අංශයෙන් ද පරීක්ෂණ සිදු කරන්නේ. අපිට කරන පදනම් විරහිත චෝදනාව තමයි ආයතනික අරමුදල් තිබිලත් පෞද්ගලික අංශයෙන් පරීක්ෂණ සිදුකරගන්නේ නෑ කියන එක. පරීක්ෂණ ප්‍රතිඵල ප්‍රමාද වීමේ අවදානමක් ගනිමින් ආණ්ඩුව මතම යැපෙනවා කියන එක. ඇත්තෙන්ම එය පදනම් විරහිත චෝදනාවක්.

ප්‍රශ්නය : කොරෝනා නිසා සේවකයන් අතර ගැටලුවක් ඇතිවෙයිද ?

බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා : ඇත්තෙන්ම සේවකයින්ගෙන් පැත්තෙන් කිසිම භීතිකාවක් ඇති වෙලත් නැහැ. අපේ නිලධාරීන් වගේම වෘත්තීය සමිති ඉතා සහයෝගයෙන් සාමූහිකව කළමනාකාරීත්වය සමග එකතුවෙලා රටේ අත්‍යවශ්‍ය සේවාවක් වන ඛනිජ තෙල් බෙදාහැරීම නිසියාකාරයෙන් සිදු වන බව තහවුරු කරන්න කටයුතු කරමින් ඉන්නවා. රට අඩපණ කරන්න අවශ්‍ය පිරිස් තමයි නැති ප්‍රශ්න ඇති කිරීමට උත්සාහ දරන්නේ. නමුත් මේ ආයතනය තුළ එය සිදු කිරීම පහසු කටයුත්තක් නෙවෙයි. මොකද කළමනාකාරිත්ව සහ නිලධාරීන් ඉතාම සමීපව කටයුතු කරන පසුබිමක එවැන්නක් කරන්න කිසිම හැකියාවක් නෑ.

ප්‍රශ්නය : සිංහල බෞද්ධ මතවාදය ෆේල් කියා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් දැන් ඔප්පු කර තිබෙන බව මංගල සමරවීර මහතා ප්‍රකාශ කරනවා. ඔබතුමා ඒ ගැන මොකද කියන්නේ.

බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා : මංගල සමරවීර මැතිතුමා ඉල්ලන්නේ මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න කියලයි. සිංහල බෞද්ධ මතවාදය අසමත් කියලා එතුමන් කිව්වේ මීට බොහොම කලකට පෙර ඉදන්මයි. එතුමා කිව්වා කොටි ත්‍රස්තවාදය ආයුධ මගින් පරාජය කරන්නට බැහැ කියලා. මාළුවාට ජලය අවශ්‍ය වගේම දෙමළ ජනතාවට තිබෙනවා යැයි කියන ප්‍රශ්න විසඳන තාක් කොටි ත්‍රස්තවාදය ද පවතිනවා කියන එකයි එතුමා සදහන් කළේ. ඔය ඊනියා විසඳුම් වෙනුවට අප ත්‍රස්තවාදය තුවක්කුවෙන් අවසන් කර ඉවරයි. ඒ නිසා මංගල සමරවීර මහත්තයා දෙයක් කියනවද ඒක අනිත් පැත්ත තමයි මහපොලොවෙ සිද්ධ වෙන්නේ. එතුමාට අප ආරාධනා කරනවා වලාකුළෙන් බිමට බහින්නට කියලා.

ප්‍රශ්නය : පාඨලී චම්පක රණවක මන්ත්‍රීතුමා ඇතුළු පිරිසක් ජාතික හෙළ උරුමයෙන් ඉවත්ව යනවා. ඔබතුමා මෙය දකින්නේ කොහොමද ?

බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා : 2014දී මම කිව්වා ජාතික හෙළ උරුමය යනු සිංහල ජාතික ව්‍යාපාරය අතීතයයි පිවිතුරු හෙළ උරුමය යනු සිංහල ජාතික ව්‍යාපාරය අනාගතයයි කියලා. වසර හයකට පසුව මා කිවූ දේ අද සනාථ වී තියෙනවා.

– midea unit

lankacnews

Related posts

දකුණු අප්‍රිකාවට ශ්‍රී ලංකා කාන්තාවන් පරදී

Shiran Viraj

FB ජනාධිපතිවරණයෙන් අනුර දිනයි.. ප‍්‍රතිශතය 90% ආසන්නයේ…

Shiran Viraj

අද සිට සේවයට එන අයට ප්‍රවාහන පහසුකම් දෙන්න දුම්රිය සහ ලංගම සූදානම්

Shiran Viraj