27.8 C
Colombo
2026-02-11
mediahumanrights.lk
Local NewsNews

භූමදානය කළ යුතුමයි කියමින් මහනුවර කොරෝනා මළසිරුර රෝහලේ දමා ඥාතීහු පිටව යති

කොවිඞ් 19 වෛරසය ආසාදන වීමෙන් ඊයේ (30දා) මියගිය මහනුවර දිස්ත‍්‍රික්කයේ පළමු රෝගියාගේ දේහය භූමදානය කළ යුතු බව තරයේ කියමින් දේහය රෝහලේ දමා ඥාතීන් පිටව ගොස් තිබේ.

කොවිඞ් 19 ආසාදිතව මියගිය පුද්ගලයාගේ දේහය ආදාහනය කිරීමට විරෝධය දක්වමින් මෙලෙස දේහය හෝ මරණ සහතිකය පවා භාරනොගෙන ඥාතීන් පිටව ගොස් ඇත. ඥාතීන් විසින් දේහය භාර නොගතහොත් අධිකරණ නියෝග ලබා ගනිමින් නිරෝධායන නීති මත අවසන් කටයුතු සිදු කරන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පැවසීය.

අසනීප තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට රැගෙන එන අතරතුර මොහු මියගොස් ඇත. මෙම පුද්ගලයාගේ මරණ පරීක්ෂණය අතරතුර ලබා ගත් නියැදීන් පරීක්ෂාවට ලක්කිරීමෙන් අනතුරුව ඔහුට කොවිඞ් 19 ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව පේරාදෙණිය රෝහලේ හදිසි මරණ පරික්ෂක අමල් ජයවර්ධන මහතා පැවසීය.

මෙසේ මියගොස් ඇත්තේ හැත්තෑ තුන් හැවිරිදි ගලහ ප‍්‍රදේශයේ පදිංචි මොහොමඞ් ෆාරුක් නමැත්තෙකි.

අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින් පේරාදෙණිය රෝහල් අධ්‍යක්ෂ, අධිකරණ වෛද්‍ය නිලධාරී සහ හදිසි මරණ පරීක්ෂකවරයා එක්ව මහනුවර මහයියාව සුසාන භූමියේදී ඊයේ (30දා) රාත‍්‍රි 7.00 ට වේලාව වෙන් කරගෙන දේහය ආදාහනය කිරීම සදහා කටයුතු සලසා තිබිණි.

නමුත් ඥාතීන් දේහය බහාලන පෙට්ටියට සහ ආදාහනාගාරයට ගෙවිය යුතු මුදල් ද නොගෙවා දේහය රෝහලේ දමා යෑම හේතුවෙන් ආදාහනය නොකළ දේහය පේරාදෙණිය රෝහලේ මෘත ශරිරාගාරයේ අධිශීතකරණයේ තැන්පත් කර තැබීමට සිදුව තිබේ.

මෙම පුද්ගලයා ඔහුගේ බිරිඳ සමඟ කොළොන්නාවේ පදිංචි දියණියගේ නිවසට සැප්තැම්බර් මස 26 වැනිදා ගොස් තිබෙන බවත්, සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ඔවුන් 27 දා පෞද්ගලික වාහනයකින් යළි නිවස බලා එමින් සිටියදී ඔහුට අසනීප වී පේරාදෙණිය රෝහලට රැගෙන විත් තිබෙන බවත් පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයාගේ බිරිඳ ඇතුළු ළඟම ආශ‍්‍රිතයින් නිරෝධායනයට යොමු කළ බව ද සෞඛ්‍ය අංශ පවසයි.

මධ්‍යම පළාතේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඊයේ පෙරවරු 6.00 වන විට 408 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මධ්‍යම පළාතේ වැඩිම කොවිඞ් ආසාදිතයින් මහනුවර දිස්ත‍්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 235 කි. නුවරඑළිය දිස්ත‍්‍රික්කයෙන් ආසාදිතයින් 121 දෙනකුද, මාතලේ දිස්ත‍්‍රික්කයෙන් ආසාදිතයින් 52 දෙනකුද වාර්තා වී ඇත. නව ආසාදිතයින් 11 දෙනකු පෙරේදා (29දා) දිනය තුළ පළාතින් වාර්තා වී තිබේ.

lankaleadnews

Related posts

නව එක්දින නායකයාගේ නම කියන්න ක්‍රිකට් ආයතනය මාධ්‍ය හමුවක් කැඳවයි

Shiran Viraj

අදත් අපි විරෝධතා..- ස්ටාලින්

Shiran Viraj

දුම්රියට බිලිවූ කොට්ටාවේ සිසුවියට අවසන් මොහොතේ එස්.එම්.එස් කළ මිතුරිය කවුද ? – මරණය ගැන පියා කියන ආන්දෝලනාත්මක ප්‍රකාශය

Shiran Viraj
Translate »