mediahumanrights.lk
News Political

ජනතාවගේ බලාපොරොත්තුව ගෝඨාභය රාජපක්‍ෂ වගේ කෙනෙක්‌-විමල්ගෙන් වෙනස් කතාවක්..

ජාතික නිදහස්‌ පෙරමුණ තුළ ඇති වී තිබෙන දේශපාලන හැල හැප්පීම ඒකාබද්ධ විපක්‍ෂයට පක්‍ෂ බලවේග තුළ කනගාටුවට මෙන්ම ආණ්‌ඩුවට හිතවත් බලවේග තුළ සතුට දනවන කාරණයක්‌ වී තිබේ. මෙම දේශපාලන හැල හැප්පීමෙන් අවසානයට සතුටු වන්නේ කවුද යන්න පිළිබඳව මෙන්ම එම අර්බුදයට හේතු සාධකයන් පිළිබඳව විමසා බැලීමට අප එම පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මුණගැසුණෙමු. ඒ මහතා පක්‍ෂයේ අර්බුදයට හේතුව හා ඉදිරි දේශපාලන පියවර පිළිබඳව දැක්‌වූ අදහස්‌ පහත පරිදි වේ.
ප්‍රශ්නය – මැතිවරණය ආසන්න වන විට දේශපාලන පක්‍ෂ තුළත් විවිධ අර්බුද මතුවන බවට ඉතිහාසය සාක්‍ෂි දරනවා. පළාත් පාලන මැතිවරණය ආසන්න වන විට ජාතික නිදහස්‌ පෙරමුණ තුළත් අර්බුද මතුවී තිබෙනවා. ජා.නි.පෙරමුණේ නායකයා ලෙස පක්‍ෂය තුළ ඇතිවී තිබෙන අර්බුදය විග්‍රහ කරන්නේ කෙසේද?
පිළිතුර – බකට්‌වලට මිලක්‌ ලැබෙන්නේ වෙසක්‌ කාලයට. වෙනත් කාලවලට බකට්‌වලට මිලක්‌ නෑ. මේ වගේ කාලවලදී තමයි සතුරු කඳවුර අපගේ කඳවුරේ කවුරුන් හෝ අපට එරෙහිව යොදාගැනීමට කල්පනා කරන්නේ. එය සාමාන්‍යයෙන් දේශපාලනයේ ආවේණික ලක්‍ෂණයක්‌.
ආණ්‌ඩුවේ රනිල් වික්‍රමසිංහ පාර්ශ්වයටත් මෛත්‍රිපාල සිරිසේන පාර්ශවයටත් අද තිබෙන ප්‍රධානතම තර්ජනයක්‌ ලෙස ඔවුන් අපව සලකනවා. අපි අභියෝගයක්‌ නොවනවා නම් අපෙන් කවුරු හරි කඩල ගන්න ඒ අයට ඕනි වෙන්නේ නැහැ. අපිව දුර්වල කළ යුතුයි. යටත් කළ යුතුයි කියල හිතන්නේ නැතිනම් අපිව හිරේ දමන්නෙත් නෑ. මේ ආණ්‌ඩුව බලයට පත්වූ පසු පළමුවෙන්ම අත්අඩංගුවට ගත්තේ තිස්‌ස අත්තනායක මහතා. ඊළඟට අත්අඩංගුවට ගත්තේ මගේ බිරිඳ. මගේ පවුලේ සාමාජිකයන් තිදෙනකු අත්අඩංගුවට ගත්තා. එම අත්අඩංගුවට ගැනීම දෙවැනි වන්නේ රාජපක්‍ෂ පවුලේ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට පමණයි. ඒ වගේම අපගේ නිවසේදී මරණයට පත්වූ අපගේ පුතාගේ මිතුරකුගේ මරණය සම්බන්ධයෙන් අසත්‍ය අභූත චෝදනා එල්ල කළා. දැන් එම මරණය ස්‌වාභාවික මරණයක්‌ කියල ඔප්පු වෙලා ඉවරයි.
ඒ සියල්ලටම අපට මුහුණදීමට සිද්ධ වුණේ. අපි පෙබරවාරි 18 මහින්ද බලවේගය නැවත අවදි කිරීමට පුරෝගාමීව කටයුතු කළ නිසා තමයි. සතුරා දේශපාලන සිතියම ඇඳල තිබුණේ මහින්ද නැවත නොඑන විදිහට. මහින්ද මැදමුලනේ තනිවෙන විදියට. නමුත් එම දේශපාලන සිතියම අපි අපට ඕන විධියට වෙනස්‌ කළා. ඊට එරෙහිව එන ප්‍රතිප්‍රහාරය තමයි මේ. ඔය ප්‍රහාරය එන බව දැනගෙන තමයි අපි එම වගකීමට කර ගැසුවේ. නමුත් අප අතර සිටින ඇතැම් අයට ආවේණිකව තිබෙන ඇතැම් ප්‍රශ්න හේතුකොටගෙන ඒ අය සිතන්න ඇති මේ අවස්‌ථාවේ ඇති හොඳම මාවත වාසිය රැඳුණු මාවත කියලා. නමුත් අපි එම මාවත පිළිගන්නේ නෑ. අපි මේ රට වෙනුවෙන් ස්‌වෙච්ඡාවෙන් භාරගත් වගකීමක්‌ තිබෙනවා. එම වගකීම සහ යුතුකම අපි තවදුරටත් ඉෂ්ට කරනවා. එය වෙනස්‌ වන්නේ නැහැ.
ප්‍රශ්නය – රට වෙනුවෙන් වගකීම් ඉටුකිරීමට නම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ එක්‌විය යුතු බව වීරකුමාර දිසානායක මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඔහුගේ යෝජනාව පිළිගන්නවාද? ඔහු තවදුරටත් ජාතික නිදහස්‌ පෙරමුණේ සාමාජිකයෙක්‌ද?
පිළිතුර – වීරකුමාර දිසානායක මහතා පක්‍ෂයෙන් ඉවත්වන බව දැනුම් දීලා නෑ. නමුත් පක්‍ෂයේ විනය උල්ලංඝනය වන ආකාරයේ ක්‍රියාවක නිරත වී සිටිනවා. ඒ පිළිබඳව ඉදිරියේදී දේශපාලන මණ්‌ඩලය රැස්‌වෙලා සුදුසු තීරණයක්‌ ගනීවි.
මේ ඇතැමුන්ට අවශ්‍ය වූවා මෙම මැතිවරණයේදී අපව වෙනම තරග කරන තැනට ගෙනියන්න. වෙනම තරග කිරීමේ තීරණයට එරෙහිව මම කරුණු ද දැක්‌වූවා. එය කළේ සතුරාට වාසිදායක වනවා කියන පදනමේ සිට. එම මතය දේශපාලන මණ්‌ඩලයේදී ජයග්‍රහණය කරවන්න ඒ අයට නොහැකි වූවා. ඉන් පසුව තමයි ඒ අය හුදෙකලා ප්‍රහාරයන්ට සහ කැරැල්ලකට යන්නේ. ඇත්තටම ඒවා පිටුපස දේශපාලන විග්‍රහයක්‌ තිබුණට අවසාන වශයෙන් තිබෙන්නේ තමන්ගේ පුද්ගලික ආත්මාර්ථකාමී වුවමනාවන්. ඒවා විසින් තමයි මේ අය මෙහෙයවන්නේ.
එහෙත් ඔවුන් අපිත් සමඟ ජනතා විමුක්‌ති පෙරමුණෙන් එළියට බැස්‌සා. ඒ දුෂ්කර කාලපරිච්ඡේදවලදී අපත් සමඟ එකට සිටියා. ඒ වගේම දේශපාලන අරගලයේදී අපට ශක්‌තියක්‌ වූවා. අතීතයට අයිති ඒ අය පිළිබඳ ගෞරවය සෑමදාම අප තුළ තිබෙනවා.
නමුත් යම් අයකු ද්‍රෝහියකු ද වීරයකු ද යන බව තීරණය වන්නේ ඔහු අවසාන වශයෙන් ගන්නා තීරණය මත. 1815 දී මේ රට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට යටත් කළ ගිවිසුම අත්සන් කළ අවස්‌ථාවේදී මොනරවිල කැප්පෙටිපොල කියන්නේ ද්‍රෝහියෙක්‌. එහෙත් අලුපොත කියන ගමේදි ඌව වෙල්ලස්‌ස සටනේ සගයන් සමඟ එක්‌වූ පසුව ඔහු මියයන්නේ වීරයෙක්‌ ලෙස.
අනික ගහකින් මලක්‌ වැටුණාම පරවෙන්නේ මල මිස ගස නෙවෙයි. ගහකින් බීජයක්‌ වැටුණහම අලුත් ගසක්‌ හටගන්නවා. මේ අය තේරුම්ගත යුතුයි ඔවුන් මලක්‌ ද බීජයක්‌ ද කියන එක. බීජයක්‌ නම් පැළයක්‌ හටගනීවි. මලක්‌ නම් ටික දවසකින් පරවෙලා යාවි. මල ගහට එළියක්‌ ගෙන ආවා. ඒ පිළිබඳව අපට ගෞරවය තිබෙනවා. නමුත් මල් පරවෙලා වැටෙන එකට ගහට කරන්න දෙයක්‌ නෑ.
ප්‍රශ්නය – ඔබ සඳහන් කළා වීරකුමාර මහතා ඇතුළු පිරිසක්‌ එළඹෙන මැතිවරණයේදී වෙනම තරග කළ යුතු බව යෝජනා කළ බව. නමුත් වීරකුමාර මහතා ප්‍රකාශ කරන්නේ එක්‌සත් ජාතික පක්‍ෂය පරාජය කිරීම සඳහා මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ තරග කළ යුතු බව නේද?
පිළිතුර – එතුමා ඇතුළු කිහිපදෙනෙක්‌ මුලදී එකතුවෙන්න ඕන කියන මතයේ සිටියා. එකතු කරන්න බෑ වගේ පෙනෙනකොට තනිව සිටිය යුතුය යන මතයේ සිටියා. එකතුවීම සම්බන්ධයෙන් ඒ අය ඉදිරිපත් කළ සමහර අදහස්‌ සමඟ ගැටීමකුත් තිබුණා. සමහර අදහස්‌ සමඟ එකඟතාවයකුත් තිබුණා. කෙසේ වුවත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සමඟ මහින්ද රාජපක්‍ෂ කඳවුර ඡන්දයකට එකතුවීම නොවෙයි විය යුත්තේ. වෙනවා නම් එහෙම දෙයක්‌ විය යුත්තේ, මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය ජාතික න්‍යාය පත්‍රයකට එකතුකර ගැනීම සඳහායි.
ජ.වි.පෙරමුණ 1994 සිට 2001 පරිවාස ආණ්‌ඩු සමය දක්‌වා දැඩි චන්ද්‍රිකා විරෝධී දේශපාලන භාවිතාවක නිරත වූවා. පැකේජයට එරෙහිව පාරට බැස්‌සා. තවක්‌කාල් ගනුදෙනුවලට එරෙහිව කතා කළා. සමහර අවස්‌ථාවලදී ජනතා විමුක්‌ති පෙරමුණ කටයුතු කළේ චන්ද්‍රිකාගේ දේශපාලන ප්‍රතිරූපය දරුණු ලෙස බිඳවැටෙන ලෙස තමයි. එලෙස චන්ද්‍රිකා සමඟ ගැටුණද දේශපාලනයක නිරත වූ ජ.වි. පෙරමුණට පරිණත ඥනයක්‌ තිබුණා. රනිල් බලයට ඒම වළක්‌වාලීම සඳහා පරිවාස ආණ්‌ඩු ගිවිසුමකට යන්න. රනිල් බලයට එනවා කියන්නේ බටහිර න්‍යාය පත්‍රය ගෙඩිය පිටින් එනවා කියන එක. එම තීරණය ගැනීමේ සම්පූර්ණ ගෞරවය හිමිවන්නේ දිවංගත සෝමවංශ අමරසිංහ සහෝදරයට. එයින් අපේක්‍ෂිත ප්‍රතිඵල ලැබුණේ නෑ.
එහෙත් එහි ඊළඟ දිගුව ලෙස චන්ද්‍රිකාට අවශ්‍ය තීරණ ගතහැකි පරිසරයක්‌ ජ.වි.පෙරමුණ රට තුළ හැදුවා. අමාත්‍යාංශ 4 ක්‌ පවරා ගත්තා. පාර්ලිමේන්තුව විසිරෙව්වා. ඉන්පසුව 2004 දී රනිල්ගේ ආණ්‌ඩුව පරාජය කළා. සාම්ප්‍රදායික චන්ද්‍රිකා විරෝධයෙන් කටයුතු කළා නම් ඒ දෙය කරන්න බෑ. චන්ද්‍රිකා ඒ අවස්‌ථාවේ දුර්වල වෙලා සිටියේ. රජගෙදර තනිවෙලා සිටියේ. මෛත්‍රිපාල සිරිසේන මහතාට මැති ඇමැතිවරු කිහිපදෙනකු සිටියත් ඔවුන් ඉන්නේ දේශපාලන වශයෙන් හුදෙකලා තත්ත්වයක. ඒ තත්ත්වයත් උපායශීලීව රටේ යහපත සඳහා යොදාගන්න අපට පුළුවන් වෙන්න ඕන. අපි ගිහින් ඇමැතිකම්, අගමැතිකම් ගත්තට වැඩක්‌ නෑ. ජාතික න්‍යාය පත්‍රයකට මෛත්‍රිපාල මහතා එකඟ කරවා ගත්තොත් ඒකතමයි මෛත්‍රි – රනිල් සම්බන්ධයෙන් බිඳවැටීමේ සාධකය වන්නේ. එවැනි ප්‍රවේශයක්‌ පෙනෙනවා නම් එතැනින් එහාට මොකද වෙන්නේ කියන එක කතා කරන එක වෙනම දෙයක්‌. චන්ද්‍රිකා සම්බන්ධයෙන් ජ.වි. පෙරමුණ අනුගමනය කළ උපායශීලී ප්‍රවේශය මේ අවස්‌ථාවේ හෝ පසු අවස්‌ථාවක යොදාගත හැකි නම් අපි එය යොදාගන්නවා. එවැනි දෙයක්‌ මෛත්‍රි සමඟ එක්‌වූවා කියන පටු අර්ථයෙන් අර්ථ දක්‌වන්න බෑ. එවැනි විචක්‍ෂණශීලී දේශපාලනයක්‌ අප තුළ තිබිය යුතුයි.
එසේ නොවුණහොත් මේ රටේ දේශපාලනය යළි 80 දශකයට යනවා. බණ්‌ඩාරනායක පවුල අතර බේද තිබුණා. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් 1982 පැවැති ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ කොබ්බෑකඩුව මහතා එම පක්‍ෂය තුළම තිබුණ කුමන්ත්‍රණ නිසා. 1983 කළු ජූලිය ආවා. 1987 දී ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කළා. පළාත් සභා ආවා. 60,000 ක්‌ තරුණ ජීවිත බිළිගත්තා. ලේ ගංගා මත පිහිනලා වසර 17 කට පසුව තමයි, යළිත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය බලයට ආවේ. ඒ කාලය තුළදී බණ්‌ඩාරනායකලා සිතුවේ බණ්‌ඩාරනායක කෙනකු යළි ඔටුණු පළඳිනකම් මේක අල්ලන් ඉන්න ඕනි කියල. එහි ප්‍රතිඵලය තමයි රටට අත්විඳින්න සිද්ධ වූයේ. අපි යළිත් එම ඉතිහාසය ප්‍රතිරූපණය වීමට ඉඩ දිය යුතු නැහැ.
අපි පිළිගන්න ඕනි. මහින්ද රාජපක්‍ෂ රජතුමා කියන්නේ නූතන ධාතුසේන නම් මෛත්‍රීපාල සිරිසේන කියන්නේ නූතන කාශ්‍යප කියන එක. කාශ්‍යප අතේ බලය තිබුණට රට පාලනය කළේ ප්‍රධාන සෙනවියා වූ මිගාර. මිගාර තමයි කාශ්‍යපත් පාලනය කළේ. අවසානයේදී කාශ්‍යපට සිද්ධ වුණා මිගාරව තේරුම් අරන් මහා විනාශයක්‌ සිද්ධ වීමට පෙර මුගලන්ට ඔටුන්න භාර දෙන්න. මුගලන් කියන්නෙත් ධාතුසේන රජතුමාගේම පුතෙක්‌. ඒවගේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ මීළඟ සුදුස්‌සාට මේක දෙන්න ඕනි. ජනතාව බලාපොරොත්තු වන්නේ ගෝඨාභය රාජපක්‍ෂ වගේ කෙනෙක්‌.
මිගාරගේ බලකොටුවේ ඉන්න කාශ්‍යප දැන් ටික ටික තේරුම් ගනිමින් සිටිනවා තමන් හුදෙකලා වී ඇති බව. බැඳුම්කර කොමිෂන් වලින් පෙනෙන්නේ ඒ බව තමයි. එදා සිටිය කාශ්‍යප සිගිරියේ ආලකමන්දාවට වෙලා සිටියා. මේ කාශ්‍යප වෙනස්‌ ආකාරයක ආලකමන්දාවක තමයි සිටින්නේ. මෙම ඓතිහාසික සමපාත වීම වගේම එකිනෙකා අතර තිබෙන පරස්‌පර විරෝධයත් හරියට තේරුම් අරගෙන කළමනාකරණය කිරීම තමයි දේශපාලනඥයන් ලෙස අපගේ වගකීම. එසේ නොකළහොත් මේ රටට අත්වන තත්ත්වය මහා විනාශකාරියි. 2020 ජනාධිපතිවරණයෙන් දිනන්න වැඩ කළාට, වැඩක්‌ නැහැ ඊට පෙර 2/3 න් ඡන්දයෙන් බෙදුම්වාදී ව්‍යවස්‌ථාව සම්මත කළොත්. ඒ වගේම එට්‌කා ගිවිසුම අත්සන් කළොත්. ඒ දේවල් සිද්ධ වුවහොත් ඉන්පසුව එන ජනාධිපතිලාට කරන්න පුළුවන් දෙයකුත් නෑ. එම නිසා මේ වනවිට ජාතික න්‍යාය පත්‍රයේ තිබෙන අංක එකේ කාරණය තමයි. එම විපත වැළැක්‌වීම. එදා කාශ්‍යපගේ කිරුළ මුගලන්ට හිමිවූ ආකාරයේ මෙහෙයුමක්‌ මේ පොළොව ඉල්ලනවා. ඒ බෙදුම්වාදී ව්‍යවස්‌ථාව සහ එට්‌කා ගිවිසුම වැනි මෙරට ආර්ථිකය විජාතිකකරණය කරන ගිවිසුම් පරාජය කිරීම සඳහායි.
ප්‍රශ්නය – ඔබ සඳහන් කරන ආකාරයට ජාතික නිදහස්‌ පෙරමුණට මේ අවස්‌ථාවේදී ඒකාබද්ධ විපක්‍ෂය සමග ගැටලුවක්‌ නැහැ. එසේ නම් ඇයි පසුගියදා මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ලේදී පැවැති රැලියට ඔබ ඇතුළු පිරිසක්‌ සහභාගී නොවූයේ. ඔබ ඇතුළු පිරිස එම රැලියට සහභාගී නොවීම බිඳීයාමක්‌ සේ සලකා මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහි පාර්ශ්වය බොහෝ සේ සතුටු වන බවකුත් පෙනෙන්න තිබෙනවා.ඒ පිළිබඳව ඔබගේ අදහස්‌ කුමක්‌ද?
පිළිතුර – එදා එම රැලියට මටත්, දිනේෂ් ගුණවර්ධන මහතාටත්, ගම්මන්පිල මහතාටත් සහභාගී වීමට බැරි වුණා. මට මතක හැටියට වාසුදේව සහෝදරයාටත් එම රැලියට සහභාගී වීමට බැරිවූවා. ඒ සඳහා එක එක හේතු බලපා තිබෙනවා. නමුත් අපි සියලු දෙනාටම සහභාගි වීමට නොහැකිවූ නිසා අලුත් කතාවක්‌ නිර්මාණය කිරීමට අවස්‌ථාවක්‌ ලැබිල තියෙනවා. මම නම් එම රැලියට සහභාගී නොවූයේ සෞඛ්‍යමය හේතුවක්‌ නිසා. දිනේෂ් ගුණවර්ධන මහතා සහභාගි වී නැත්තේ අත්‍යවශ්‍යම විවාහයකට අත්සන් කිරීමට සිදුවූ නිසා. ගම්මන්පිල මන්ත්‍රීතුමාටත් පෞද්ගලික හේතුවක්‌ තිබිල තියෙනවා.
අපගේ සහභාගී නොවීමට දේශපාලන අර්ථකථනයක්‌ දෙන්න හැදුවත් එය සාර්ථක නෑ. මොකද අපගේ පක්‍ෂය නියෝජනය කරමින් පද්මඋදය ශාන්ත මන්ත්‍රීතුමා එම රැලියට සහභාගි වූවා. ඔහු එම රැලියේදී ඉතා හොඳ කතාවකුත් කළා. සෑම වෙලේම, සෑම වේදිකාවකම පක්‍ෂයේ නායකයා සිටිය යුතුයි කියල එකක්‌ නැහැනේ. අපගේ පක්‍ෂය සහ ඒකාබද්ධ විපක්‍ෂය අතර ඇති සම්බන්ධය බිඳිල නම් පද්ම උදය ශාන්ත මන්ත්‍රීතුමා සහභාගී වන්නෙත් නැහැනේ. පද්ම උදය ශාන්ත මන්ත්‍රීතුමා එම රැලියට ගිහින් හොඳ කතාවක්‌ කිරීම පිළිබඳව කතා නොකර මම එම රැලියට සහභාගී නොවීම මාතෘකාවක්‌ කරගෙන තිබෙනවා.
ප්‍රශ්නය – ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තරග කිරීමට අපේක්‍ෂා කළ, අපේක්‍ෂකයන් සංඛ්‍යාව නොලැබීම පදනම් කරගෙන ඔබගේ පක්‍ෂය සහ ඒකාබද්ධ විපක්‍ෂය අතර අර්බුදයක්‌ නිර්මාණය වී ඇති බවත් වාර්තා වනවා. ඒ පිළිබඳව මොනවද කියන්න තියෙන්නේ.
පිළිතුර – අපගේ පක්‍ෂයට පමණක්‌ නෙවෙයි. පොදුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොවන අනිත් සෑම පක්‍ෂයකම එම ප්‍රශ්නය තිබෙනවා. එම සියලුම පක්‍ෂවලට මුළු අපේක්‍ෂක සංඛ්‍යාව 5% ක්‌වත් ඉල්ලන්නේ නැහැ. නමුත් එම 5% වත් දෙන්න එකඟතාවක්‌ පේන්නේ නැහැ. එම නිසා ඒ පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොවන අනිකුත් පක්‍ෂවල නායකයන් තුළ ව්‍යාකූල භාවයක්‌ යම් අර්බුදයක්‌ ඇති වී තිබෙනවා. නාමයෝජනා ක්‍රියාදාමය සිද්ධවෙන ආකාරය පිළිබඳව ඔවුන් සෑහීමකට පත්වෙන්නේ නැහැ. මම එය සඟවන්නේ නැහැ. නමුත් සමහරු එම නොසතුට පිටකරන්නේ නැතිව සඟවාගෙන සිටිනවා.
අපි විශ්වාස කරනවා පෙබරවාරි 18 මහින්දවාදී බලවේගයන්ට ජීවය පිඹීමට නොහැකිවූවා නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණක්‌ බිහිනොවන බව. මට මතකයි මහින්ද රාජපක්‍ෂ මහතාම කිව්වා පෙබරවාරි 18 එම රැලිය කරන්න එපා කියලා. මම ඇහුවා ඇයි කියලා. එතකොට කිව්වා ශ්‍රී ලංකා කාරයා පැරදුනහම කෙළින් කිරීමට අමාරුයි කියල කිව්වා. මම කිව්ව මේ පාර තත්ත්වය වෙනස්‌ කියල. එතුමා පවා සිතුවේ මේ මිනිස්‌සු නැඟිට්‌ටවන්න බැහැ කියලා. එක්‌ රැලියක්‌ අවසන් වෙලා මන්ත්‍රීවරු සියලුදෙනාම ගියා එතුමා කලින් සිටිය ගෙදරට හමුවීමට. යනකොට පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය ඇතුළු පිරිසක්‌ සමග එතුමා කතා කරමින් සිටියා.
ඒ අවස්‌ථාවේදී එතුමා සඳහන් කළා මේ අය නැතිනම් මෙලහකට මම මැරිලයි කියලා. පවිත්‍රා, මන්ත්‍රීතුමිය ඇසුවා ඇයි එහෙම කියන්නේ කියලා. එතකොට එතුමා කිව්වා මට මිනිස්‌සු නැතිව ඉන්න බෑ. මට ගෙදරට වෙලා ඉන්නත් පුරුදු නැහැ. එහෙම වුණා නම් ඒ පිළිබඳව සිතල සිතල මෙලහකටත් මැරිල කියල කිව්වා. එතුමා එතුමාගේ හැඟීම් පිට කරල තිබෙන්නේ ඒ ආකාරයට.
එම නිසා අපි සිතනවා අනිත් පක්‍ෂවලට සාධාරණ අපේක්‍ෂක සංඛ්‍යාවක්‌ දිය යුතුයි කියලා. එය නොදෙනවා නම් එතැන තිබෙන්නේ ඉතාම අකෘතඥ සහ එම පක්‍ෂ මෙම ප්‍රවාහයෙන් එළියට තල්ලු කරල දැමීමේ වෑයමක්‌. එය ඉතාම වැරදියි අපි දැන් උත්සාහ දරමින් සිටිනවා එය විසදා ගැනීමට. එය විසඳීම අත්‍යවශ්‍යයි.
ප්‍රශ්නය – ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්‌ව තරග කිරීම සඳහා තවදුරටත් විසදා ගැනීමට තිබෙන්නේ අපේක්‍ෂකයන් පිළිබඳ ප්‍රශ්නය පමණද?
පිළිතුර – තවදුරටත් පක්‍ෂ අතර අවබෝධතා ගිවිසුමක්‌ අත්සන් කිරීමට තිබෙනවා. එම ගිවිසුම අත්සන් කිරීමේ කටයුතුත් මේ දක්‌වා අවසන් වෙලා නෑ. ඒ පිළිබඳව එතරම් උනන්දුවක්‌ දක්‌වන බවත් පෙනෙන්නේ නෑ. ඒ වගේම සමහරුන්ට අනිකුත් ජාතිකවාදී පක්‍ෂ සූක්‍ෂම ලෙස ඈත් කිරීමට අවශ්‍ය වී තිබෙනවාද කියන ප්‍රශ්නයත් අපට ඇතිවී තිබෙනවා.
පසුගිය මහ මැතිවරණයේදී අප සිටියේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය හෝ එක්‌සත් ජනතා නිදහස්‌ සංධානය සමග එකතු නොවිය යුතුය යන මතයේ. නමුත් සමහරුන් එකතු කිරීමේ වැඩේට කර ගැසුවා. අඩුම ගණනේ ජාතික ලැයිස්‌තුව ගැන ගිවිසුමක්‌වත් අත්සන් නොකර එම කටයුතු කළේ ඇස්‌ වහගෙන. එම අවස්‌ථාවේදී එකතු කිරීමට කටයුතු නොකළ මහා නරක මිනිසුන් ලෙස අපව පෙන්වන්න ගත්තා. එදා එලෙස කටයුතු කරල ජාතික ලැයිස්‌තුව සහ විපක්‍ෂ නායකකම අහිමි කළ අය අද අපි එකතුවෙන්න කටයුතු කරනවා කියල කටකතා පතුරනවා.
මේ ආණ්‌ඩුව බලයට ගෙනාවේ විදේශීය ඔත්තු සේවාවන් සම්බන්ධ මන්ත්‍රීතුමා ප්‍රසිද්ධියේ කිව්ව. 2015 ජනවාරි 08 මේ ආණ්‌ඩුව බලයට ගෙන ඒම සඳහා ඉන්දියාව සහ බටහිර රටවල් විශාල මැදිහත්වීමක්‌ කළ බව. මේ දක්‌වා එම ඔත්තු සේවා ක්‍රියාන්විතය අවසන් වෙලා නෑ. බටහිරට සහ ඉන්දියාවට ලේසියෙන් හසුරුවන්න පුළුවන් ආණ්‌ඩුවක්‌ ලෙහෙසියෙන් ගිලිහෙන්න එම බලවේග ඉඩ දෙන්නේ නෑ. එම නිසා ඔවුන් බලනවා ඒකාබද්ධ විපක්‍ෂයේ ඉන්න ඔවුන්ගේ ඉත්තන් යොදා ගෙන එම බලවේගය බේදභින්න කිරීමට. කැඩෙන තත්ත්වයට පත් කිරීමට එම තත්ත්වයට පත් කරල කැඩෙන අය වගඋත්තරකරුවන් කිරීමේ චිත්‍රයක්‌ තමයි දැන් ඇඳල තිබෙන්නේ. එය අපට හොඳට තේරෙනවා.
එම නිසා මෙම අවස්‌ථාවේදී දේශපාලන පක්‍ෂ ලෙසත්. රටේ ජනතාවත් ඉතා කල්පනාකාරී ලෙස කටයුතු කළ යුතුව තිබෙනවා. මොකද ඔත්තු සේවා මෙහෙයුම් කියන ඒවා ඉතාම සූක්‍ෂමයි. ලිබියාවේ ගඩාපිට විරුද්ධව සිටිය අය දැන් කියනවා අපි මෝඩ වැඩක්‌ කර ගත්තේ කියලා. අපි අපිවම විනාශ කරගත් බව ඔවුන් පවසනවා. ඒවා දැන් තේරුණාට වැඩක්‌ නෑ. කලිනුයි දැකිය යුතුව තිබුණේ.එම නිසා, එම සෑම කරුණක්‌ම හොඳින් තේරුම් ගෙන මෙම ගමන යන්න අපට සිද්ධ වී තිබෙනවා. කෙසේ වුවත් බටහිර න්‍යාය පත්‍රය කර තබාගෙන සිටින රනිල් වික්‍රමසිංහගේ ගමන පරාජයට පත් කිරීමට, විරුද්ධ පක්‍ෂ බලවේග ලෙස කළ හැකි කළ යුතු සියල්ල අපි කරනවා. එම වගකීමෙන් අපි කවදාවත් ඈත් වෙන්නේ නෑ.

Related posts

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

Shiran Viraj

ඇමති වෙනස්වීම ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ මතය

Shiran Viraj

නාට්‍ය නරඹන්නේ නැති අය විනිශ්චය කිරීම අභාග්‍යයක් පි‍්‍රයංකර රත්නායක

Shiran Viraj