කලා ලොවේ බැබළෙන තරුවක් තවත් තරු රැසකට කලාලොවට පිවිසෙන්නට දොරටු විවිර කළ පුවතක් අපිට දැන ගන්නට ලැබුණා. ඔහු ලලිත ආතාවුද. කලාලොවේ දිගු ගමනක් යමින් සිටින මේ නිර්මාණශීලී කලාකරුවා වෘත්තියෙන් නාට්‍ය හා රංග කලා ගුරුවරයෙක්. පසුගිය දා ඔහුගෙන් සිප් සතර හැදෑරූ පාසල් දරුවන් සමස්ත ලංකා මට්ටමෙන් නාට්‍ය ජයග්‍රහණයක් අත් කර ගැනීමට සමත් වුවා. ඒ ගැන ලලිත වගේම පාසලේ විදුහල් පතිතුමියත් අප සමඟ කතා බහ කළේ සතුටින්.
ලැබුණු සම්මානය ගැන මොකද හිතන්නේ ?
‘අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් සංවිධානය කරනු ලැබූ සමස්ත ලංකා නාට්‍ය තරඟාවලිය පසුගිය දා කුරුණැගල මලියදේව බාලිකා විදුහලේ දී පැවැත් වුණා. එහිදී අපේ ත්‍රිකුණාමලය තිස්සමහා විද්‍යාලය ස්වතන්ත්‍ර නාට්‍ය අංශයෙන් හොඳම නිෂ්පාදනයට හිමි දෙවැනි තැන ලබා ගත්තා.
ඒ ගැන සතුටුයි. මෙය අපේ දරුවන් ලද විශාල ජයග්‍රහණයක්
නැගෙනහිර පළාතට මෙවන් ජයග්‍රහණයක් ලැබුණේ කලකට පසුවයි?
වසර 17කට පමණ පසු නැගෙනහිර පළාතෙන් සමස්ත ලංකා නාට්‍ය උළෙලකින් ලද එකම සම්මානය මෙයයි. මා දන්නා පරිදි 1999 දී අප පාසලෙන්ම අජිත් ක්‍රිෂාන්ත ද සේරම් නාට්‍ය වේදියා නාට්‍යයක් ඉදිරිපත් කර සමස්ථ ලංකා නාට්‍ය උළෙලක සම්මාන ලබාගෙන තියෙනවා. ඉන් පසුව තමයි මෙවන් ජයග්‍රහණයක් ලැබුණේ.ඒ ගැන නිහතමානී ආඩම්බරයක් හිතේ තියෙනවා.
මෙය ස්වතන්ත්‍ර නාට්‍යයක්.මොකක්ද නාට්‍යයේ සන්දර්භය ?
ජීවිත මනස් ජනනය කරන අධ්‍යාපන ක්‍රමය තුළ විශ්ව විද්‍යාල සිසුවෙකුගේ මානසික හා යථානුරූපී ආමන්ත්‍රණයක්.සරලව කිව්වොත් කටපාඩම් කරලා ලියන අධ්‍යාපන ක්‍රමය තුළ අලුතින් දෙයක් හිතන ලියන දරුවන්ට වන අසාධාරණය තමයි කතාකරන්නේ. මෙයට පසුබිම් කරගන්නේ කෞතුකාගාරයක්, වාරියපොළ ශ්‍රී සුමංගල හිමි, විහාරමහා දේවි, ලෙනින් සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා වැනි වටපිටාවක්.
වසර ගණකට පසුව පාසලක කෙරෙන මෙවන් නාට්‍යයකට විදුහලේ දායකත්වය ?
අපේ විදුහල්පතිනිය එල්. එස්. ඩී. පෙරේරා මැතිනිය. ඇත්තෙන්ම මම මේ නාට්‍යය කරන්න ඉදිරිපත්වුනෙත් ඇයගේ ඉල්ලීම මත. අපේ පාසල දුෂ්කර දුප්පත් පාසලක් වුණාට නාට්‍ය කරන අවස්ථාවේ දී විදුහල්පතිතුමිය ඒ හැඟීම මට දැනෙන්න දුන්නේ නෑ. මම සමහර විටක අත් හරින්න යන සමහර දේ එතුමිය කිසිම පැකිලීමක් නැතිව ඉටු කරලා දුන්නා. පාසලක ගුරුවරයෙක් දක්ෂ වූ පමණින්ම දිනන්න බෑ. ඒකට හොඳ නායකත්වයක් මඟ පෙන්වීමක් තියෙන්න ඕන. ඒ වගකීම එතුමිය ඉෂ්ට කළා. විශේෂයෙන් මතක් කළ යුතුයි ගුරුමණ්ඩලයෙන් ලැබුණ සහයෝගය අතිමහත්.
මෙවැනි පාසලක ළමයිනුත් එක්ක වැඩකරන ඇත්දැකීම කොයි වගේ ද?
හරිම දුෂ්කරයි. මේ ළමයින්ට නාට්‍ය කියන කාරණය සම්බන්ධව කිසිම අත්දැකීමක් නෑ. වැඩිපිරිසක් ඉන්නේ යුද්දේ කාලේ ඉපදුණු දරුවෝ. ඔවුන්ගේ ඇඟේ සෞන්දර්ය කියන හැඟීම තියෙන්නේ අල්ප වශයෙන්.
මේ පළාත්වල දෙමාපියන්ටත් සෞන්දර්ය බාහිර ක්‍රියාකාරකම් අවශ්‍යයි කියන හැඟීම තියෙන්නේ හරිම අඩුවෙන්. නාට්‍යයකට තෝරගන්න කියපුවහම එන්නේ හරිම සීමිත සංඛ්‍යාවක්.අනෙක් සෞන්දර්ය විෂයන්ටත් එහෙම තමයි. ඇහුවම කියනවා අම්මා එපා කියනවා. තාත්තා එපාකියනවා කියලා.
උදේ පටන් ගත්තාම රෑ 10 -11 වෙනකම් විතර සමහර දරුවන්ට බාහිර පන්ති.ඒවට යවන්න නම් දෙමාපියෝ හරිම කැමැත්තෙන්. අපේ විදුහල්පතිනියගේ බලේට තමයි ඒ සමහර දරුවෝ සෞන්දර්ය වැඩවලට ගෙන්න ගන්නේ.මේක හරිම ශෝචනීය තත්ත්වයක්. මේ තමයි යාන්ත්‍රික මිනිස්සු බිහිවීමේ ආරම්භය. සමහරු ඉන්නවා සෞන්දර්ය වැඩවලට දක්ෂ සහ කැමැත්තෙන් ඉදිරිපත් වෙන අය. ඒ දරුවෝ මතක් කරන්න ඕන.
ත්‍රි/ තිස්ස මහා විද්‍යාලයේ විදුහල්ති තුමිය
එල්.එස්. ඩී. පෙරේරා මහත්මිය තම පාසල ලැබූ ජයග්‍රහණය ගැන පවසන්නේ මෙවැන්නකි.
1999 න් පස්සේ තමයි අපිට මේ ජයග්‍රහණය ලැබුණෙ. මේක නාට්‍ය අංශයෙන් නැගෙනහිර පළාත ලබපු ලොකු ජයග්‍රහණයක් කියලයි මම හිතන්නේ.
කොළඹ ජනප්‍රිය පාසල් දෙකක් අතරේ අපේ නම රඳවන්න ලැබුණ එක ලොකු ජයග්‍රහණයක් .ලලිත අතාවුද අප පාසලට ඇවිත් වැඩි දවසක් නෑ. ඔහු දක්ෂ ගුරුවරයෙක්. ඔහු ඒ වගකීම හරියටම ඉෂ්ට කළා. අපේ දරුවන්ගේ යහපත වෙනුවෙන් අපි මේ සියලු දේ කරන්නේ. මේ වගේ ජයග්‍රහණයක් පාසලට අරන් දෙන්න ලැබීම වාසනාවක්.මේ පාසලේ තියෙන විශේෂත්වය තමයි මේ පාසල පිහිටලා තියෙන්නේ ත්‍රිකුණාමලය තිස්ස නාවික හමුදා කඳවුරක් ඇතුළත වීම. හමුදා කඳවුරක් ඇතුළත පිහිටා තිබෙන ලංකාවේ එකම පාසල.
ඒ වගේම මේක යුද්ධෙන් බැට කාපු පාසල්වලින් එකක්. අනෙක් කාරණය තමයි රෝහණ විජේවීර මහත්මයාගේ දරුවන්ව පුනරුත්තාපනය කිරීමේ පාසලක් ලෙස භාවිතා වුණෙත් මෙම ත්‍රි/ තිස්ස මහා විද්‍යාලය තමයි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර සෞන්දර්ය අධ්‍යක්‍ෂකතුමාත් ප්‍රතිඵල නිකුත් කළ අවස්ථාවේ දී සඳහන් කළා වසර 08 කින් පසුවයි නැගෙනහිර පළාතේ නාට්‍ය බලන්න පුළුවන් වුණේ කියලා. ඒකම ලොකු ජයග්‍රහණයක් .
මේ දරුවන්ව පිරිපුන් මිනිස්සු කරන්න නම් සෞන්දර්යයෙන් පෝෂණය කරන්න ඕන කියලා මම හිතනවා. වසර ගණනක යුද්ධයෙන් බැටකාපු මේ දරුවන්ට සංවේදී මිනිසුන් විදිහට සමාජයට දායාද වන්නට ලැබෙන රුකුල තමයි මෙහිදී වටිනාම කාරණය වෙන්නේ.
උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි
previous post