31 C
Colombo
2024-08-25
mediahumanrights.lk
News Political

අයවැය හරහා ජනතාව දිරිමත් කර තිබෙනවා – අගමැති

මෙවර අයවැය මගින් ජනතාව දිරිගැන්වීම් සිදු කර තිබෙන අතර ලිහිල් ආර්ථික ප්‍රතිපත්ති වෙත යොමු වූ බවත් පෙන්වාදෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා  මීට සති දෙකකට පමණ පෙර චීන – ශ්‍රී ලංකා ආයෝජන කටයුතු වෙනුවෙන් හම්බන්තොට විශේෂ කාර්යාලයක් ආරම්භ කළ බවත් එළැඹෙන දෙසැම්බර් මාසය පමණ වන විට චීන – ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරය මගින් හම්බන්තොට වරායේ සංවර්ධන කටයුතු බාර ගන්නා අතර ම ඉදිරියේ දී මත්තල ගුවන් තොටුපොළත් සංවර්ධන කටයුතු වෙනුවෙන් බාරදීමට නියමිත යැයි ද පැවසීය.
අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (13) අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයකට එක්වෙමිනි.
“යම් ආයෝජකයෙක් රැකියා අවස්ථා බිහි කරන නව ව්‍යාපාරයක් ආරම්භ කරනවා නම් ඒ සඳහා යොදවන මුදල මෙන් දෙගුණයක සහන නව දේශීය ආදායම් පනත හරහා ලබාදීමට අපි තීරණය කර තිබෙනවා. නමුත් අප එම සහන ලබා දෙන්නේ සාර්ථක ප්‍රතිඵල පෙන්වන ආයෝජකයන් සඳහා පමණයි. මෙම වැඩපිළිවෙළ හරහා අප බලාපොරොත්තු වන්නේ දේශීය ව්‍යාපාරිකයන් තම මුදල් යොදවා නව ව්‍යාපාර ආරම්භ කිරීමට දිරිගැන්වීමයි. ඒ ආකාරයට දේශීය ආයෝජකයන් නව ව්‍යාපාර ආරම්භ කිරීම රට ජාතිය ගැන තැකීමක් පමණක් නොව, රටේ ආදායම් ඉහළ නැංවීමට දායක වීමක් ද වනවා. ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර හා සේවා සඳහා ආයෝජන සිදු කරනවා නම් එම ව්‍යාපාර ලෝක වෙළෙඳපොළත් සමඟ තරග කළ හැකි මට්ටමේ ව්‍යාපාර විය යුතුයි”.
“පවතින ව්‍යාපාර, හෝටල් සහ අනෙකුත් සේවා අංශ දියුණු කිරීම සඳහා අවශ්‍ය අමතර මුදල් බැංකු හරහා ලබාදීමට අප කටයුතු කර තිබෙනවා. මේ සියලු දේ අප සිදු කරන්නේ රැකියා බිහි කිරීමේ පරමාර්ථය පෙරදැරිවයි. නමුත් මෙම වැඩ කටයුතු සිදු කිරීම සඳහා දේශීය ප්‍රාග්ධනය පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. එම නිසා විදේශීය ප්‍රාග්ධනය ද අවශ්‍ය වනවා. අපට අවශ්‍ය වන්නේ විදේශ කර්මාන්ත ශාලා, විදේශ හෝටල් සමාගම්, නව පරිගණක තාක්‍ෂණය ආදිය රට තුළට ගෙන්වා ගනිමින් ඒ සියලූ දේ හරහා රටේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීමටයි”.
රට තුළ වෙළෙඳ කලාප සහ කර්මාන්ත කලාප ඇති කිරීම සඳහා මෙවර අයවැය හරහා මුදල් වෙන් කර තිබෙන අතරම මහනුවර නගරය සංවර්ධනය කිරීම සඳහාත් මුදල් වෙන් කර තිබෙනවා යැයි ද කීය.
“චීන, ජපාන, ඉන්දීය, යුරෝපා ආයෝජකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගනිමින් රට සංවර්ධනය කරා ගෙන යාමේ වැඩ සටහනට මෙවර අයවැය මගින් ඉඩ ලබා දී තිබෙනවා. පසුගිය වසර දෙකෙහි අයවැය මගින් අප උත්සාහ කළේ රටේ ණය ගෙවා ණය බර අඩු කර ගැනීමටයි. අද වන විට රටේ ආදායම ඉහළ ගොස්, ණය පියවීමට හැකි තත්ත්වයකට රටේ ආර්ථිකය පත්ව ඇති නිසා ජනතාව සුභ සාධනය වෙනුවෙන් ලබාදෙන මුදල් වැඩි කරමින් තරුණ තරුණියන්ට රැකියා අවස්ථා බිහි කර දීමේ වැඩසටහන අප ඉදිරිපත් කර තිබෙනවා”.
“තවත් වසර දෙක – තුනක් අප මෙම ගමන සාර්ථකව ඉදිරියට යා යුතුයි. රට මේ තත්ත්වයට ගෙන ඒමට අපට හැකි වනු ඇතැයි බොහෝ දෙනා සිතුවේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ප්‍රමුඛ ජාතික ආණ්ඩුවට රටේ සංවර්ධනය වෙනුවෙන් මෙවැනි විශාල වැඩ කොටසක් කිරීමට හැකි වනු ඇතැයි බොහෝ දෙනා කල්පනා කළේ නැහැ. මේ ජාතික ආණ්ඩුව කුමක්දැයි එදා ඔවුන් ප්‍රශ්න කළා. නමුත් අද එම ජාතික ආණ්ඩුවේ ප්‍රතිඵල ජනතාවට ලබාදීමට අපට හැකි වී තිබෙනවා. 2018 වසර අවසන් වන විට මීටත් වඩා සාර්ථක ප්‍රතිඵල ජනතාවට ලබාදීමට අපිට හැකි වෙනවා. 2019 වසර ඊටත් වඩා සාර්ථක ප්‍රතිඵල ලබා දෙන වසරක් වන බව කිව යුතුයි. අප වැඩ කටයුතු සිදු කරන්නේ එම සාර්ථකත්වය බලාපොරොත්තුවෙනුයි”.
පසුගිය වසර දෙක තුළ අපේ රටේ ජල ගැලීම්, නායයාම්, කුණු කඳු කඩා වැටීම්, ඩෙංගු ව්‍යසන ආදී ප්‍රශ්න ගණනාවකට මුහුණ දුන්නා. ඒ හරහා රටේ ආර්ථික වර්ධනය යම් තරමකින් කඩා වැටීමකට ලක් වූ නමුත් එම ආර්ථිකය වර්ධනය කරගනිමින් ඉදිරියට යාමටත්, ණය පියවීමටත්, ජනතාව වෙනුවෙන් නිවාස ඉදිකර දීමටත්, සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර දියුණු කිරීමටත් දැන් අපට හැකියාව ලැබී තිබෙන බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

(under the courtesy of news.lk news web)

Related posts

එජාප කුමන්ත්‍රණයක් ගැන එස්.බී කියයි

Shiran Viraj

රජයට විරුද්ද විරෝධතාවකට ගියේ යයි සුගත් තිලකරත්න වටකර ගහන්න හදලා..

Shiran Viraj

ගුරුවරුන් බඳවා ගන්නා අයුරු අකිල කියයි

Shiran Viraj