27 C
Colombo
2024-07-07
mediahumanrights.lk
Entertainment Entertainment News News

කලාකරුවන්ගේ පවුල් අවුල් ප්‍රසිද්ධ වෙන්නේ මේ නිසයි

වේදිකාව ටෙලි නාට්‍ය සහ සිනමාව තුළ තම රංගන කුසලතා පළකළ ඇය “ මද්දහන ” ටෙලි නාට්‍යයේ “නාලිනී” ගේ භූමිකාව උදෙසා පසුගියදා පැවැති සුමති සම්මාන උළෙලෙහිදී “හොඳම සහය නිළිය” ලෙසින් සම්මානයට පාත්‍රවිය. මේ දිනවල විකාශය වන “සල් සපු නා” ටෙලි නාට්‍යය තුළින් ඔබ හමුවට එන මෙම දක්ෂ රංගන ශිල්පිනිය මෙවර “රැජිණ” තුළින් ඔබ හමුවට එයි. ඇය ගයනී ගීසන්තිකාය . රංගන ශිල්පිනියක් සේම බිරිඳක සහ මවක් ලෙස ජීවිතය දකින ආකාරය පිළිබඳව “රැජීණ” පාඨක පිරිස වෙනුවෙන් ගයනී හෘදයාංගම කතාබහක නියැලුනේ මේ අයුරිනි.
පසුගියදා පැවැත් වූ සුමති ටෙලි සම්මාන උළෙලෙහිදී ඔබහට වසරේ දක්ෂතම සහය නිළිය ලෙසින් සම්මානය හිමිකළ “ නාලිනී” ගැන කතාකළොත් ..
“නාලිනී” කියන්නේ අවිවාහකව තමන්ගේ වයස ගෙවා දැමූ පවු‍ලේ වැඩිමල් දියණියක්. ඇය ග්‍රාමීය පරිසයක උපන් කෙනෙක් . නාලිනී තුළ කරන්නට බොහෝ දේ තිබුණා. එම චරිතයට මගෙන් සාධාරණත්වයක් ඉෂ්ටවෙයි කියන විශ්වාසය තැබූ සුමිත්ට මම ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ මම නාලිනීට සාධාරණයක් කරන්න ඇති. ඒ හින්දයි මෙම සම්මානය මට හිමවුණේ ..
“ මම රඟපාන්නේ චරිත තෝරා බේරාගෙන” කියන එක බොහෝ නළු නිළියන් කියන දෙයක්. ඔවුන් බොහෝවිට ගුණාත්මක නිර්මාණවල විතරයි දකින්නට ලැබෙන්නේ .. ඔබත් රංගනයේදි ඒ වගේ තෝරා ගැනීමක් කරනවාද .. ?
ඔව් .. මමත් තෝරා ගැනීමක් කරනවා.
ගයනී පවසන්නේ ඔබ රඟපාන්නේ ගුණාත්මක නිර්මාණවල විතරයි කියලාද.. ?
නැහැ.. මෙගා නාට්‍යයද උසස් කලාත්මක නිර්මාණද හාස්‍යා්ත්පාදක නිර්මාණද කියන එක මට අදාළ නැහැ. මට වැදගත් වන්නේ මම දායක වන චරිතය මොන විදියට ගොඩනැගිලද කියන එක විතරයි. ඒ තුළ මට යමක් කරන්න තියෙනව නම් මම ඒක භාරගන්නවා. දෙබස් කියන්න විතරක් තියෙන නිකම්ම නිකං චරිතයක් නම් කතාව තුළ මගේ චරිතයෙන් යමක් කෙරෙන්නේ නැත්නම් ඒක මොන විදියේ නිර්මාණයක් වුණත් මම භාරගන්නේ නැහැ.
ඇතැම් සම්මානනීය නළු නිළියන් මෙගාවලට බනිනවා. ගයනී මෙගා ටෙලි නාට්‍යය පවා අගය කරනවා..
විදෙස් රටවලත් දීර්ඝ ටෙලි නාට්‍යය තියෙනවා. ප්‍රමිතියක් ඇතුව කෙරෙන මෙගා නාට්‍යය ලංකාවෙත් තියෙනවා. කොටස් සිය ගණනක නාට්‍යය නම් එකපාරට පිටපත දෙන්න බැහැ. ඒක ප්‍රායෝගිකයි. ඒත් ඒවායේ ආරම්භයක් අවසානයක් තියෙනවා. ඔය අතරේ කතාව බලෙන් දීර්ඝ කරන දර්ශන තලයේදී පිටපත ලියැවෙන මෙගා නාට්‍යයත් තියෙනවා. එවැනි නිර්මාණවලදී
නිර්මාණයට වඩා මුදලටයි මුල් තැන ලැබෙන්නේ.. මම මේ දවස්වල “සල් සපු නා” ටෙලි නාට්‍යයට සම්බන්ධ වී සිටිනවා. එය නාලන් මෙන්ඩිස් මහතාගේ අධ්‍යක්ෂණයක් . රම්‍යා වනිගසේකර , දමිතා අබේරත්න , ජනක කුඹුකගේ වැනි නළු නිළියන් තමයි ඊට රංගනයෙන් එක්වන්නේ.. මට ඒ අධ්‍යක්ෂවරයා ගැන වගේම මාත් එක්ක රඟපාන නළු නිළියන් ගැනත් ලොකු විශ්වාසයක් තියෙන හින්දයි මට ඒ නිර්මාණය ගැන විශ්වාසයක් ඇති වුණේ.. මම ඒ හින්දයි ඊට එක්වුණේ .. එසේ නොවුණා නම් මම ඊට එකතු වෙන්නේ නැහැ..
හොඳ ආරම්භයක් ඇති මෙගා නාට්‍යයකට ඔබ එකතුුවනවා. කාලයත් සමග ඇති වන තත්ත්වයන් මත එය අනවශ්‍යය ලෙස දීර්ඝ කෙරෙනවා. ඉන් පසු එම නාට්‍යය ගුණාත්මක බවින් අඩු එදිනෙදාට සිදුවීම් ගළපන නාට්‍යයක් බවට පත්වෙනවා. එහෙම වුණොත් ගයනී දිගටම එහි රැඳී සිටිනවාද.?
මම මෙගා නාට්‍යයකට සම්බන්ධ වෙන්නේ එහි කොටස් ගණන් ගැන විමසලා. කොටස් දෙසීයකට නිර්මාණය වන්නට තිබූ නාට්‍යයක් හිටි හැටියේ කොටස් පන්සීිය වුණොත් මම දිගටම එහි රැඳී සිටින එකක් නැහැ.
ඔවැනි තෝරාගැනීම් නිළියක් ලෙස පවතින්නට බලපෑම් කරන්නේ නැද්ද .. ?
මම මගේ පැවැත්ම ගොඩ නගා ගන්නේ රඟපෑම තුළින් ‍නෙවෙයි. මගේ සැමියා (තරුපති මුනසිංහ) කැලණිය විශ්ව විද්‍යාලයේ සංගීත කථිකාචාර්යවරයෙක්. මට ඒ හින්දා පැවැත්ම පිළිබඳ ගැටලු නැහැ.
ඔබේ පවු‍ලේ තොරතුරු පැවැසුවොත් ..?
මගේ සැමියා තරුපති මුනසිංහ . අපිට පුතුන් දෙදෙනකු ඉන්නවා. ලොකු පුතා මයුන්. එයාට වයස අවුරුදු 7 යි. දෙවැනියා නෙතුම්. එයාට වයස 5 යි. දෙන්නම නුගේගොඩ “රෝයල් ඉන්ස්ටිටියුට්” ජාත්‍යන්තර පාස‍ලේ අධ්‍යාපනය ලබනවා.
අද කලා ලොවේ දික්කසාදවීම් බහුල නිසා කලාකරුවන්ගේ පවුල් අවුල් කියලා මතයක් ජනතාව තුළ ගොඩනැගිල තියෙනවා. කලාකරුවකුගේ බිරිඳක් වගේම කලාකාරියක ලෙස මේ ගැන ඔබේ අදහස කුමක්ද .. ?
විවාහයදී සිදුවන්නේ පරිසර දෙකක හැදුනු දෙන්නෙක් ජීවිතයේ අතර මගදී එක වහලක් යටට එන එක . එහිදී ඒ දෙන්නාට එකට ජීවත් වෙන්න ලොකු කැපකිරීමක් කරන්න වෙනවා. ඉවසීම සහ කැපකිරීම නැතුව විවාහය පවත්වාගෙන යන්න අමාරුයි. හැබැයි ඉතින් ඒ කැප කිරීම් කරලත් දෙන්නට දෙන්න ගැළපෙන්නේම නැත්නම් දෙන්නට එකට ඉන්න බැරිම නම් කරන්න තියෙන්නේ වෙන්වෙන එක. ඒ අතින් මම හරිම වාසනාවන්ත බිරිඳක්. මගේ සැමියා මාව ඉතා හොඳින් තේරුම්ගෙන තියෙනවා. අපි සතුටින් ජීවත් වෙනවා. කලා ලෝකයේ ඇතැම් අයගේ ජීවිතවල වූ හැල හැප්පීම් මත කලාකරුවන්ගේ විවාහ ජීවිත අවුල් කියලා ගොඩනැගුන මතය ගැන නම්  මට කියන්න තියෙන්නේ ලෝකයේ වෙනත් රටවලත් ඔය තතත්වය තියෙනව කියන එක. ඒ වගේම තවත් දෙයක් විශේෂයෙන් කිවයුතුයි. කලාකරුවන්ගේ පවුල්වල ඇතිවන අවුල් හැමෝම දකින්නේ ඒ අය ප්‍රසිද්ධ හින්දා. ඒත් රටේ පවතින දික්කසාද නඩු ගැන සමීක්ෂණයක් කළොත් පෙනෙයි කලාකරුවන්ට වඩා විශාල ප්‍රමාණයක් දික්කසාද සාමාන්‍ය සමාජය තුළ තියෙන බව.

( උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි)

Related posts

මධ්‍යස්ථාන 12ක් තුළ පුද්ගලයින් 1311ක් නිරෝධායනයට

Shiran Viraj

ෂූටින් නැති­ දාට අපේ ගෙදර ඔක්කොම වැඩ කරන්නේ මමයි රංගන ශිල්පිනී හෂි­නිකා කර­ල්ලියද්ද

Shiran Viraj

සිඟමන් යෙදෙමින් සුඛෝපභෝගී දිවියක් ගෙවන ආසියාවේ ලොකුම වංචාකාරයා

Shiran Viraj