mediahumanrights.lk
Entertainment Entertainment News News

මම ඒ ගැන කතා කරන්න කැමති නෑ මිනිස්‌සු ඇත්ත දන්නවා කටකතා ගැන අනුඡ් කියන කතාව

අනුඡ් රණසිංහ ඉස්‌සරහදී දකින්න පුළුවන් නිර්මාණ මොනවද?
දිලූප ගුණතිලකගේ නෝ වෙයා, බර්මින් ලයිලි ප්‍රනාන්දුගේ දේදුනු පාළම ඇතුළු තවත් ටෙලි නාට්‍ය කිහිපයක්‌ එන්න තියෙනවා. චිත්‍රපට ගත්තොත් උදයකාන්ත වර්ණකුලසූරියගේ ‘වස්‌සානේ සඳ’ චිත්‍රපටය. මං හිතන්නේ ඊළඟ අවුරුද්දේ තිරගතවෙයි. ඒක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව. ඒ වගේම බර්මින් ලයිලි ප්‍රනාන්දුගේ ‘අග පිපි මල්’ සහ සේනක විඡේසිංහගේ මෙඝා නිර්මාණ එන්න තියෙනවා. ඉස්‌සරහට ටෙලි නාට්‍ය වලට වඩා චිත්‍රපට සඳහා වැඩි ප්‍රමුඛතාවක්‌ දීලා කටයුතු කරන්න තමයි හිතාගෙන ඉන්නේ.
මේ හැම නිර්මාණයකම අනුඡ් පෙම්වතාද?
නෑ…..නෑ…අග පිපි මල් චිත්‍රපටයේ පොලිස්‌ නිලධාරියකුගේ චරිතයක්‌. දේදුණු පාළමේ ගුරුවරයෙක්‌. ගොඩක්‌ වෙලාවට ලැබුණේ සහ ලැබෙන්නේ පෙම්වතාගේ චරිතය තමයි. නමුත් වෙනස්‌ චරිත කිහිපයකුත් තියෙනවා.
රෙඩ් අනුඡ්ගේ පළමු නිෂ්පාදනයද?
ඔව්…මගේ පළමුවැනි නිෂ්පාදනය.
මොකක්‌ද නිෂ්පාදනය කරන්නෙ ?
හර්ෂ උඩකන්ද එක්‌ක එකතුවෙලා චිත්‍රපටයක්‌ කරන්න කටයුතු සූදානම් කරමින් ඉන්නවා. ඒකට අවශ්‍ය දේවල් පිළිබඳ තමයි අපි දෙන්නා මේ දවස්‌වල කතා බහ කරමින් ඉන්නේ. ඒකෙ තිර රචනය සඳහා මම තමයි හර්ෂට අදහස දුන්නේ. අපි දෙන්නා කාලයක්‌ තිස්‌සේ යාළුවෝ සහ සිනමාව ගැන අපි නිතර කතා කරනවා. ඉතිං මේ වැඩේ හොඳට කරන්න තමයි හිතාගෙන ඉන්නේ.
දැන් ක්‌ෂේත්‍රයට ඇවිත් කොච්චර කල්ද?
චිත්‍රපට ක්‌ෂේත්‍රයට ඇවිත් වසර තුනක්‌ විතර. නමුත් මෝස්‌තර නිරූපණ ශිල්පියෙක්‌ විදියට 2010 ඉඳන් කටයුතු කරනවා. ඒ වගේම වෙළෙඳ දැන්වීම් නිරූපණයේ පවා යෙදී සිටිනවා. ඉතිං එහෙම හිතුවොත් අවුරුදු හතක විතර කාලයක්‌ වෙනවා.
ඔබ වෘත්තියෙන් රංගන ශිල්පියෙක්‌ද?
මෙහෙමයි කාලයක්‌ මං පරිගණක ඉංජිනේරුවරයෙක්‌ විදිහට වැඩ කළා. මම දැනටත් පරිගණක ඉංජිනේරු විෂයට අදාළව දේශන පවත්වනවා. කොහොම වුණත් දැනට වෘත්තීමය නළුවෙක්‌ විදිහට තමයි කටයුතු කරන්නේ. නමුත් මං හිතන්නේ නෑ එක දිගට එතැනත් ඉඳීවි කියලා. මොකද මගේ අරමුණ මගේම කියලා ව්‍යාපාරයක්‌ ආරම්භ කරන එක.
අනඡ් සම්බන්ධවුණේ අඩු නිර්මාණ ප්‍රමාණයකට කියලා හිතෙන්නේ නැද්ද?
මෙහෙමයි මීට වැඩිය නිර්මාණ ප්‍රමාණයකට මට ටෙලිනාට්‍ය පැත්තෙන් දායක වෙන්න තිබුණා. මෙගා නාට්‍ය ගොඩකට මට ආරාධනා ලැබුණා. නමුත් මට තේරුණ විදිහ මාව වැඩිපුර ගැලපෙන්නේ සිනමාවට. ඉතිං ලංකාවේ චිත්‍රපට නිෂ්පාදනය වන වේගය සහ අනුපාතය හැමෝම දන්නවා. එහෙම හිතද්දී අවුරුදු තුනට මං චිත්‍රපට හතරක්‌ කරලා තියෙනවා. ඒ ගැන යම් තරමකට මං සෑහීමකට පත්වෙනවා. හැබැයි ටෙලි නාට්‍ය කළා නං ගොඩක්‌ දුර යන්න තිබුණා. නමුත් මට එහෙම වුවමනාවක්‌ තිබුණේ නෑ. හෙමින් හෙමින් සිනමාවේ ගමනක්‌ යන්න තමයි හිතාගෙන ඉන්නේ.
අනුඡ්ට ගෙදරින් කියන්නේ නැද්ද දැන් විවාහ වෙන්න කියලා?
කියනවා…කලින් නං එහෙම බලපෑමක්‌ කළේ නෑ. හැබැයි දැන් නං කියනවා, මොකද අම්මා එහෙම අදහසක තමයි ඉන්නේ. හැබැයි ඒ දේවල් වලට තව ටික කාලයක්‌ යයි. මොකද මමත් ක්‌ෂේත්‍රයට ආව විතරයි. ඉදිරියට කරන්න ගොඩක්‌ දේවල් තියෙනවා. තව වසර කිහිපයක්‌ යනකං මේ විදිහටම ඉඳීවි.
මේ දවස්‌වල අනුඡ්ගේ නම සඳහන්ව වෙබ් අඩවිවල පළවෙන කතා ගැන මොකද කියන්නේ?
ම්..මෙහෙමයි. ඕවා ගැන මම කතා කරන්න කැමැති නෑ. මීට කලින් ඒ ගැන අදහස්‌ පළකරන්න මට ඕනකමක්‌ තිබ්බා. නමුත් ඒ දේවල් බලද්දී මම දැකපු එකම දේ තමයි ඒ ගොසිප් වලට සාමාන්‍ය මිනිස්‌සු අදහස්‌ පළකරලා තිබීම. ඒ අදහස්‌ දැක්‌කහම මට හිතුනා ඒ දේවල් ගැන මම ආයේ කතා කරන්න කිසිම අවශ්‍යතාවක්‌ නැති බව. මිනිස්‌සු ඇත්ත මොකක්‌ද බොරුව මොකක්‌ද, මොකක්‌ද වෙලා තියෙන්නේ කියන දේ තේරුම් අරගෙන තියෙනවා. කවුරුහරි යකඩ කෑල්ලක්‌ පෙන්නලා මේක රත්තරං මේක රත්තරං කියලා කොච්චර කෑ ගැහුවත් ඒක රත්තරන් නෙමෙයි යකඩ කියලා මිනිස්‌සු දන්නවා. ඉතිං ඒ සාමන්‍ය අයගේ අදහස්‌ ඔක්‌කොම කියෙව්වට පස්‌සේ මම තේරුම් ගත්තා නිහඬව සිටීම හොඳයි කියලා. අනික මං ඉගෙනගත්ත කෙනෙක්‌, මොළයක්‌ තියෙනවා. මේ වගේ වෙබ්සයිට්‌, ගොසිප් සයිට්‌ හරහා තමුන්ගේ අතිශය පෞද්ගලික ජීවිතය එළියට දානවා කියන්නේ ඒක තමන්ට විතරක්‌ නෙමෙයි අම්මා තාත්තා දරුවෝ ඉන්නවා නං ඒ හැම කෙනකුටම කාලයක්‌ යනකං ඒක බලපානවා. එහෙම තැනකට වැටෙන්න තරං මං මෝඩයෙක්‌ වෙන්න ඕන නැහැ කියන තැන ඉන්නවා. ඉතිං ඒකයි මට කිසිදෙයක්‌ කියන්න වුවමනාවක්‌ නැති වුණේ. මිනිස්‌සු ඇත්ත දන්නවා. ආයේ මේක යකඩ කිය කිය මට පෙන්නන්න වුවමනාවක්‌ නැහැ. ඉතිං ඒ හින්දා මං නිහඬව මගේ වැදගත්කම පෙන්නගෙන ඉන්නවා.
පෙම්වතිය කවුද?
පෙම්වතියක්‌ නැහැ. හැමදාම මං ආදරය කරපු මනුස්‌සයෙක්‌. මං ආදරය කරන මගේ වටේ ඉන්න කීපදෙනෙක්‌ ඉන්නවා, ඒ තමයි මගේ අම්මා තාත්තා ඇතුළු කීප දෙනෙක්‌. පෙම්වතියක්‌ කියලා විශේෂ කෙනෙක්‌ නැහැ. දැනට එහෙම වුවමනාවකුත් නැහැ. එහෙම දෙයක්‌ ඇතිවෙනවා නං මං දැන් ඉන්න තත්ත්වයේ හැටියට ඒක විවාහය කරා යන සම්බන්ධයක්‌ වෙන්න ඕන. ඉතිං මේ වෙලාවේ විවාහය කරා යන සම්බන්ධයක්‌, ගැන මං හිතලා නැහැ. හොඳ කෙනෙක්‌ව හම්බවෙනකන් සහ ටික කාලයක්‌ ගන්නවා මං ඒ කාරණාවට. මිනිස්‌සුන්ව තේරුම් ගන්න කල් යනවා. ඉතිං කාලෙත් එක්‌කම ඒ දේවල් සිද්ධ වෙයි.
වෙබ් අඩවිවල ඔබේ පෙම්වතිය කියල නමක්‌ සඳහන් වෙනවා මේ කතාවේ ඇත්ත නැත්ක මොකක්‌ද?
ඔය වගේ කට කතා කීපයක්‌ හැදුනා. ඉස්‌සරහට චිත්‍රපටයක්‌ එන්න තියෙනවා එතකොටත් තව කට කතාවක්‌ හැදෙයි. මේ වගේ කටකතාවක්‌ චිත්‍රපටය තිරගත වුණ වෙලාවෙත් ලොකුවට හැදුනා. එහෙම තැනක තමයි ඔය කතාවත් තියෙන්නේ. එහෙම දෙයක්‌ තියෙනවාද නැති ද කියලා කාලයත් එක්‌ක තේරෙයි. අපි බලමු ඉතිං මේක කොයි ආකාරයට වෙයි ද කියලා.
(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

Related posts

මාවනැල්ලේ බලය තහවුරු කරගනී (PHOTOS)

Shiran Viraj

කම්කරු දිනය වෙනස් කිරිම ගැන අස්ගිරි පාර්ශවය සිය ස්ථාවරය ප්‍රකාශ කරයි

Shiran Viraj

පොසොන් පොහොය අදයි

Shiran Viraj