අපේ රටේ ටෙලි නාට්‍ය,චිත්‍රපට රංගන ශිල්පිනියන් අතර ප්‍රවීණ රංගන ශිල්පිනියන් සිටින්නේ අතළොස්සකි. එවැනි ශිල්පිනියක ලෙස හැඳින්විය හැකි හයසින්ත් විජේරත්න නම් වන ඇය මෙවර අමතක නොවන මතක විශේෂාංගයට එක්වූයේ සතුටිනි.
• මුලින්ම පාසල් ගිය දවස
හැමෝටම වගේ මගේ ජීවිතේත් පාසල් ගිය පළමු දවස හැමදාමත් මතකයේ තිබෙනවා.ඒ කාලෙ අද වගේ පළමු පංතියේ සිටම පාසල් යා යුතුයි කියා නියමයක් තිබුණේ නෑ.පළමු වසර සිට හතරවැනි වසර දක්වා පාසල් ගියේ මෝදර ජේම්ස් දේවස්ථානයේ දහම් පාසලට.පසුව හතර වසරේදි කොළඹ සාන්ත අන්තෝනි බාලිකා විදුහලට ඇතුළත් වෙනවා. මට මතකයි මම්මයි, පප්පයි නිතරම කියනවා අක්කල වගේ මුලින්ම පාසල් ගිය දවසේ මම ඇඬුවේ නෑ කියා.මම ඉක්මනින්ම හැමෝම එක්ක යාළුවුණාලු. මගේ පප්පට මෝදර සහ තවත් ප්‍රදේශ කිහිපයක ඉඩ කඩම් තිබූ නිසා ඔහුගේ රැකියාව වුණේ දේපළ බලා ගැනීම. මම්මත් රැකියාවක් කළේ නෑ.ඔවුන්ට ජීවත්වන්න හොඳ දේපළක් තිබුණා. අම්මා ගෙදරටව අපි සහෝදර සහෝදරියන් හය දෙනා බලාගෙන සිටියා. ඒ අතීතය හරිම මිහිරියි.
• නාන්න ගිහින් නංගි ගිලුණා
අපි හැමෝටම බාල මල්ලි මාස හයක් ජීවත්ව සිටයදි මියගියා. මට මතකෙ හැටියට එතකොට මට අවුරුදු 14ක් විතර ඇති. අපේ පවුලට බොහොම නරක කාලයක් උදාවුණා.අපේ පප්පට තිබුණා වත්තක් කලාවැව ප්‍රදේශයේ. කලාවැව පාලම ඉදිකරන්න දී තිබෙන්නේත් අපේ වත්තක්.එම පාලම ඉදිකර විවෘත කිරීමේ උත්සවයට අපි පවුලම කලාවැව ගියා.මමත්අක්කලා දෙන්නාත් නංගි හා මල්ලි එක්ක කලාවැව ඟගේ නාන්න ගියා.පාලම අයිනේ ගැඹුරු වළක් කපල තියෙනවා කියල අපි දැනගෙන හිටියේ නෑ . අක්කල දෙන්නා වළට වැටුණා. අක්කලගෙ කෑ ගැහිල්ල ඇසිල මම ළඟට යනකොටම මාවත් වැටුණා. පස්සෙ අපිව දැකල නංගියි මල්ලියි ආවම ඒ දෙන්නත් වළට වැටුණා. අපි කට්ටියම ගිලෙන්න ගියා. අපේ සද්දෙට ඒ ගමේ ගැහැනු කෙනෙක් දුවගෙන ඇවිත් අපිව බලාගන්න හිටිය කෙනා සමග එකතුවෙලා කට්ටියවම ගොඩට ගත්ත.එහෙත් නංගිට වතුර පෙවිල හොඳටම අමාරු වුණා. අනුරාධපුර රෝහලට ගෙනයනවිටත් ඇය මිය ගිහින්. මාත් අසාධ්‍ය තත්ත්වයට පත්වෙලා කොළඹට ගෙනිහින් තමයි බේරගෙන තිබුණේ. මිය ගිය නංගිව අවසාන මොහොතේ යන්තම් දැකගන්න ලැබුණා. නැති වු නංගිට අවුරුදු 11ක් ඇයගෙන් වෙන්වීම මගේ ජීවිතයට බෙහෙවින්ම දැනුණා. මට මතකයි ඒ කාලෙ කොච්චර දුකකින්ද අපි හිටියේ කියා.
• කන්‍යා සොයුරියක් වෙන්න සිතුණා
නංගිගේ වෙන්ව යාමත් සමගම ජීවිතේ ගැන ඇතිවුණේ බොහොම කලකිරීමක්. මා සමගම හැදී වැඩුණු, මා සමගම එකට පල්ලි ගිය නංගී නැතිව හරිම පාළුවක් දැනුණා.කන්‍යා සොයුරියක් විය යුතුයි කියා සිතාගෙන පප්පට ඒ බව කී විට ඔහු අඬන්න ගත්තා. මම්මගෙත් වැඩි කැමැත්තක් නෑ. පස්සෙ මට හිතුණා මමත් ඔවුන්ගෙන් ඈත් වුණොත් ඔවුන්ගේ දුක තවත් වැඩිවේවි කියා.ඒ නිසා ඒ අදහස අත්හැරියා.අදත් ඇතැම් කන්‍යා සොයුරියන් මාව දැක්කම කන්‍යා සොයුරියක් වුණානම් අපට නිළියක් නැතිවෙනවා කියා හිනා වෙනවා.කොච්චර ජීවිතේ වෙනස් වුවත් නංගිගේ වියෝව අදත් සිහි වනවා.
• අවුරුදු කුමරී කිරුළ පැළදුවා
ඔහොම ඉඳිද්දී ආපහු කලාවැව ගිය අවස්ථාවක නොච්චියාගම ඉස්කෝලෙ පැවැත්වුණා අවුරුදු උත්සවයක්.එහි විදුහල්පතිවරයාගේ ඉල්ලීමට අවුරුදු කුමරිය තේරීමේ තරගයට සහභාගි වුණා.එයින් ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කළා. එය තමයි පළමු වරට අවුරුදු කුමරියක් ලෙස ජයග්‍රහණය කළ අවස්ථාව.පසු කාලෙකදි පැවැත්වු රූප සුන්දරී තරගයකට ඉදිරිපත්ව අවසන් පස්දෙනා අතරට එන්නට හැකිවුණා.එවකට මා විවාහව දරුවකු සිටි නිසා ජයග්‍රහණය කරන්න බැරිව ගියා. මට මතකයි එම තරගයට දැනට සිටින ප්‍රවීණ නිළියන් රැසක්ම සහභාගිව වුවා.
• පුතා ඉපදෙනකොට 20 යි
බොහෝ රංගන ශිල්පිනියන් රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ වන්නේ විවාහ වන්න කලින්.එහෙත් මම රංගන ශිල්පිනියක් වන්නේ විවාහ වී දරුවන්ද ලැබූ පසුවයි.පාසල් යන කාලයේදි හරියටම අවුරුදු 18 දි දැනහඳුනාගත් අයිවන් හා වයස 19 දි විවාහ වුණා.අප දෙදෙනාගේම ගෙවල්වලින් ආශිර්වාද ලැබුණා.අවුරුදු 20 දි පුතා ලැබුණා.විවාහ වී බොහෝම අඩු වයසින් මවු පදවිය ලබන්න වාසනාවන්ත වුවා.ඔහු මගේ ජීවිතේ වාසනාව,සතුට , අරගෙන ආපු කුමාරයෙක් විදිහට මම හිතන්නේ. ජීවිතේ ගැන කිසිම තේරුමක් නොදැන වගකීමක් නැතිව සිට මට හොඳ නැන්දම්මා කෙනෙක් ලැබුණා.ඇය මට මගේ අම්මා වුණා. හැමදේම කියාදි ජීවිතේ ගැන වගකීමෙන් වැඩකරන්න ඉගැන්වුයේ ඇයයි. ඇයගේ මග පෙන්වීම කවදාවත් අමතක වන්නෙ නෑ.
• පළමු චිත්‍රපටය පෙම්බර මධු
කිසිම දවසක චිත්‍රපටයක් නරඹා නැති,සින්දුවක් කියන්න බැරි ,නටන්න බැරි කෙනෙක් මම.මගේ අක්කල මම වගේ නෙමෙයි කලාවට හරිම උනන්දුයි.පුදුමයකට වගේ මට ලැබුණු නැන්දම්මා කලාවට ප්‍රිය කරන චිත්‍රපට පිස්සුවක් තිබෙන කාන්තාවක්.මට මතකයි ඇය මාවත් එක්කගෙන චිත්‍රපට බලන්න යනවා.මගේ සැමියාට හොරෙන් තමයි එක්කගෙන යන්නේ. ඇයට ලොකු වුවමනාවක් තිබුණා මා රංගන ශිල්පිනියක් කරන්න. ඔයා ලස්සනයිඔයාට පුළුවන් රඟපාන්න කියා නිතරම කියනවා.චිත්‍රපට නිෂ්පාදනයේ නිරතවන ඇයගේ ඥාතීන් පිරිසක් සිටිනවා .ඔවුන් හා මා ගැන කතාකරන්නත් හැදුවා.මා රඟපෑමට කැමති වුයේ නෑ.පසුව නැන්දම්මා මහත්තයාගේ අක්කාත් සමග එක්වී පත්තරයක තිබු දැන්වීමකට ඉල්ලුම් පත්‍රයක් දැම්මා.එහි සම්මුඛ පරීක්ෂණයටත් මම ගියේ යන්න බෑ කියමින්.මට මතකයි මාලනී ෆොන්සේකා, සහ තවත් ප්‍රවීණයන් පිරිසක් එහි සිටියා.ඔවුන්ගේ කාරුණික කතා හමුවේ රඟපෑමට පොඩි ආසාවක් ආවා.සම්මුඛ පරීක්ෂණයෙන් මා තේරුණ බවත් දන්වා එවා තිබුණා . එහි ප්‍රතිඵලයක් තමයි පෙම්බර මධු චිත්‍රපටයට රංගනයෙන් දායකවන්න ලැබුණේ.එතකොට වයස 26යි.
• රුක්මණී දේවිගෙන් ඇරයුම්
පප්පා මෝදර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පුද්ගලයෙක් වගේම බොහොම විනෝදෙට බර කෙනෙක්.මෝදර පැත්තෙ රූපගත කරන චිත්‍රපටවල රඟපාන්න එන නළු නිළියන් නවාතැන් ගන්නේ කෑම කන්නේ අපේ ගෙදරින්.හැබැයි ඔවුන් ආවම කතාකරනවටවත් පප්පා කැමැති නෑ.වරක් රුක්මණී දේවි ඇවිත් චිත්‍රපටයක රූපගතකිරීමකට සහභාගින්න.මාව දැක දරු කමට හදාගන්න ඉල්ලනවලු.මම හරිම ලස්සනයිලු. ඔයාලට දරුවො හතරක් ඉන්න නිසා මේ බබා මට දෙන්න කියමින් ඉල්ලලා. මම්ම බෑ කියලා.පප්ප කොතරම් සතුටින් කාලය ගතකලත් 59 දි මියගියා. මම්ම ඔහුට පසුව මියගියා. ඔවුන් සියලු දෙනාම මගේ ජීවිතේ අමතක නොවන මතකයන්,විශේෂයෙන් සැමියාගේ මවගේ වෙන්වීමත් මගේ ජීවිතේට බෙහෙවින් බලපෑවා.ඇය මගේ ජීවිතය වෙනස්ම දිශාවකට යොමුකළ තැනැත්තියක්. ඇය මාව කලා ක්ෂේත්‍රයට යොමු නොකළානම් අදත් මම නිකම්ම ගෘහණියක් විතරයි.
• සම්මානයට පාත්‍රවුණා
ජීවිතයේ සැඳෑ සමයට එළඹී සිටින මමත් මගේ සැමියාත් අද මුනුපුරු,මිනිපිරියන් දෙදෙනකුගේ ආච්චි සහ සීයා ලෙස දිවි ගෙවනවා. ලේලිය නෙත් මාලිකා ජයසිංහ,හා පුතා ශිරාෂ් මහින්ද්‍ර විජේරත්න දරු දෙදෙනාත් සමග එංගලන්තයේ ජීවත්වනවා.පසුගිය කාලයේ කලාකාරිනියකට හෝ කලාකරුවකුට ජීවිතයේ එක්වරක් පමණක් ලබාදෙන ocic සම්මානය ලැබුණා.දස්කොන් නාට්‍යයේ රංගනය වෙනුවෙන්ද සම්මානයට පාත්‍ර වුණා.කිසිම බලපෑමක් නැතිව එවැනි සම්මාන ලබා දීමට ක්‍රියාකළ ජූරියේ සියලු දෙනාට ස්තූතියි.
(සිළුමිණ පුවත්පත ඇසුරෙනි)
previous post