mediahumanrights.lk
Entertainment Entertainment News News

මා හඩවලා… ඔබ මගෙන් වෙන් වෙලා…

වෙරළ කොනක හිඳ බලා හිඳින්නෙමි
ඔබ එන මඟ මා පවන් සැලී
පෙර දිනයක අප හමුවු තැන හිඳ
වෙන්වන්නට මුණ ගැසෙමු යළි
හැකියාවන්ගෙන් පිරිපුන් දක්‍ෂතා සහිත ප්‍රතිභාපූර්ණ කලාකරුවන් අකාලයේ මිය යැම වේදනාවට කරුණක්‌ බව අමුතුවෙන් කිවයුතු නෑ. ඉපදුන සෑම සත්ත්වයෙක්‌ම මිය යනවා. එයට විවාදයකුත් නෑ. නමුත්, තමුන් කවුදැයි හඳුනා නොගෙන තමා විසින්ම මරුට අත වැනීම කෙසේවත් අනුමත කිරීමට බෑ. පසුගිය කාලය පුරාවට අකාලයේ මියගිය ජනප්‍රිය කලාකරුවන් මිය යැමට, රෝගී වීමට හේතු සොයා බැලීමේදී මේ කියනා කරුණු පිළිබඳව වඩාත් පැහැදිලි වේවි. තමන් කවුදැයි තමන්ම හඳුනාගන්නා තුරු මේ තත්ත්වය වෙනස්‌ නොවේ. කලාකරුවන් වන අපි – අපේ නොවන බවයි මගේ හැඟීම.
මා හඬවලා ඔබ මගෙන් වෙන්වෙලා
මා නෙතු හඬයි රෑ දිවා තනිවෙලා
මා මෙසේ තනි කළේ ඇයි කියන් මා ප්‍රියේ
මා හඬවලා ඔබ මගෙන් වෙන්වෙලා
නිර්මාණශිලී නිර්මාණකරුවන් බිහිකිරීමට එකල ජාතික තරුණ සේවා සභාව මහඟු සේවාවක්‌ කළා. ඒ තුළින් බිහිවුණ නිර්මාණකරුවන් අද වන විටත් කලා ලොවේ ඉහළ තැනක සිටිනවා. ඔවුන් සැබැවින්ම නිර්මාණශිලීයි. මෙම ජාතික තරුණ සේවා සභාව තුළින් මතුවු හැකියාවන් සහිත කලාකරුවෙක්‌ තමයි පසුගිය 08 වැනිදා අප අතරින් වියෝවූ ප්‍රින්ස්‌ උදය ප්‍රියන්ත. අප දන්නවා ඔහු වසර දෙකකට ආසන්න කාලයක්‌ රෝගාතුරව සිටි බව. ඒ පවුලේ උදවිය මහත් වෙහෙසක්‌ ගත්තා ඔහුගේ ජීවිතය බේරා ගැනීමට නමුත් අවාසනාවන්ත ලෙස ඔහුට දිවියෙන් සමුගෙන යාමට සිදුවුණා, වයස 47 පමණ වන කෙටි කාල සීමාවකදී
ඔබ පෑ පෙම්සිනා – මා හදේ සැඟවුනා
ආදරෙන් මලක්‌ සේ – රැකබලා ගන්නෙමි
අපි කලාකරුවන් ලෙස තවත් කලාකරුවකු අසරණ වුණ අවස්‌ථාවක ඉවත බලාගෙන සිටිය යුතු නෑ. ප්‍රින්ස්‌ මියයන විට නවලෝක රෝහලට රුපියල් විසිපන්ලක්‍ෂ තිස්‌ අට දහසක මුදලක්‌ ගෙවීමට නියමිතව තිබුණා. ඒ වන විටත් ප්‍රින්ස්‌ වෙනුවෙන් පවුලේ උදවිය සියලු සේසතම වියදම් කර අවසානයි. මෙහිදී මට පුද්ගලිකව සිතුනු සිතුවිල්ලක්‌ අනුව, රසික සමාජයෙන් මේ සඳහා අනුග්‍රහයක්‌ ලබාගත යුතු යෑයි හැඟුණු නිසා, මා මුහුණු පොතේ සටහනක්‌ තැබුවා. ප්‍රින්ස්‌ගේ රෝහල් බිල ගෙවීම සඳහා ආධාර කරන ලෙස. ඇත්තෙන්ම මම අදහස්‌ කළේ ප්‍රින්ස්‌ගේ රසිකයන් රුපියල් දහය ගාණේ පරිත්‍යාග කළත් මේ බිල ගෙවා දැමීමට හැකියාව ඇති බවයි. නමුත් සිදුවුණේ මා නොසිතූ ලෙස දරුණු අපවාදයන්ට ගොදුරු වීමයි. සමහරු පවසා තිබුණා, ප්‍රින්ස්‌ගේ මිනිය විකුණාගෙන කන්න හදනවා කියලා. දුරදිග නොහිතන අණුවන මිනිසුන් කොතරම් කෙනෙහිලිකම් කළත්, යහපත් ෙච්තනාවන් වැළලිය යුතු වන්නේ නෑ.
සුළං කපොලු බිඳගෙන නුඹ එන්න ඉගිල්ලී
නෙතින් කඳුළු ඉහිරෙන කොට ඉන්න නොසෙල්වී
පැතුම් මලක සුසුවඳ මට හිඳියි තුරුල්වී
සුසුම්වලට සෙනෙහස ආදරෙයි කිරිල්ලී
ගායක – ගායිකා සංගමය මැදිහත්ව ප්‍රින්ස්‌ගේ අවසන් කටයුතු සිදු කිරීමේ සම්පූර්ණ වගකීම භාරගත්තා වගේම, අප තීරණය කළා මසක්‌ ඇතුළත ප්‍රින්ස්‌ගේ රෝහල් බිල ගෙවා දැමීම සඳහා කටයුතු කිරීමට, ඒ සඳහා අප ගායක – ගායිකා සංගමයත්, ජාතික තරුණ සේවා සභාවේ ආදි විද්‍යාර්ථින් එකමුතුවෙලා සංගීත ප්‍රසංගයක්‌ පවත්වලා, එයින් ලැබෙන ආදායමෙන් එම මුදල පියවා දමනවා. ඒ සඳහා මහරගම ජාතික තරුණසේවා සභාවේ ප්‍රසංග ශාලාව නොමිලේ ලබා දීමට, එහි සභාපතිතුමන් එකඟ වී තිබෙනවා. ඒ වගේම නොමිලේ සංගීතය සැපයීමට අජිත් විතානගේ ප්‍රමුඛ සීදුව සකුරා සංගීත කණ්‌ඩායම ඉදිරිපත්ව තිබෙනවා. දැනටමත් ජනප්‍රිය තලයේ ගායක – ගායිකාවන් රැසක්‌ තම දායකත්වය ලබා දීමට සුදානම්ව සිටිනවා. මෙම ප්‍රසංගය පැවැත්වීමේ දිනය තීරණය කිරීමෙන් අනතුරුව මාධ්‍යය මගින් එය දැනුම් දීමට කටයුතු කරනවා.
අප කලාකරුවන් ලෙස සමාජයේ රැඳී සිටින්නේ රසිකයන් නිසා. ඔවුන්ගේ ආදරය නිසා. අපත් පෙරළා ඔවුන්ට ආදරය කරමින්, සමාජය සමඟ ජීවත්වනතුරා, කිසිදු කලාකරුවෙක්‌ අසරණ නොවන බව මාගේ විශ්වාසයයි. ඒ වගේම මම රජයට යෝජනා කරන්නට කැමතියි කලාකරුවන් වෙනුවෙන් සියලු පහසුකම් සහිත රෝහල් වාට්‌ටුවක්‌ රජයේ ප්‍රධාන රෝහල් තුළ ඉදිවෙනවා නම්, කලාකරුවන් රෝගාතුර වන අවස්‌ථාවක දී මේ තරම් ආර්ථික අතින් අසරණ නොවන බව, මෙය යථාර්ථයක්‌ කර ගැනීමට අප වෙහෙසිය යුතුයි.
ඔබ හා දොඩනට ගත සිත ශක්‌තිය
නැති ලෙස හදවත හඬා වැටේ
එනමුදු අප පෙම් කතාව නිමවී
සමුගන්නම් අද තරහ නොවී
(දිවයින පුවත්පත ඇසුරෙනි)

Related posts

ETI වංචාවට එදිරිසිංහ පවුලේ තිදෙනෙකු අත්අඩංගුවට

Shiran Viraj

ආණ්ඩුවේ ප්‍රධානතම ගැටළු ගැන ගෝඨා කියයි

Shiran Viraj

ත්‍රි රෝද රථ රියැදුරන්ට සුබ අනාගතයක්

Shiran Viraj