mediahumanrights.lk
Local NewsNewsPolitical

කැබිනට් සංශෝධනයෙන් ඇමති ධුර 09ක් – රවීගෙන් ගැලූවුණු මුදල් මංගලට – මංගලගේ විදේශ කටයුතු රවීට – මාධ්‍ය, වරාය හා ඛණිජ තෙල් ඇමති ධුරත් වෙනස් වෙයි- PHOTOS

අද සිදු වූ කැබිනට් මණ්ඩල සංශෝධනයේ දී කැබිනට් අමාත්‍ය ධුර නවයක් සහ රාජ්‍ය අමාත්‍ය ධුරයක් වෙනස් වී තිබෙනවා.
මුදල්, ජනමාධ්‍ය, විදේශ කටයුතු, වරාය හා නාවික, ඛණිජ තෙල් සම්පත් සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ නිපුණතා සංවර්ධන ද අමාත්‍ය ධුරය ද ඊට ඇතුළත්.
ඒ අනුව මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය ධුරය හිමිව ඇත්තේ මංගල සමරවීරටයි.
මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රවී කරුණානායකට, මංගල සමරවීර දැරූ විදේශ කටයුතු අමාත්‍ය ධුරය හිමිව තිබෙනවා.
ජනමාධ්‍ය අමාත්‍ය ධුරය දැරූ ගයන්ත කරුණාතිලක පත්කර ඇත්තේ ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙසයි.
වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා ලෙස මහින්ද සමරසිංහ පත්කර තිබෙනවා.
එම ධුරය මීට පෙර දැරූ අර්ජුන රණතුංග ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත් කෙරුණා.
මහින්ද සමරසිංහ දැරූ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය ධුරය හිමිව ඇත්තේ මීට පෙර ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ චන්දිම වීරක්කොඩිටයි.
තිලක් මාරපන, සංවර්ධන කාර්යයන් පිළිබඳ අමාත්‍යවරයා ලෙස පත්කර තිබෙනවා.
මීට පෙර නීතිය, සාමය හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඔහු පසුව එම ධුරයෙන් ඉල්ලා අස්වුණා.
මීට අමතරව එස් බී දිසානායකට සමාජ සවිබල ගැන්වීම්, සුභසාධන අමාත්‍ය ධුරයට අමතරව කන්ද උඩරට කටයුතු පිළිබඳ අමාත්‍ය ධුරයද පිරිනමා තිබෙනවා.
ඩබ්ලිව් ඞී ජේ සෙනෙවිරත්නට කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍ය ධුරයට අමතරව සබරගමුව සංවර්ධන අමාත්‍ය ධුරයද අද පිරිනැමුණා.
මහින්ද අමරවීරට ධීවර අමාත්‍යංශයට අමතරව මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරය ද පිරිනමා තිබෙනවා.
මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද පෙරවරුවේ සිදු කෙරුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
ඒ, ජනාධිපතිවරයාගේ සහ අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන්. එම අවස්ථාවට සියලූ කැබිනට්, නියෝජ්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට ආරාධනා කර තිබුණා.
එහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේ නැවුම් බලාපොරොත්තු රැසකින් යුතුව රටක් ලෙස ඉදිරියට යාමට කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදු කළ යුතු බවයි.
ඒ අනුව රටේ අභිවෘද්ධිය සඳහා කැපවන්නැයි නව අමාත්‍යංශ භාරගත් සියලූ දෙනාගෙන් තමා ඉල්ලා සිටින බවයි ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ.
(under the courtesy of nethfm news web)

Related posts

LPL තරග උණුසුම මැද පිරමිඩයේ සෙලෝටේප් ඔතයි..

Shiran Viraj

බැංකු කාඩ්පත්වලට අමතර ගාස්තු අය කරන වෙළෙඳුන්ට මහ බැංකුවෙන් රතු එළියක්!

Shiran Viraj

කිසිම දෙයක් වගා කරන්න බැරි දරුණු නියගයක් දෙසැම්බරයෙන් පසු එනවා..

Shiran Viraj
Translate »