mediahumanrights.lk
Local News News Political

රණතුංග පවුලේ කෙනෙක් නැතුව මහින්දට දේශපාලනය කරන්න බෑ

රණතුංග පවුලේ කිසිවෙකු නොමැතිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දේශපාලනය කිරීමට නොහැකි බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
ඒ මහතා මේ බව කියා සිටියේ  ඒ මහතාගේ පියාණන් වූ දිවංගත, හිටපු අමාත්‍ය රෙජී රණතුංග මහතාගේ 80වැනි ජන්ම දින සැමරුමට අද (22) එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීවේය,
“අපේ තාත්තා මිය යන විට සිටියේ මන්ත්‍රීකෙනෙක් හැටියට. ඒ කාලේ තාත්තට ඇමැතිකමක්වත් මහින්ද රාජපක්ෂ මහත්තයගෙන් ලැබුණේ නැහැ. එතුමා පාර්ලිමේන්තුවේ සිටියේ අන්තිම පේළියේ මාත් එක්ක. එවැනි නොසලකාහැරීමේ තත්ත්වයක් යටතේයි තාත්තා මිය ගියේ. නමුත් මහින්ද රාජපක්ෂ මහත්තයා එක්සත් ජාතික පක්ෂයෙන් ආ අයට ඇමතිකම් ලබා දුන්නා. ඒ හැරෙන්නට මහින්ද රාජපක්ෂ මහත්තයා විසින් අපේ තාත්තාව කොහොම බලා ගත්තේ කියලා නම් මම දන්නේ නැහැ. නමුත් මහින්ද රාජපක්ෂ මහත්තාට මැරුණු රෙජී රණතුංග මැතිතුමාගේ අගය අද හරි තේරුම් යාම ගැන මම සන්තෝෂ වෙනවා……” යැයි ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පවසයි.
1937 වසරේ අප්‍රේල් මස 22 දින උඩුගම්පොල ශාන්ති නිවසේදී ජන්මලාභය ලත් රෙජී පද්මසේන රණතුංග මැතිතුමා දැයෙන් සමුගත්තේ 2008 වසරේ මැයි මස 31 වැනිදායි. අඩසියවසකටත් වැඩි කාලයක් පොදු ජනතා සේවය උදෙසා කැපූ එතුමා 1989 වර්ෂයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් විය. ඉන්පසුව කැබිනට් අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර රැසක් දැරූ රෙජී රණතුංග මැතිතුමා සබරගමුව පළාත් ආණ්ඩු ධූරයේද කලක් කටයුතු කළේය. දැයෙන් සමුගන්නා විට එතුමාගේ වයස 71කි. එතුමාගේ 80වැනි ජන්ම දිනය සමරමින් උඩුගම්පොළ සුසාන භූමියේ ස්ථාපිත රෙජී රණතුංග ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීම අද සිදු කෙරුණේ ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි. එම අවස්ථාවට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති දම්මික රණතුංග, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග යන මහත්වරුන්ද සහභාගි වූහ.‍ එහිදී මාධ්‍යවේදීන් විසින්, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාගේ ආරාධනාවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා රෙජී රණතුංග ජන්ම දින සැමරුම් උත්සවයකට සහභාගි වීම ගැනද අර්ජුන රණතුංග අමාත්‍යතුමාගෙන් විමසා සිටින ලදි. ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසුවේ රණතුංග පවුලේ සාමාජිකයකු නොමැතිව මහින්ද රාජපක්ෂ මැතිතුමාට දේශපාලනය කළ නොහැකි බවයි.
“දිවංගත, හිටපු අමාත්‍ය රෙජී රණතුංග මැතිතුමා අපිට ලොකු ගෞරවයක් ලබා දුන්න කෙනෙක්. විශේෂයෙන්ම අද ජීවත් වෙන දේශපාලනඥයින් හා සංසන්දනය කරන විට එතුමා සිපිරිසුදු දේශපාලන චරිතයක්. අද  අපිට ලැජ්ජාවක් නැති පාරේ බැහැල යන්න පුළුවන් වෙලා තියෙන්නේ තාත්තා පිරිසිදු දේශපාලනයක් කළ කෙනෙක් නිසා. තාත්තට තිබුණු ලොකුම බලාපොරොත්තුව රටේ මහජනතාවට සේවය කිරීම. විශේෂයෙන්ම මිනුවන්ගොඩ මහජනතාව වෙනුවෙන් එතුමා සෑම විටම පෙනී සිටියා. මට මතකයි සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස සිටින විට අපේ තාත්තට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාවක් ලැබුණා. ඒ අවස්ථාවේ ආණ්ඩුකාර ධුරය අත්හැරලා මන්ත්‍රීවරයෙක් ලෙස අපේ තාත්තා පාර්ලිමේනතුවට පැමිණියා. ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට සේවය කරන්න. මිනුවන්ගොඩ ජනතාවට සේවය කරන්න. අද මට දේශපාලනය කරන්න හයිය දීලා තියෙන්නේ මගේ තාත්තා. මගේ එකම බලාපොරොත්තුව තාත්තා මට දුන්න දෙය මගේ දරුවන්ට ලබා දීම. ඒ කියන්නේ තමන්ගේ තාත්තා හොරෙක් නෙමෙයි, දූෂිතයෙක් නෙමෙයි යන්න මගේ දරුවන්ටත් මට දෙන්න පුළුවන් නම්, එය තමයි මම ලබන ලොකුම ජයග්‍රහණය. මගේ තාත්තට ලබා දෙන ඉහළම ගෞරවය.
අපේ තාත්තා බණ්ඩාර ප්‍රතිපත්තිවලට ගරු කළ කෙනෙක්. බණ්ඩාරනායක පවුලට ඉතාමත් සමීප කෙනෙක්. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහත්තයාට අපේ තාත්තා එක්ක ප්‍රශ්නයක් තිබුණා. ඒ හින්දා තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා රෙජී රණතුංග මැතිතුමා මේ විදියට බලා ගන්න ඇත්තේ. අපි දේශපාලනය කරන විට ඇත්ත කියලා දේශපාලනය කරන්න ඕන. අනිත් එක මහින්ද මහත්මයා දන්නවා රණතුංග පවුලේ කවුරු හරි නැතිව තමන්ට දේශපාලනය කරන්න බැහැ කියලා. විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ. පසුගිය ජනාධිපතිවරයේදී මෙන්ම මහ  මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායම පරාජයට පත් වුණා. ඉතිං අද රණතුංගලා පිළිබඳව මහින්ද මහත්තයාට ආදරයක් ඇති වීම ගැන පුදුමයක් නෙමෙයි. මම දන්නවා එතුමා දේශපාලනයේදී පුද්ගලයින් පාචිච්චි කරනවා. අදත් එහෙමයි.
අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ තාත්තට පිං දීලා ආගමික කටයුතු කරන්න. සහෝදරයින් හැටියට අපි අතරේ ප්‍රශ්නයක් නැහැ. නමුත් එකිනෙකාගේ දේශපාලන ක්‍රමවේදය වෙනස්. මම නම් පක්ෂ දේශපාලනය කරන කෙනෙක් නෙමෙයි. මම සැම විටම රට පෙරමුණට ගෙන හරි පුද්ගලයොත් එක්ක දේශපාලනය කිරීමට කැමති කෙනෙක්. රුවන්ගේ දේශපාලනය තවත් විදියක්. ඔහු පක්ෂය රැකගෙන, පක්ෂය ආරක්ෂා කර ගෙන යන කෙනක්. අපේ තාත්තාත් පක්ෂය රැක ගෙන ඉදිරියට ගිය කෙනෙක්. තමන්ගේ තානාන්තර පූජා කළේ පක්ෂය ආරක්ෂා කර ගන්න. ඒ වගේ අද රුවන් රණතුංග මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සහාය දක්වමින් පක්ෂය ආරක්ෂා කරන්න දායකත්වය දෙනවා. නමුත් ප්‍රසන්නගේ දේශපාලනය ඊට වඩා වෙනස්. එතුමාගේ දේශපාලන ගැන එතුමාටම තේරෙයි එතුමා මොනවද කරන්නේ කියලා….” යනුවෙන්ද අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා පැවසීය. මෙහිදී අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිනුවන්ගොඩ ආසන සංවිධායක රුවන් රණතුංග මහතා පැවසුවේ තමන්ගේ තාත්තා විකුණා ගෙන නොකන ලෙසට සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවයි.
“ප්‍රසන්න මහත්තයා ඊයේ පෙරීදා කියපු කථා එක්ක අපි වෙනම ඇවිල්ලා තාත්තට ගෞරව දක්වන එක හොදයි. ඔහුත් එක්ක පැමිණියොත් අපිත් ඔහුගේ තත්ත්වයට වැටෙනවා. ඒ නිසා හොදම දෙය තමයි තාත්තාට වෙනම ඇවිල්ලා ගෞරව කරන එක. අපි ඊයේ පෙරීදා වුණු සිදුවීම්වලිනුත් දැක්කා ප්‍රසන්න අයියා හැසිරෙන විදිය. ඒ පිළිදව අපි හැමෝම කණගාටු වෙනවා. මහජන නියෝජිතයෙක් හැටියට මීට වඩා හොදින් හැසිරෙනවා නම් හොදයි කියලා විශ්වාස කරනවා. ඒ වගේම අපේ තාත්තා නැතිවෙලා අදට අවුරුදු 9ක් වෙනවා. මහජන මුදල් හොරකම් කරපු නැති, ගෞරවනීය දේශපාලනයක් කරපු රෙජී රණතුංග මැතිතුමා වගේ අයෙක් අදවත් හිටපු ජනාධිපතිතුමාට මතක් වීම ගැන පවුලක් විදියට අපි ස්තුති වන්ත වෙනවා. අපේ තාත්තා කොයි වගේ දේශපාලඥයෙක්ද කියලා මුළු මිනුවන්ගොඩ ආසනයේ අයම දන්නවා. ඒ නිසා තාත්තා විකුණන් කන්නේ නැතිව, තාත්තට පරිභව කරන්නේ නැතිව, තාත්තගේ ප්‍රතිපත්ති මොනවාද, පක්ෂය වෙනුවෙන් මොන වගේ කැපවීමක් කළාද, මිනිස්සුන්ට මොනතරම් ආදරය කළාද යන්න සොයලා බලා කටයුතු කිරීම වඩාත් වැදගත් වනවා…..” යැයිද රුවන් රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය.
(under the courtesy of adaderana news web)

Related posts

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියානු මිත්‍රත්වය ගොඩනංවා ගන්නා හැටි අගමැති පහදයි

Shiran Viraj

අලි ප්‍රහාරයෙන් දැරියක් නොඑන ගමන් යයි

Shiran Viraj

බාල දුරකතන වෙලදපලේ… හොර දුරකතන ජාවාරමක්.. බිලියන ගණනක් රටට අහිමියි..

Shiran Viraj