වසන්ත කරන්නාගොඩ නාවික හමුදාපතිව සිටි කාලයේදී ත්‍රිකුණාමලයේ පදිංචිව සිටි උසස් පෙළ සමත්ව සරසවියට ඇතුළත් වීම සඳහා බලා සිටි දෙමළ දරුවන් 6 දෙනෙකු කප්පම් සඳහා පැහැරගෙන ගොස් කප්පම් ලබාගෙන ඝාතනය කිරීමේ බිහිසුනු අපරාධයට සම්බන්ධ තවත් නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙකු ඊයේ(02) රාත්‍රී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම දෙදෙනා නම් කොමදෝරු සුමිත් රණසිංහ සහ ප්‍රධාන නාවික ලක්ෂ්මන් උදය කුමාර නමැති නාවික හමුදා නිලධාරීන් දෙදෙනා ය.
මේ පිරිස අත් අඩංගුවට ගැනීමෙන් වළකාලීමට හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ, ශවීන්ද්‍ර ප්‍රනාන්දු, සරත් එන් සිල්වා යන පිරිස වත්මන් නීතිපතිවරයා මුණ ගැසීමට නොයෙකුත් උපා යෙදූ නමුත් ඒවා අසාර්ථක විය. මේ අපරාධකරුවන් බේරා ගැනීම සඳහා දේශපාලන ද්‍රෝහියෙකු වන අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ, සරත් එන් සිල්වා සමග රෑට රෑට ‘නේවි ෂැලේ‘ තුලදී නීති උපදෙස් ලබා දෙන බව පසුගිය 2016 වසරේ ඔක්තෝම්බර් 8 වෙනිදා ලංකා ඊ නිව්ස් හෙළිදරව් කෙළේය.
කෙසේ වෙතත් පසුගිය ජනවාරි 14 දා මේ අපරාධ වැලට සම්බන්ධ ධම්මික අනිල් මාපා නමැති ලුතිනන් කොමාන්ඩර් වරයෙකු පළමුවරට අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේ අපරාධය සිදුවී වසර 8 කට පමණ පසුවය. එහිදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා නියෝග කෙළේ අනෙකුත් සැකකරුවන්ද අත් අඩංගුවට ගන්නා ලෙසයි.
නමුත් ඉන්පසුව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ වත්මන් නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණවර්ධන දෙදෙනා රහසේම ජනාධිපතිවරයා හමුවී අත් අඩංගුවට ගැනීම් වළක්වා ගත්තේය. ඊට හේතු වූයේ මෙම ඝාතන වලට වසන්ත කරන්නාගොඩද හසුවන බැවිනි. මන්ද යත් මෙම ඝාතන වැලේ නායකයා වූයේ ඔහුගේම සහායකයා වූ නේවි සම්පත් හෙවත් සම්පත් මුණසිංහ නිසාය.
ජනාධිපතිවරයාගේ වැළැක්වීම රාවය සහ ලංකා ඊ නිව්ස් විසින් දිගින් දිගටම හෙළිකිරීම හමුවේ ජනාධිපතිවරයා තම තීරණය වෙනස් කරමින් අපරාධකරුවන් අත් අඩංගුවට ගැනීමට යළි උපදෙස් දුන්නේය.
ජනාධිපතිවරයාගේ අපරාධකරුවන් අත් අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝග අනුව රටට ජීඑස්පී ප්ලස් අහිමිවීමත් යලිත් වතාවක් ජිනීවා මානව හිමිකම් කොමිසම මගින් ලංකාව කෙරෙහි නීතිය ක්‍රියාත්මක නොවන රටක් ලෙස හංවඩු වැදීමේත් අවදානම ලංකා ඊ නිව්ස් පෙන්වා දුන්නේය.
ඒ කිසිවක් නැතත් කිසිදු වරදක් නොකර ඉතා හොඳින් අධ්‍යාපනය හදාරා සරසවි යෑමට බලාගෙන සිටි දරුවන් පිරිසක් කප්පම් සඳහා පැහැරගෙන කප්පම් ලබා ගැනීමෙනුත් පසුව ඝාතනය කිරීම වැනි අති ම්ලේච්ඡ ක්‍රියාවකට වරදකරුවන්ට දඬුවම් නොදෙනවා නම් එය රටක් නොව අපායක් වනු ඇත. හෙලිවූයේ දරුවන් 10 දෙනෙකු ගැන සාක්ෂි පමණක් වුවද ඝාතනය කළ සිසුන් සංඛ්‍යාව 38 කි. කටුනායක වෑන් රියක හිමිකරුවා සහ රියැදුරාද ඒ හා ඇමිණුනු ඝාතන දෙකකි.
– ලංකා ඊ නිව්ස්
previous post