30 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Entertainment Entertainment News News

‘කුමාරයා මං’ ප්‍රසංගය සමඟ කුමාර…

ප්‍රවීණ නළුවෙකු, තිරකතා රචකයෙකු හා ලේඛකයෙකු ද වන කුමාර තිරිමාදුර ‘කුමාරයා මං’ ප්‍රසංගය සමඟ මාර්තු 31 වෙනිදා සිය මුල්ම සංයුක්ත තැටිය එළිදක්වයි. මහරගම තරුණ සේවා රඟහලේදී සවස 7ට පැවැත්වෙන ‘කුමාරයා මං’ ප්‍රසංගයට ගිරිරාජ් කෞශල්‍ය, රොඩ්නි වර්ණකුල, සරත් කොතලාවල, මේකලා ගමගේ ඇතුළු කලාකරු පිරිසක් ද එක්වෙති.
“පුංචි කාලෙ ඉඳලම මගේ ආසාව තිබුණේ ගායකයෙක් වෙන්නයි. පාසලේදී එහෙම යාලුවො අතර සිංදු කියල ප්‍රසිද්ධ වෙලා හිටියේ. සංගීතය ඉගෙනගන්න කාලයක් මම ලයනල් රන්වල මහතාගේ සංගීත පන්තියටත් ගියා. නමුත් ගායකයෙක් හැටියට කළඑළි බැසීමේ මගේ හීනය හැබෑ කරගන්න කලින් නළුවෙක් හැටියට මතුවෙන්න මට අවස්ථාව ලැබුණා. නළු ගමනේ තරමක දුරක් ගියාටත් පස්සෙයි මේ මගේ ගායක හීනය හැබෑ වෙන්නේ…’ කුමාර තිරිමාදුර කියයි.
විවිධ රූපවාහිනී වැඩසටහන්වල කුමාර තිරිමාදුර ගී ගයද්දී ප්‍රේක්ෂකයෝ ඔහුගේ ගායන කුසලතාවය හඳුනාගත්හ. විශේෂයෙන් ඔහුගේම ගීතයක් වන ‘මහරගමදි හම්බ උනේ’ ගීතය නිසා කුමාර තිරිමාදුර අන්තර්ජාල විවිධ වෙබ්අඩවි හා face Book මගින්ද රසික ජනතාව අතරට ගියේය.
“මිනිසෙකු ‘මාරයෙක්’ කිරීමට ‍දේශපාලනයට හැකි වුවත් මිනිසුන් ‘කුමාරයන්’ කරවන්නේ කලාවයි.”
කුමාර තිරිමාදුර සිය Face Book පිටුවේ එවැනි සටහනක් යොදා තිබුණි. දේශපාලනය තුළ කරක් ගැසුවත් කුමාර වහලෙකු වූයේ නැත. ‘කලාව’ සමඟ යමින් මිනිස් සිත් සුවපත් කිරීම ඔහුගේ පැතුමයි.
“මගේ ගායනා තුළින් රසික පිරිස් සතුටු වෙනවා දැකීම මටත් ලොකු සතුටක්. මේ ප්‍රසංගයේදී Big Brothers සංගීත කණ්ඩායම සංගීතය සපයනවා. සහෝදර නළු ගිහාන් ප්‍රනාන්දු ඉදිරිපත් කිරීමෙන් සහාය වෙනවා…”
මොරටුවේ සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ජීවත් වෙද්දී ඉරිදා දහම් පාසලට මෙන්ම කතෝලික තරුණ සංගමයේ වැඩවලට ද එක්වූ කුමාර තිරිමාදුරව ගායකයෙකු හැටියට මුලින්ම ඇගැයීමට ලක්කරන්නේ ද එම සංගමය විසිනි. ඉන් ඔහු ලද පිබිදීම ඉමහත්ය. ඊටත් පසුව සෝදුපත් කියවන්නෙකු (Proof Reader) ලෙස ‘දිවයිනේ’ සේවයට බැඳුණු කුමාරගේ දැනුම දියුණු වූයේ එහිදී බව ඔහු කියයි. ඔහු ලේඛනයට පිවිසියේද දිවයිනෙනි. ‘මගේ ජීවිතේ’ තීරු ලිපිය මේ වනවිට ද කුමාර රසවත්ව ලියමින් සිටී.
“… වරින් වර මගේ ආසාවට මම ගීත කීපයක්ම පටිගත කළා. සමහර සිංදු ලිව්වෙත් මමමයි. ඒ අතරින් ‘මං බොරැල්ලෙ ඈ බදුල්ලෙ’ ගීතයටත් රසිකයො බොහොම කැමති වුණා. ‘මං බොරැල්ලෙ’ ගීතය සංගීතවත් කරල රූපරචනයත් කළේ සුනෙත් කැලුම් මිතුරායි. මගේ ප්‍රසංගයේ ශබ්ද පරිපාලන කටයුතුවලදීත් සුනෙත් කැලුම්ගෙන් ලැබෙන සහයෝගය වටිනවා. ඒ දවස්වල මම එඩ්වඩ් ජයකොඩි විශාරද ගායකයාට ලියපු ගීතයක් මේ ප්‍රසංගයේදී එතුමා ලවා ගායනා කරවාගන්න මට උවමනා වෙලා තිබුණත් මේ දවස්වල එඩ්වඩ් – චරිතා යුවළ විදේශ සංගීත චාරිකාවක නිරතවෙලා ඉන්න නිසා ‘කුමාරයා මං’ ප්‍රසංගයේදී ඒ ගීතය රොහාන් ශාන්ත බුලේගොඩ ගායනා කරනවා.
නාට්‍ය ගීත කීපයකුත් ප්‍රසංගයට ඇතුළත්. මගේ සහෝදර නාට්‍ය ශිල්පීනුත් එකතු වෙන නිසා ලස්සන විනෝදාත්මක ප්‍රසංගයක් හැටියට කාටත් ‘කුමාරයා මං’ රස විඳින්න හැකි වේවි.” කුමාර තිරිමාදුර කියයි. චරිතෙ හොරු අරන්, බල්ලොත් එක්ක බෑ ඇතුළුව මේ දිනවල වේදිකාගතවන නාට්‍ය රැසක කුමාර රඟපායි. ටෙලිනාට්‍ය ද එසේමය. ඒ අතර චිත්‍රපටවල ද විවිධ චරිත රඟපායි. ඒ අනුව වර්තමානයේ ‘අවිවේකී නළුවන්’ අතර කුමාර තිරිමාදුර ප්‍රමුඛයෙකි. මේ ‘අවිවේකී නළුවා’ ‘විවේකී ගායකයෙකු’ ලෙස සුමියුරු ගීත ගයන ‘කුමාරයා මං’ ප්‍රසංගයට තම සියලු රසික ජනතාවට මාර්තු 31 වෙනිදා සවස 7ට මහරගම යොවුන් රඟහලට පැමිණෙන ලෙස ආරාධනා කරයි. කුමාර තිරිමාදුරගේ ඒ ඇරයුම සංගීතලෝලී රසික ජනතාව ආදරයෙන් පිළිගන්නා බවට සැකයක් නැත.
(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

Related posts

මොන හේතුවකටත් පැරණි පාර්ලිමේන්තුව යළි එපා

Shiran Viraj

මධූෂා රාමසිංහගේ අසැබි වීඩියෝවක් බුකිය කළඹයි – මධූෂා සියල්ල හෙළිකරයි

Shiran Viraj

ලංකාව ඉල්ලීමක් කළත් ත්‍රි’මලේ තෙල් ටැංකි දෙන්න ඉන්දියාව අදි මදි කරයි

Shiran Viraj