mediahumanrights.lk
Entertainment Entertainment News News

භාරතයේ දේවිය ධර්මා ලංකාවේදී යශෝධරා වූවාය….

ලංකාවේ මාව මේ තරම් ජනප්‍රියයි කියලා හිතුවේ නෑ..
පල්ලවි සුභාෂ්
අධිරජ ධර්මාශෝක ඉන්දියානු ටෙලිනාට්‍ය මාළාව අද අපේ රටේ අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇත. අශෝක කුමාරයාට රඟන තුරුණු විය එළිපත්තේ සිටින නළුවා මෙන්ම අශෝකගේ මව රාණි ධර්මා ලෙස රඟන නිළියද මෙරට ලොකු කුඩා ප්‍රේක්‍ෂකයන්ගේ සිත් ඇද බැඳ ගන්නා චරිත වී හමාරය.
“රාණි ධර්මා” ලෙස කවුරුත් හඳුන්වන මරාතී තරුණිය නමින් පල්ලවි සුභාෂ්ය. ඈ ගතවූ මාස එකහමාරක පමණ කාලයක්‌ ගත කළේ ශ්‍රී ලංකාවේය. ඈ ලංකාවට ආවේ බිම්බාදේවිය හෙවත් යශෝදරා ලෙස රඟපාන්නටය. ඒ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ අලුත්ම චිත්‍රපටය “යශෝධරා” රූ ගැන්වීම සඳහාය. භාරතයේදී දේවි ධර්මා වූ පල්ලවි සුභාෂ් ශ්‍රී ලංකාවේදී දේවි යශෝධරා වූවාය.
බිම්බා දේවිය බවට මෙරටදී පත්වූ භාරතයේ ධර්මා දේවිය.. පල්ලවී සුභාෂ් කොළඹ හිල්ටන් හෝටලයේදී ‘දිවයින’ මීවිත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්‌වූවාය.
පළමුව කියන්න දේවි ධර්මා ගැන…
දේවි ධර්මා මගේ හදවතට බද්ධවූ චරිතයක්‌. ඒක මගේ ජීවිතේ මා ලද සුවිශේෂී චරිතයක්‌. දැන් නම් රූගත කිරීම් ඉවරයි. ඉන්දියානු ප්‍රේක්‍ෂකයන් අතර හරිම ජනප්‍රියයි.
ඔබ දන්නවාද අධිරජ ධර්මාශෝක ටෙලි මාලාව වගේම දේවි ධර්මා ශ්‍රී ලංකාවේත් ජනප්‍රිය බව…
මම ලංකාවට එනතුරු ඒ බව දැන සිටියේ නෑ. ලංකාවට ආ පසුව තමයි දැන ගත්තේ. මා ලංකාවේ සිටින බව දැන සිටියේ යශෝධරා කණ්‌ඩායම විතරයි. ලංකාවට මා ආ බව ප්‍රසිද්ධ නොකළේ බොහෝ පිරිස්‌ යශෝධරා රූගත කරන දර්ශන තලයට ඇවිත් බාධා කරයි කියා හිතන නිසා බව සුනිල් සර් (සුනිල් ආරියරත්න) කිව්වා. මට හරි සතුටුයි ධර්මා දේවියට ආදරය කරන හුඟ දෙනෙක්‌ ලංකාවේ ඉන්න එක ගැන. අනෙක ධර්මා දේවිය කියන්නේ ලංකාවටත් සමීප කෙනෙක්‌. ශ්‍රී ලංකාවට බුදුදහම ගෙන ආ මිහිඳු මහරතහන් වහන්සේ, ජය ශ්‍රී බෝධිය වැඩම කරවූ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ, අශෝක රජතුමාගේ පුත්‍රයා සහ දියණිය. ධර්මා කියන්නේ ඒ දෙපළගේ මිත්තණිය. මම රඟපාන්නේ ඒ ශ්‍රේෂ්ඨ චරිතය.
ඔබ කුඩා කල සිට රංගනයට ඇලුම් කළාද?
නැහැ… මම කිසිම දවසක හිතුවේ නෑ… නිළියක්‌ වෙන්න. නිළියක්‌ වෙන්න හීන මැව්වේ මගේ අක්‌කා. කවදා හරි නිළියක්‌ වෙනවාමයි කියා ඇය නිතරම කිව්වා. අම්මා, තාත්තා පවා හිතා හිටියෙ අක්‌කා නිළියක්‌ වේවි කියලා. මගේ හිතේ තිබුණේ අධිනීතිඥවරියක්‌ වෙන්න. මගේ සීයාත් ඉන්දියාවේ මහාධිකරණ විනිසුරුවරයෙක්‌ වෙලා හිටියා. මගේ තාත්තාත් අධිනීතිඥවරයෙක්‌. මම පුංචි කාලේ තාත්තාගේ නීතිඥ කබාය ඇඳලා කණ්‌ණාඩියක්‌ ඉස්‌සරහට ගිහින් නීතිඥවරියක්‌ විදිහට රඟපානවා. පාසලේ විවිධ ප්‍රසංගවලටත් තාත්තගේ කබාය ඇඳගෙන ගිහින් නීතිඥවරියක්‌ විදිහට රඟපානවා. මගේ ඉලක්‌කය වුණේ කවදා හරි නීතිඥවරියක්‌ වෙන්නයි.
ඔබ නීතිඥවරියක්‌ වුණේ නෑ.. නිළියක්‌ වුණා. එහෙම වුණේ කොහොමද?
ඒක අහඹු සිදුවීමක්‌. මම බී කොම් උපාධිය කරන දවස්‌වල පරිගණක පංතියකට ගියා. මට රාකි බැඳපු මගේ ඥති සොහොයුරාත් පංතියේ හිටියා. හින්දු චාරිත්‍ර අනුව ඥති සොහොයුරෙක්‌ රාකි බඳින්නේ මාව ආරක්‍ෂා කරනවා කියලා. ඉතින් දවසක්‌ පන්ති ගියා. ඒත් පන්තිය තිබුණේ නෑ. අල්ලපු පන්තියක නාට්‍යයක්‌ පුහුණු වෙනවා කියලා සොහොයුරා කිව්වා බලන්න යමු කියලා. මම ඔහුට බැන්නා. මම කැමැති නෑ කිව්වා. හරි ලස්‌සනයි යමුකෝ කියලා ඔහු පෙරැත්ත කළා. ඒ නිසාම මම ගියා. ටික වේලාවකට පස්‌සේ නිෂ්පාදන කණ්‌ඩායමේ කෙනෙක්‌ මගේ ළඟට ආවා. අධ්‍යක්‍ෂවරයාට ඔයාව හමුවෙන්න ඕනේ කියනවා කියා ඔහු කිව්වා. මොනවද මේ වෙන්නේ. මම සොහොයුරාගෙන් ඇහුවා. බයවෙන්න එපා අපි ගිහින් අධ්‍යක්‍ෂවරයා හමුවෙමු කියා සොයුරා කිව්වා. අපි ගියා. මේ නාට්‍යයේ නිළියට දර්ශන වාර තිහ හතළිහකට එන්න බැරි වෙනවා. ඔයාට පුලුවන්ද ඒ වෙනුවට රඟපාන්න. අධ්‍යක්‍ෂවරයා ඇහුවා. ඔයා මේකට යන්නම ඕනේ. සොහොයුරා කිව්වා. ඉතින් මම කැමැති වුණා. එතැනින් තමයි ආරම්භ වුණේ මේ ගමන.
ඔබ මේ වන විට දායක වූ නිර්මාණ මොනවාද?
මම හින්දු. උපන්නේ ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ. අර කියපු නාට්‍යයේ රඟපෑවාට පස්‌සේ නිරූපිකාවක ලෙසත් කටයුතු කළා. චක්‍රවර්ති අශෝක රඟපාන්න කලින් ටෙලිනාට්‍ය රැසක රඟපෑවා. ‘තුම්හාරි ඩීෂා” තමයි මගේ පළමු ටෙලි නාට්‍ය මාලාව “පසුව කරුම් අෂ්නා” ටෙලිනාට්‍යයේ ගෞරි චරිතය කළා. ‘බසීරා’ ටෙලි නාට්‍යයේ ‘කේතකී’ වුණා. ඊට අමතරව මරාති ටෙලිනාට්‍ය රැසක රඟපෑවා. මරාති චිත්‍රපට දොළහක රඟපෑවා. වෙළෙඳ දැන්වීම් වලටත් පෙනී හිටියා. “මහා භාරත” ටෙලි නාට්‍ය මාලාවේ ‘රුක්‌මණි’ගේ චරිතය කළේත් මම.
යශෝධරා චරිතය ඔබට ලැබීම ගැන මොනවද හිතෙන්නේ
රාණි ධර්මා කියන්නේ සත්‍යයට, යුක්‌තියට සහ ධර්මයට ගරු කරන වීර මාතාවක්‌. ඈ ඊශ්වර දෙවියන් සරණ පතන ශ්‍රෝෂ්ඨ කාන්තාවක්‌. ‘යශෝධරා’ කියන්නේ ධර්මාටත් වඩා ශ්‍රේෂ්ඨ කාන්තාවක්‌. ඈ තම සැමියා වෙනුවෙන් බොහෝ කැපකිරීම් කළා. මගේ රංගන ජීවිතයේ මා ලද හොඳම චරිතය යශෝධරා. මම ස්‌තුති කරනවා සුනිල් සර්ට මාව මේ චරිතයට තෝරාගැනීම ගැන.
‘යශෝධරා’ ලෙස රඟපෑම ඔබට අභියෝගයක්‌ වුණාද?
ඔව්. මේක අභියෝගයක්‌ තමයි. මම මේ චරිතය ලැබුණු විගස මම කළේ ‘යශෝධරා’ ගැන ලියෑවුණු පොත පත කියවීමයි. අවාසනාවකට ‘යශෝදරා’ ගැන නිර්මාණය වූ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය තිබුණේ නැහැ. මට නරඹන්න. ඉතින් ‘යශෝධරා දේවිය’ ගැන නිර්මාණය කළ ලෝකයේ ප්‍රථම චිත්‍රපටයේ යශෝධරා වෙන්න ලැබීම මගේ වාසනාවක්‌. මෙය දැවැන්ත චිත්‍රපටයක්‌. යශෝධරා මගේ ජීවිතයත් වෙනස්‌ කළා. මම බොහෝ දේ ඉගෙන ගත්තා. කිසිදා නොලද අත්දැකීමක්‌ ලබාගත්තා.
ඔබට රූගත කිරීම් කරද්දී දෙබස්‌ උච්චාරණය ගැටලුවක්‌ වුණාද…?
භාෂාව මට ප්‍රශ්නයක්‌ වුණා. ඒත් මම හින්දියෙන් ලියාගෙන උච්චාරණය කළා. දර්ශන තලයේ පසුබිමේ ඉඳන් සමහරු මට උදව් කළා. සුනිල් සර් හුඟාක්‌ උදව් කළා. යශෝදරා තරුණ වයසේදීම සිද්ධාර්ථ කුමාරයා ඇයවත්, රාහුල පුතාවත් අතහැරලා යන දර්ශනය රඟපාද්දී මටත් නොදැනීම මා හැඟුම්බර වුණා. ඇත්තටම ඒක හැඟුම්බර මොහොතක්‌. චිත්‍රපටය කරද්දී හැමදාම මම කුමක්‌ හෝ දෙයක්‌ ඉගෙන ගත්තා. මගේ දැනුම දැන් සම්පූර්ණයි. මගේ ඊළඟ චිත්‍රපටයට ‘යශෝධරා’ හොඳ අත්දැකීමක්‌.
ඔබට යළි ශ්‍රී ලංකාවෙන් ආරාධනා ලැබුණොත් චිත්‍රපටවල රඟපාන්න
මම ලැබෙන චරිතය ගැන දැඩි අවධානය යොමුකරනවා. ඉදිරියේදී චරිත තෝරා ගනිද්දී මා ඉදිරියේ ලොකු අභියෝගයක්‌ තියෙනවා. යශෝදරා කියන්නේ ලෝකයේ සිටි ශ්‍රේෂ්ඨතම කාන්තාව. එවැනි චරිතයක්‌ නිරූපණය කළ මා ඉදිරියේදී සැලකිලිමත් ලෙස චරිත තෝරාබේරා ගත යුතුයි.
ශ්‍රී ලංකාව ගැන මොනවද හිතෙන්නේ?
ලස්‌සන රටක්‌… හරිම හොඳ මිනිසුන් ඉන්නවා. මිත්‍රශීලියි. කරුණාවන්තයි. හොඳ සිනමා කර්මාන්තයක්‌.. හොඳ රසික පිරිසක්‌ ඉන්නවා. දැන් නම් මට ශ්‍රී ලංකාව දාල යන්න දුකයි. යන්න හිතෙන්නේ නෑ….
(දිවයින පුවත්පත ඇසුරෙනි)

Related posts

බස් ගාස්තු සංශෝධන යෝජනාව අද කැබිනට් මණ්ඩලයට

Shiran Viraj

දෙවන මාත්‍රාවෙන් මාස හයක් ගත වී නම් ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහි ආරක්ෂාව ඉතා අඩුයි…

Shiran Viraj

කිසිම දෙයක් වගා කරන්න බැරි දරුණු නියගයක් දෙසැම්බරයෙන් පසු එනවා..

Shiran Viraj