mediahumanrights.lk
Entertainment Entertainment News News

නදිනිගේ කැදැල්ලේ නැවුම් තතු…

* නදිනි ආපහු වැඩ පටන් අරන් වගේ
ඔව් දෙවැනි බබා ලැබෙන්න හිටපු නිසා සංගීත කටයුතුවලින් මාස තුනක්‌ විතර ඈත්වෙලානෙ හිටියෙ. දැන් දුවට මාස හයක්‌ වෙනව ඒ නිසා පුරුදු විදියට ප්‍රසංගවලට සහභාගි වෙනවා.
* ලැබෙන හැම ප්‍රසංගයක්‌ම බාර ගන්නවද?
එහෙම කාලෙකුත් තිබුණා මොකද අපිට ආරාධනා කරන්නේ අපිව ඕන නිසානෙ. ඒත් දැන් එහෙම කරන්න බෑ. බබාල ටිකක්‌ ලොකු වෙනකම් තෝර බේර ගෙන තමයි සහභාගි වෙන්නෙ. දුර පළාත්වල තියෙන ප්‍රසංගවලට සහභාගි නොවෙන තරම්.
* තෝරා බේරා ගැනීම නිසා ජනප්‍රියත්වය අඩුවෙනවා නේද?
මට නම් පේන්නෙ ඒකෙ අනිත් පැත්ත. වේදිකාවට ගොඩවුණාම එදා තිබුණ ප්‍රතිචාරවලට වඩා අද ලැබෙන ප්‍රතිචාර වැඩියි. ඒකෙන් පේන්නෙ ජනප්‍රියත්වය වැඩි වෙලා කියන ඒකනෙ.
* මේ විදියට ජනප්‍රියත්වය රඳවගන්නේ කොහොමද?
ගායිකාවක්‌ වුණා කියලා මට හිතල ජනප්‍රිය වෙන්න බෑ. අපේ ගීත අහන සංගීත ලෝලීන්ට රසවිඳින්න පුළුවන් විදියට ගීත ගායනය කිරීමෙන් තමයි ජනප්‍රියත්වය රැඳෙන්නෙ.
* සුපර්ස්‌ටාර් තරගයේ සිට අද දක්‌වා බොහෝ දෙනාගෙ අදහස ඔබ වඩාත් සුදුසු බටහිර ගී ගායනයට කියලයි.
මගේ හඬ සුදුසු බටහිර ගීතවලට කියල ගොඩ දෙනෙක්‌ මටත් කියල තියෙනවා. මට හොඳට බටහිර ගීත ගායනා කරන්නත් පුළුවන්. අනික මම බටහිර සංගීතය හදාරලත් තියෙනවා. ගීත ඉදිරිපත් කරන විලාශය සහ පෙනුම ඒ සඳහා බලපානවා ඇති කියලයි මට නම් හිතෙන්නෙ.
* බටහිර ගීත ගායනය තුළින් ඉදිරියට එන්න අදහසක්‌ නදිනිට නැද්ද?
එහෙම ලොකු බලාපොරොත්තුවසක්‌ නෑ. ඉදිරියේදී ඒ ගැන හිතල බලනවා.
* දරුවන් දෙදෙනෙකුගේ මවක්‌ වූ ඔබ කලාකටයුතු හා ප්‍රසංගවලට දායකවීමෙන් යුතුකම් වගකීම් මග හැරෙන්නේ නැද්ද?
එහෙම නොවෙන විදියට තමයි මම හැමදේම කරන්නෙ. දවසේ එක වරුවක්‌ කලා කටයුතුවලට වෙන් කරන්න සිද්ධ වුණොත් අනිත්වරුව අනිවාර්යයෙන්ම මම වෙන් කරන්නෙ බබාල දෙන්න වෙනුවෙන්. අනික මගේ අම්ම මට ලොකු සහයෝගයක්‌ ලබා දෙනවා දරුවන්ගෙ වැඩවලට.
* ගායිකාවක්‌ විදියට සැමියාගෙන් ලැබෙන ප්‍රතිචාර සහ සහයෝගය මොනවගේද?
මගේ සිංදු හොඳනම් එයා ඒක අගේ කරල මාව දිරිමත් කරනවා. අඩුපාඩුවක්‌ තියෙනවා නම් ඒවත් පෙන්වල දෙනවා. විවාහ වෙච්ච දවසේ ඉඳල ප්‍රසංගවලට මාව එක්‌ක යන්නෙත් එයාම තමයි. කවදාවත් ඒ දේවල් කරදරයක්‌ විදියට සලකන්නෙ නෑ කොච්චර කාර්ය බහුල වුණත්.
* එදා ඔබ ඉදිරිපත් වූ සුපර්ස්‌ටාර් තරගය හා සසඳද්දී අද තරගවල ගුණාත්මක බවේ අඩුවක්‌ දකිනවාද?
අපි ඉදිරිපත් වුණේ මේ වැඩසටහන්වල මුල් කාලේ. ඒ නිසා ඒවා හැමෝම උනන්දුවෙන් නැරඹුවා. අපිට ගොඩක්‌ අය ආදරේ කළා. තරු තෝරන තරග අඩු නිසා ලොකු ජනප්‍රියත්වයක්‌ මේ තරගවලට තිබුණා. අද හැම නාලිකාවෙම මෙවැනි දේවල් තියෙන නිසා මේවත් සාමාන්‍ය වැඩසටහන් බවට පත්වෙලා.
* ඔබත් එක්‌ක තරග කරපු යහළු යෙහෙළියන් සමඟ එදා තිබුණ සබඳකම් අදත් ඒ විදියමද
අපි හැමෝම දැන් කාර්ය බහුල නිසා නිතර කතාබහ කරන්න හමුවෙන්න තියෙන ඉඩකඩ අඩුයි. ඒත් උවමනාවක්‌ වුණ වෙලාවට අනිවාර්යයෙන්ම අපි එකතු වෙනවා.
* සැමියාගේ ව්‍යාපාරවලට සහයෝගය දක්‌වන්නේ කෙසේද?
දැනට නම් ඒ දේවල්වලට ලොකු සහයෝගයක්‌ දෙන්න අමාරුයි. ඒත් පුළුවන් දේවල් කරල දෙනවා. එයාගේ අම්ම තාත්තා ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්න නිසා ලොකු ගැටලුවකුත් නෑ. දුවයි පුතයි ලොකු වුණාට පස්‌සෙ ඒ සඳහා යොමු වෙනවා.
* රියෑලිටි වැඩසටහන්වල විනිශ්චයට ආරාධනා ලැබෙන්නේ නැද්ද?
එහෙම අවස්‌ථා කීපයක්‌ ලැබුණා. ඒත් ඒ කාලෙ මට පුතා ලැබෙන්න හිටපු නිසා සහභාගී වෙන්න ලැබුණේ නෑ. හැබැයි රණවිරු රියල් ස්‌ටාර් තුන්වන අදියරේ නිවේදන කටයුතුවලට සම්බන්ධ වුණා.
* රංගනයට අවස්‌ථාවක්‌ ලැබුණොත් මොකද කරන්නෙ.
මගේ දක්‍ෂතාවය තියෙන්නෙත් මම හැදෑරුවෙත් සංගීතය. ඉතින් සිංදුවක්‌ කියාගෙන ඉන්න එක තමයි වැඩිය හොඳ මම හිතන විදියට. ඒ සඳහා ලැබුණු අවස්‌ථා බාර නොගත්ත වගේම ඉදිරියට ලැබෙන අවස්‌ථාත් බොහෝ දුරට බාර නොගනීවි.
* නදිනිගෙ පුංචි කැදැල්ලේ තොරතුරු ටිකකුත් කියනවද?
මගේ මහත්තයා මධුර අබේසිංහ ව්‍යාපාරිකයෙක්‌. පුතා ආර්යන්ට දැන් අවුරුදු 3 1/2 යි. පෙර පාසල් යනවා. දුව ආර්යානාට තාම මාස 6 යි. ඒ ඇරෙන්න ඉතින් මාලබේ අපේ ගෙදරට වෙලා පාඩුවේ ජීවත් වෙනවා.
(දිවයින පුවත්පත ඇසුරෙනි)

Related posts

ටියුුෂන් ගිය පාසල් සිසුන් පිරිසකට බඹර ප්‍රහාරයක්… තිදෙනෙක් රෝහලේ…

Shiran Viraj

අටළුගම කොරෝනා ආසාදිතයාගේ පියා සහ සහෝදරිය රෝහල් ගත කරයි

Shiran Viraj

ඇමති ප‍්‍රසන්නට ප‍්‍රතිකාර කරන්න දොස්තර බෑ කියයි.. රෝහලේ උණුසුම් තත්වයක්..

Shiran Viraj