mediahumanrights.lk
Local NewsNewsPolitical

අලි – මිනිස් ගැටුම පාලනය කිරීමට 10,000ක පිරිසක් හෝ යෙදවිය යුතු බව අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි

දිනෙන් දින උග්‍ර වන අලි – මිනිස් ගැටුමට ස්ථිර විද්‍යාත්මක විසඳුම් ලැබෙන තෙක්, ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් 10,000ක පිරිසක් හෝ යොදවා කටයුතු කළ යුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අවධාරණය කරයි. කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අමතමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මිනිස් ජීවිත විනාශ වීම තවදුරටත් බලා සිටිය නොහැකි බවත්, මේ සඳහා තාවකාලික විසඳුම් ලෙස ජංගම මුරකුටි, අවශ්‍ය වාහන සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් යෙදවීමට කටයුතු කළ යුතු බවත්ය.

දැනට පවතින තත්ත්වය අනුව සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන් 1,025ක් පමණ මේ සඳහා වහාම ලබා දීමට හැකියාව පවතින බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. අලි උවදුර පාලනය කිරීමට අවශ්‍ය අමතර වාහන සහ නිලධාරීන් සංඛ්‍යාව පිළිබඳ නිශ්චිත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද ඔහු නිලධාරීන්ට උපදෙස් දුන්නේය. මැදියම් රාත්‍රියේ පමණක් නොව, උදෑසන කාලයේදී පවා අලි මිනිස් වාසභූමිවලට පැමිණීම නිසා ජනතාව දැඩි අවදානමකට ලක්ව ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ජනතාව අලින්ට හිරිහැර කිරීමට අකමැති වුවද, තම ජීවිත කාලය පුරාම උපයාගත් දේ එක රැයකින් විනාශ වී යාම දරාගත නොහැකි තත්ත්වයක් බව අමාත්‍යවරයා පැවසීය. එබැවින් විද්‍යාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන තෙක් ක්ෂණික සහ තාවකාලික ආරක්ෂණ විධිවිධාන ශක්තිමත් කිරීම රජයේ ප්‍රමුඛතාවය විය යුතු බව ඔහුගේ අදහසයි. මෙමඟින් අලි ගැටලුව පවතින ප්‍රදේශවල ජනතාවගේ දේපළ මෙන්ම ජීවිත ආරක්ෂාව ද තහවුරු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Related posts

මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 63ක්

Shiran Viraj

වැලි මුහුදට ගසාගෙන යෑමෙන් ඉදිරියේදී අහිතකර ප්‍රතිවිපාක ඇති විය හැකියි – පරිසරවේදීන් කියයි

Shiran Viraj

උතුරු ධීවරයින්ට පහරදුන් ඉන්දීය ධීවරයින් 21 ක් සමග ට්‍රෝලර් යාත්‍රා අත්අඩංගුවට…

Shiran Viraj
Translate »