mediahumanrights.lk
Local News News Political

හිටපු ජනපතිනිය යුද හමුදාව අවදානමකට ලක්‌කරලා

හිටපු ජනපතිනිය යුද හමුදාව අවදානමකට ලක්‌කරලා
මෙය ජිනීවා චෝදනා සනාථ කිරීමක්‌
මහාචාර්ය ජී. එල්. පීරිස්‌
ආර්ථික අර්බුදයට හේතුව රජයේ අකාර්යක්‍ෂමතාවයි
බන්දුල ගුණවර්ධන (එජනිස)
අනුර බාලසූරිය
ජිනීවා මානව හිමිකම් මණ්‌ඩලය ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව කරන බරපතළ චෝදනාව හිටපු ජනාධිපතිනිය විසින් සත්‍යයක්‌ ලෙස සනාථ කිරීමෙන් ශ්‍රී ලංකා හමුදාව අතිවිශාල අවදානමකට පත්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා සඳහන් කළේය.
පුංචි බොරැල්ල ශ්‍රී වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්‌ථානයේදී ඊයේ (21 දා) පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා,
හිටපු ජනාධිපතිනිය වගේම හිටපු සේනාධිනායිකාව ශ්‍රී ලංකා හමුදාවට විරුද්ධව ඉතා බරපතළ චෝදනාවක්‌ ඉදිරිපත් කරනවා. මහා පරිමාණ දූෂණවලට අපේ හමුදාව වගකිවයුතුයි කියලා. මෙය තමයි ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අපේ හමුදාවට එරෙහිව කරන බරපතළම චෝදනාව. මේක හිටපු ජනාධිපතිනිය සත්‍යයක්‌ ලෙස සනාථ කරනවා.
මහින්ද රාජපක්‍ෂ රජය කාලයේ විදේශ ඇමැති ලෙස මා ජනාධිපතිවරයාගේ උපදෙස්‌ අනුව මෙහෙම දෙයක්‌ නොවුණ බවට ඉතාමත් ප්‍රබල තර්ක අපි ඉදිරිපත් කළා. මෙය සනාථ කිරීමට කිසිම සාක්‍ෂියක්‌ නැහැ. මෙය මිත්‍යාවක්‌ බොරුවක්‌ කියලා අපි පෙන්වා දුන්නා.
මෙය යම් යම් අය විසින් අපේ
අසීරු තත්ත්වයට පත්කර දංගෙඩියට යෑවීම සඳහා කරන වැඩපිළිවෙළක්‌. හිටපු ජනාධිපතිනියගේ මේ හැසිරීම නිසා හමුදාව අතිවිශාල අවදානමකට පත්වෙනවා. ඒ තත්ත්වය තුළ නිදහසට කරුණු ඉදිරිපත් කිරීම හමුදාවේ වගකීමක්‌ කියලා හමුදාවට භාරදී අත සෝදා ගැනීමට ජනාධිපතිවරයා හෝ ආණ්‌ඩුවට කිසිසේත් සාධාරණ නෑ.
මෙයට රජය මැදිහත් විය යුතුයි. මේ පිළිබඳව ස්‌ථාවරයක්‌ ජනාධිපති හෝ රජය ඉදිරිපත් කළ යුතුයි. එය ඉතාමත් ඉක්‌මනට කළ යුතුයි.
සමහර අවස්‌ථාවල ජනාධිපතිවරයාගේ මැදිහත්වීම නුවණට හුරු නෑ. අද නීතිඥ සංගම් නිලවරණය පැවැත්විය නොහැකි තත්ත්වයක්‌ ඇතිවෙලා තියෙනවා. මෙවැනි තත්ත්වයක්‌ ඉතිහාසයේ කවදාවත් වෙලා නෑ. මෙවැනි තත්ත්වයක්‌ ඇති වූ ප්‍රථම අවස්‌ථාව මෙයයි.
දිසා විනිසුරුවන් හා මහෙස්‌ත්‍රාත්වරුන් නිල වශයෙන් නියෝජනය කරන අධිකරණ සේවා සංගමය නිලවරණය සම්බන්ධයෙන් ඔවුන්ට පැවරී තිබෙන කටයුතු කිසිසේත් නොකරන බව දක්‌වා තියෙනවා. එය ඒ අයගේ සාධාරණ දුක්‌ගැනවිල්ලක්‌ නිසා මෙය ඉතාමත් භයානක ලක්‍ෂණයක්‌.
ජනාධිපතිවරයා අනිවාර්යයෙන්ම මැදිහත් විය යුතු කරුණු කීපයක්‌ තිබෙනවා. එකක්‌ වී ගොවීන්ගේ ප්‍රශ්නය. සයිටම් ප්‍රශ්නය දැන් පුපුරන තැනට ඇවිල්ලා. මේ රජය කිසි ප්‍රශ්නයක්‌ නිරාකරණය කිරීමට මැදිහත් වෙන්නේ නෑ. එය අතිවිශාල අර්බුදයක්‌ දක්‌වා ගිය පසුයි ඊට අවධානය යොමුකරන්නේ. ඉදිරි සතිය තුළ මෙය තවත් උග්‍ර තත්ත්වයට පත්විය හැකි බවට පෙරනිමිති තියෙනවා.
අපේ රටේ වෘත්තිකයන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා වෘත්තීයමය සංවිධානය ස්‌වාධීන කොමිසමක්‌ පිහිටුවීමට ඉතා වැදගත් පියවරක්‌ අද (22 දා) ගනු ලබනවා. රජය කළයුතු දේ නොකරන නිසා එම අඩුපාඩුව පිරිමැසීමට වෘත්තිකයන් සෘජුව මැදිහත්ව තිබෙනවා. මෙය කිසිසේත් පක්‍ෂග්‍රාහී නොවන ස්‌වාධීන කොමිසමක්‌.
ආරම්භ මේ කටයුත්ත පදනම් ආයතනයේදී අද (22 දා) කරනවා. මෙම කොමිසම විශ්වවිද්‍යාල හිටපු උප කුලපතිවරු, මහ බැංකුවේ විශ්‍රාමික නිලධාරීන්, රේගු, අපනයන සංවර්ධන මණ්‌ඩලය ආදී ආයතනවල ඉහළම තලයේ නිලධාරීන්ගෙන් සැදුම්ලත් වෙනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒකාබද්ධ විපක්‍ෂය සමග ඉදිරි මැතිවරණවලදී වෙනම තරග කරන බව ඉතා පැහැදිලිවම ප්‍රකාශ කරනවා. ඒ පිළිබඳව නිශ්චිත තීරණයක්‌ අපි අරගෙන තියෙනවා. මේ අය සමඟ එක්‌ව තරග කිරීමට කිsසිසේත් අපේ සූදානමක්‌ නෑ. අපි ගත් මෙම තීරණය කිසිසේත් වෙනස්‌ වන්නේ නැහැ.
පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා –
ඉතිහාසයේ ඇති වූ දැවැන්තම ආර්ථික අර්බුදය, මූල්‍ය අර්බුදය හා විදේශ විනිමය අර්බුදය පිළිබඳ දින දෙකක විවාදයක්‌ ලබාදෙන ලෙස ඒකාබද්ධ විපක්‍ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක්‌ කිරීමට නියමිතයි.
ලංකා ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදය ඇතිවුණේ 2003, 2004, 2005 වර්ෂවලදී කියලා වත්මන් අගමැතිවරයා ජාත්‍යන්තර මට්‌ටමින් මේ දිනවල ප්‍රකාශ කළා. දල දේශීය නිෂ්පාදනයට වඩා රාජ්‍ය ණය ඉහළ යැම රජයේ ආදායමට වඩා ලබාගත් ණයවල පොලී වැඩිවීම මේ සිද්ධීන් දෙකම එකම අවස්‌ථාවකදී වාර්තාවීම සුවිශේෂී තත්ත්වයන් තුනක්‌ ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට සිදු වූ බවයි එතුමා එදා ප්‍රකාශ කළේ.
එදා වගේම අදත් මේ රජයේ අකාර්යක්‍ෂමතාව නිසයි මේ ආර්ථික අර්බුද ඇති වී තිබෙන්නේ. ලංකාවේ දැනට තිබෙන දැවැන්තම ප්‍රශ්නය මේ ආර්ථික අර්බුදයයි.
මේ වන විට ඩොලරය 153 යි. සිංහල අවුරුද්ද වන විට ඩොලරය 170 ඉක්‌මවා යයි කියන අදහසයි වෙළෙඳපොළේ තියෙන්නේ. මේ නිසා මේ දිනවල ව්‍යාපාරික ප්‍රජාව සියලු දෙනා වැඩි වැඩියෙන් පිටරටින් භාණ්‌ඩ ඇනවුම් කරනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා
මේ ආණ්‌ඩුව හැම දෙයක්‌ම අනාගන්නා ආණ්‌ඩුවක්‌. සහල් ප්‍රශ්නයත් අනාගෙන ගොවියාට සහතික මිලක්‌ නෑ. සිල්ලර වෙළෙඳුන්ට නියම කරන මිලට විකුණන්න විදියක්‌ නෑ. තොග වෙළෙන්දා අනාථ වෙලා. ණයට බඩු ගත් පාරිභෝගිකයා අනාථයි. ආපනශාලා හිමියෝ මේ සහල් ප්‍රශ්නයෙන් අනාථ වෙලා. අපේ රජය කාලයේ අතිරික්‌ත සහල් විදේශ රටවලට පවා යෑව්වා.

Related posts

ගිරිබාවේ සිසුවිය දූෂණය කොට මරා දැමූ සැකකරුගේ ජංගම දුරකථනයේ අසභ්‍ය වීඩියෝ 300ක්..!

Shiran Viraj

මුලතිව් නගරයේ සියලු දෙනා නගරය හැර යයි – හේතුව මෙන්න – මොනවද මේ වෙන්න යන්නේ

Shiran Viraj

මාර්ගයේ ගමන් කරමින් සිටි දරුවා මතට පොල් ගසක් කඩා වැටේ

Shiran Viraj