mediahumanrights.lk
Entertainment Entertainment News News

සිනමා නිළියක ලෙස ඇගයීමක් ලැබීම මගේ හීනයක්

වෘත්තියෙන් බැංකු නිලධාරිනියක වුවද කුඩා කල සිටම ගායනය, නර්තනය හා රංගනයට යන තෙ අංශයටම දස්කම් පෑ ඇය නමින් සඳසීලී ප්‍රනාන්දුය. ඓතිහාසික සෙංකඩගල පුරවරයේ උපන් ඇය කලාවට දක්වනුයේ අසීමිත ළැදියාවකි.

“ඇත්තටම මම වාණිජ අංශයේ රැකියාවක නිරත වුවත් කුඩා අවධියේ සිටම කලාවට ගොඩක් ඇලුම් කළ කෙනෙක්. වයස අවුරුදු හතරේදී තමයි මම මුලින්ම වේදිකාවට නැග්ගෙ. මගේ පියා සේවය කළේ ගොඩනැගිලි දෙපාර්තුමේන්තුවේ. ඔහුත් කලාවට ළැදියි. මට මතකයි අපේ තාත්තා එම දෙපාර්තුමේන්තුවේ සංස්කෘතික අංශයේ ලේකම්වරයා විදියට වැඩ කළේ. එහි පැවැත්වුණු කලා වැඩ සටහන්වලට මාවත් ඉදිරිපත් කෙරෙව්වා. පුංචි කාලයේ ඉඳලාම මට තිබුණු ඒ හුරුව නිසාම සබකෝලය කියන දේ මට කවදාවත් දැනුණේ නෑ.

මෙලෙස කලාවට සම්බන්ධ වුණු ඇය 4වන වසර දක්වා සිප් සතර හැදෑරුවේ ගැටබේ පුහුණු පාසලෙනි. කුඩා අවධියේ සිටම පියාගෙන් ලැබුණු කලා ආභාසය නිසාම සාහිත්‍ය සමිතිවල ඇය කැපීපෙනන චරිතයක් බවට පත් වුණා.

“මට ගායනය, නර්තනය හා වාදනය යන අංශ තුනටම හැකියාවන් තියෙනවා. ජේ. ඊ. සුමනා ගුරුතුමියගෙන් තමයි එවකට මම නර්තනය පිළිබඳ හැදෑරීම් කළේ. 1961 පාසල් ප්‍රදර්ශනය පිළිබඳ මනමේ නාට්‍ය පැමිණි අලුත ඒ නාට්‍ය කරන්නට පාසලේ ලොකු ළමයින්ගෙන් කිහිප දෙනෙකු තෝරා ගෙන පුහුණුවීම් කළා. එහි සංගීතය හා නර්තනය සමඟ ගනිද්දී මනමේ කුමාරිට තේරී පත් වුණේ මමයි. මට මතකයි නව වතාවක් එම නාට්‍ය පෙන්නුවා. ඒ අවධිය වන විට මට වයස අවුරුදු 14ක් විතර ඇති. එවකට හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් හොඳම නිළිය ලෙස මට ත්‍යාග ද හිමි වුණා. දැන් වගේ කුසලතා ඒ කාලේ දෙන්නේ නෑ. හොඳම නිළිය ලෙස රත්තරන් කරාබු ජෝඩුවක් තමයි මට ත්‍යාග ලෙස හිමි වුණේ”.

ගුවන්විදුලියේ ළමා පිටියේද සාමාජිකාවක වූ ඇය පසුකාලීනව වැඩිදුර අධ්‍යාපනය සඳහා මරදාන වෘත්තීය පුහුණු ආයතනයට සම්බන්ධ වී වාණිජ විෂය ධාරාව පැත්තෙන් පාඨමාලාවක් හැදෑරුවාය. ඉන් අනතුරුව මහජන බැංකුවට තේරී පත්වී වසර 32ක කාලයක් එහි සේවය කළ ඇය මේ වන විට විශ්‍රාම සුවයෙන් පසු වෙයි.

“වාණිජ අංශයෙන් ඉගෙනීම් කටයුතු කළත් මම කලාවෙන් ඈත් වුණේ නැහැ. මහජන බැංකුවේ තිබුණු කලා සංසදයේ උපලේකම්වරිය විදියටත් මම කටයුතු කළා. 1978 පැවැති භක්තිගීත කණ්ඩායමේ වසර නවයක් පුරා ගීත ගායනා කළා. ඒ වගේම එහි පැවැති සියලු කලා වැඩසටහන්වලට දායක වුණා. මාලනී බුලත්සිංහල, සනත් නන්දසිරි, රෝහණ වීරසිංහ වැනි ප්‍රවීණයන් තමයි අපට පුරුදු පුහුණුවීම් කළේ.”

“දැන් මම විශ්‍රාම සුවයෙන් පසු වුවත් ටෙලි නාට්‍ය දැක්කාම ඇත්තටම මට කලාව කෙරෙහි ආසාවක් ඇති වුණා. ඒ අතර තමයි මට ඉරේෂ් ලොකුබණ්ඩාරව මුණගැහෙන්නෙ. පසු කාලීනව හිරු ටීවීහි විකාශය වූ තඹපාට හැන්දෑව, දයාරත්න රටගෙදරයන්ගේ සිත නිවන කතා, ජයලත් මනෝරත්නගේ සමනලී, සූරිය කුසුම, අජිත් ලොකුගේගේ ‘නාඩගම්’ කියන නාට්‍ය කිහිපයකට වගේම භවයෙන් භවේ කියලා සිනමා පටයකට රංගනයෙන් දායක වුණා.

මෙලෙස කලාවේ ඇය පෙන්වූ රංගන ප්‍රතිභාව නිසාම 2018 වසරේදී ඇය විශිෂ්ට කලාකරු අභිෂේක සම්මානයෙන් මෙන්ම 2018 වසරේ කලා භුෂණ සම්මානයෙන්ද 2019 වසරේදී ජනාධිපති රාජ්‍ය සම්මානයෙන්ද පිදුම් ලැබුවාය. ටෙලි නාට්‍ය රංගනයෙන් මෙන්ම වෙළෙඳ දැන්වීම් සමඟින් ද ප්‍රේක්ෂක ඔබ හමුවට එන ඇය නුදුරේ දී නවතම සිනමා නිර්මාණ කිහිපයක් හරහා ද දැක ගත හැකි වෙයි.

“චානක සේනාධීරගේ නවතම චිත්‍රපටයක් හා තවත් චිත්‍රපට නිර්මාණ 3ක් සඳහා දැනටමත් ආරාධනා ලැබිලා තිබෙන්නෙ. මම කලාවට එදා වගේම අදත් ආදරෙයි. මගේ එකම හීනය සිනමා රංගනයට සම්මානයක් ලබා ගැනීමයි.”

( උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි )

Related posts

අනිවාර්යෙන් විදුලි බිල වැඩි කල යුතුයි..- මහජන උපයෝගිතා කොමිසම දන්වයි..

Shiran Viraj

චමුදිත අපරාධ කොට්ඨාශයට කැදවයි.. ඔහුට විරුද්දව පැමිණිලි දෙකක් චන්දිමාල් හා පියුමිගෙන්…

Shiran Viraj

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට (UPDATE)

Shiran Viraj