mediahumanrights.lk
Entertainment Entertainment News News

සජිත්ට සුදුසු කෙනා හමුවෙලා

ළඟදීම මගෙනුත් ගීතයක්‌
සූරිය අරණ සහ අබා යන ළමා චිත්‍රපට වලින් ලාංකීය කලා ක්‌ෂේත්‍රය ආක්‍රමණය කළ ඔහු අද කඩවසම් නළුවෙක්‌. ඒ වෙන කවුරුත්ම නෙවෙයි සජිත අනුත්තර ඇන්තනී. කලා පවුලකින්ම ආභාසය ලැබූ ඔහු සියලු හැකියාවන්ගෙන් පරිපූර්ණ වූවෙක්‌ ලෙසයි අපි හැමදෙනා ම හඳුනාගෙන තියෙන්නෙ. නිතර නිතර කලා නිර්මාණයන්ගෙන් ඔහු මුණ නොගැහුණත් අදටත් ඔහුට ප්‍රේක්‌ෂකයන් ගොඩක්‌ ආදරෙයි. නර්තනය, ගායනය, රංගනය යන සියලු දක්‌ෂතාවයෙන් පිරිපුන් සජිත දැන් පෙම්වතෙක්‌ලු. ඔහුට ආදරය කරන රසිකයින් පුදුමයට පත් කරපු මේ ආරංචිය ඇත්තක්‌ද බලන්න අපි ඔහුට කතාකළා. බලමු සජිත මොනවද කියන්නෙ කියල …
ඉතින් සජිත මොකද මේ දවස්‌වල වෙන්නේ ?
මේ ගෙවෙන්නෙ මගේ විශ්ව විද්‍යාල ජීවිතයේ අවසන් අවුරුද්ද. ඒ අධ්‍යාපන කටයුතු එක්‌ක ටෙලිනාට්‍යකට හරි චිත්‍රපටයකට හරි සම්බන්ධ වෙන්න නම් බැරිව ගියා.
ඒ කියන්නේ සජිතට මේ දවස්‌වල ලැබෙන ආරාධනා භාරගන්නේ නැතිද ?
ටෙලිනාට්‍ය වලට චිත්‍රපට වලට ආරාධනා ලැබෙනවා. ටෙලිනාට්‍ය හතරකට විතර මම එකඟ නොවුණේ මගේ අධ්‍යාපන කටයුතු හින්දා. ඒ වෙනුවෙන් මාසයක්‌ දෙකක්‌ වෙන්කරන්න මට අමාරුයි. විශ්ව විද්‍යාලයේ මේ ගෙවෙන්නේ මගේ අවසාන අවුරුද්ද. ඒ කියන්නේ මේ මගේ ජීවිතයේ වැඩ අධික අවුරුද්ද. උපාධියෙන් පස්‌සේ මගේ වැඩ පටන් ගන්නවා.
සජිත, ළඟදී ගීතයක්‌ එහෙම නිර්මාණය කරන්නේ නැද්ද ?
ඔව් මගේ පළවෙනි සිංදුව රිලීස්‌ කරන්න වැඩ කටයුතු මේ දවස්‌වල සූදානම් කරගෙන යනවා. ස්‌වර්ණපාලියේ නමින් තමයි ඒ ගීතය නම් කරල තියෙන්නේ. ශනුක වික්‍රමසිංහ අයියා තමයි සංගීතය නිර්මාණය කළේ. මේ දවස්‌වල ඒකෙ මියුසික්‌ වීඩියෝ එක කරන්න සැලසුම් කරනවා. ඉදිරි සති දෙක තුන ඇතුළත පුළුවන් ප්‍රේක්‌ෂකයාට මගේ ගීතය දකින්න.
සජිත වේදිකාවට සීමාවෙලා වගේ දැනෙනවද ?
ඇත්තටම එහෙම නෑ. වේදිකාව තමයි කලා නිර්මාණයක්‌ කරන්න කලින් පුහුණුවන්න හොඳම තැන. මම මේ තාම කරන්නේ පුහුණුවෙන එක. ගායනය, වාදනය, නර්තනය මේ හැමදෙයක්‌ම මම පුහුණු වුණේ වේදිකාවෙන්. වේදිකාව කියන්නේ ප්‍රේක්‌ෂකයාට කලාකරුවා මුණ ගැහෙන එක ම තැන. ඒ නිසා වේදිකාව තුළ මම කොච්චර හිටියත් ඒක මට වැඩි නෑ. මේ ප්‍රැක්‌ටිස්‌ එකත් එක්‌ක අනාගතේ මට ලොකු වැඩක්‌ කරන්න පුළුවන් වෙයි.
සජිතට පුළුවන්ද දවසක පියා පහුකරගෙන යන්න ?
මෙහෙමයි. අප්පච්චි ගිය ගමන වෙනස්‌ ම ගමනක්‌. ඒක මගේ ගමනට කිසිසේත් ම සමාන නෑ. මොකද උපාධියේ ඉඳල ම අපි දෙන්න වෙනස්‌. අප්පච්චි ඉතිහාසය පැත්තට නැඹුරුයි. ඒත් මම ඉතිහාසයට වඩා වර්තමානය සහ අනාගතයත් එක්‌ක ඉන්නවා. මට ඕන අප්පච්චි මේ රටට කරපු මෙහෙවර නවත්තපු තැනින් පටන් ගන්න. ඒ නිසා අප්පච්චි අනුකරණය නොකර එයා අතික්‍රමණය කරන්න කියලයි එයා මට කියන්නෙ. කොහොම වුණත් අප්පච්චි ඉන්න තැනට ඇවිත් ඉන් එහාට යන්නයි මට ඕන.
ළඟදී වටින සම්මානයක්‌ ලැබුණා නේද ?
මට ඒ සම්මානය ගොඩක්‌ වටිනවා. මම වේදිකා නාට්‍ය උළෙලකට සම්බන්ධ වුණ පළමු අවස්‌ථාව තමයි මේක. ඒ පළමු අවස්‌ථාවේ ම සම්මානයක්‌ ලැබීම ලොකු ජයග්‍රහණයක්‌. නාට්‍ය දෙකකින් මම රාජ්‍ය නාට්‍ය උළෙල නියෝජනය කළා. ඒ ප්‍රියංකර රත්නයකයන්ගේ ප්‍රේමවන්ත කුමාරයෝ සහ අකිල සපුමල් සර්ගේ ගිරිකූඨ කාෂ්‍යප කියන නාට්‍ය දෙක. මා නියෝජනය කරපු නාට්‍ය දෙකම රාජ්‍ය නාට්‍ය උළෙල නියෝජනය කිරීම මං ලබපු ජයග්‍රහණයක්‌.
හොඳම නළුවා සම්මානය නූලෙන් නේද ගිළිහුනේ ? දුක නැද්ද ?
කිසිම දුකක්‌ නැහැ. හොඳම නළුවාට මගේ නම නිර්දේශ වුණා. නමුත් සම්මානය ලැබුණේ ධර්මප්‍රිය ඩයස්‌ අයියට. ඒක මං ලබපු ජයග්‍රහණයක්‌. තව මට ප්‍රේමවන්ත කුමාරයෝ නාට්‍යයට කුසලතා සම්මානයක්‌ ලැබුණා. ඒක මං දිරිමත් කිරීමක්‌.
සැබෑ ජීවිතෙත් සජිත ප්‍රේමවන්ත කුමාරයෙක්‌ කියල ආරංචියි. ඇත්තද ඒ කතාව ?
කොල්ලෙක්‌ කාලෙකදි පෙම්වතෙක්‌ වෙන එක සාමාන්‍ය දෙයක්‌නේ. මාත් දැන් පෙම්වතෙක්‌. ඒක සාමාන්‍ය දෙයක්‌. ඒ ගැන සුදුසු කාලෙදි සුදුසු වෙලාවට කියන්නම්. ඒ මාතෘකාව දැනට කතා නොකර ඉමු.
සජිතට ඉන්නවද හොඳම යාළුවෙක්‌ ?
ක්‌ෂේත්‍රය ඇතුළේ යාළුවෝ ගොඩක්‌ ඉන්නවා. හර්ෂණ දිසානායක තමයි මගෙ ඉස්‌කෝලෙ කාලෙ හොඳම යාළුවා. උසස්‌ පෙළ වෙනකන් ඔහු මගේ හොඳම යාළුවා විදියට හිටියා. සනුක, නදීමාල්, දිල්මින්, කෞෂාන් තමයි දැන් ඉන්න හොඳම යාළුවෝ.
එතකොට විශේෂ යෙහෙළියක්‌ ?
යෙහෙළියොත් ඉන්නවා. මගේ විශ්ව විද්‍යාලයේ මට යෙහෙළියො ගොඩක්‌ ඉන්නවා. ක්‌ෂේත්‍රයේත් බොහෝ පිරිසක්‌ මගේ යෙහෙළියො තමයි.
සජානා, දිනක්‌ෂි දෙන්නගෙන් කව්ද හොඳම යෙහෙළිය ?
දිනක්‌ෂි එක්‌ක මම තාම වැඩ කරල නැහැ. හැබැයි ඇයව මුණගැහෙනවා ක්‌ෂේත්‍රයේ වැඩ කරද්දි. ඇයත් එක්‌ක ලොකු යාළුකමක්‌ නෑ. ඒත් සජානා මගේ පොඩිකාලේ ඉඳන්ම යෙහෙළියක්‌. අපි එකට ස්‌වර්ණ කැකුළු, හපන් පැදුර වැඩසටහන් කළා. ඒ නිසා ඇය මට සමීපයි. නමුත් දිනක්‌ෂි, සජාන තරමටම සමීප යෙහෙළියක්‌ නෙවෙයි.
සජිත කොයි වගේ කෙනෙක්‌ද ?
මම පොළවෙ පය ගහලා ජීවත්වෙන කෙනෙක්‌ද නැද්ද කියල තීරණය කරන්න ඕන ප්‍රේක්‌ෂකයා යි. හැබැයි මම කොහෙට ගියත් මමම තමයි. වෙනසක්‌ නෑ. මොකටද අපිට ආදරය කරන ප්‍රේක්‌ෂකයාට බොරු මවාපෑමක්‌ කරන්නෙ.
(දිවයින පුවත්පත ඇසුරෙනි)

Related posts

ETI අක්‍රමිකතා ගැන හොයන ජනපති කොමිසමේ කාලය දිගු කරයි

Shiran Viraj

ජලාශ ගණනාවක වාන් දොරටු තවමත් විවෘතයි

Shiran Viraj

ගවයන්ට අභයදානය දී කිරි කර්මාන්තය නැංවිය හැකිද

Shiran Viraj