mediahumanrights.lk
Entertainment Entertainment News News

මම ඒ ගැන මතක් කර­න­වා­ටත් අකැ­මැ­තියි මුළු ඇඟම හිරි වැටෙ­නවා ප්‍රවීණ රංගන ශිල්පී ක්ලීටස් මෙන්ඩිස්

පසුගිය 21 වැනි දින කතෝලික දේවස්ථාන සහ සුපිරි හෝටල් කිහිපයකට සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය නිසා විශාල ජීවිත ප්‍රමාණයක් අහිමි වුණා. තවත් පිරිසක් තුවාල ලැබුවා. මේ පිළිබඳ සමාජ මාධ්‍යජාලා අතර විවිධ කටකතා, ආරංචි පැතිරී ගියා. මෙයින් සමහර ඒවා ඇත්ත වුවත් ඇතැම් ඒවා බොරු බව හෙළිවුණේ පසුවයි. ප්‍රවීණ රංගන ශිල්පී ක්ලීටස් මෙන්ඩිස් පිළිබඳවද සමාජ මාධ්‍යජාලා ඔස්සේ පළ වුණේ එතරම් සුබ ආරංවි නම් නෙමෙයි. ක්ලීටස් මෙන්ඩිස් පිළිබඳව මෙවැනි ආරංචියක් පැතිර යන්නට හේතුව ඔහු පදිංචිව සිටින්නේ බෝම්බ ප්‍රහාරයට ලක්වුණු මීගමුව කටුවාපිටිය පල්ලිය ආසන්නයේම වීමත් ඔහු කතෝලික බැතිමතකු වීමත් නිසාය. ඇත්තටම ඔහුට කුමක්ද සිදුවුණේ? මෙහි ඇත්ත නැත්ත දැනගන්න අපි ඔහුව දුරකථනයෙන් සම්බන්ධ කරගන්න උත්සාහ කළා. ඔහුගේ දුරකථනය කිහිප වතාවක් නාද වුවත් අප හා සම්බන්ධ වුණේ මඳ වෙලාවකින් පසුවයි. ඒ මොහොත වන විටත් ඔහු හිටියේ ලොකු කම්පනයකින්. කොහොම වුණත් ඔහුගේ සුපුරුදු කටහඬ ඇසුණ නිසා ඔහු ගැන පැතිර ගිය ආරංචිය අසත්‍යයක් බව සනාථ වුණා. මේ කතා කරන්නේ ‘රසඳුන‘ පුවත්පතින් යැයි කියූ සැණින් ඔහු එක්වරම කීවේ ‘‘මම ජීවතුන් අතර ඉන්නවා‘‘ කියලයි.

ඇත්තටම ඔබට මොකද වුණේ? මම ඔහුගෙන් ඇසුවා.

‘‘ඇත්තටම ඒ ගැන විස්තර කරන්නට තරම් වත් මට ශක්තියක් නෑ. ඒ තරමට මම ඉන්නේ ලොකු කම්පනයකින්. මේ දිනවල මගේ දුරකථනයටද නිවාඩුවක් නෑ. මැසේජ්, කෝල් ඉවරයක් නෑ. ඒක මට තවත් පීඩනයක් වෙලා. වෙනදා මට දුරකතන ඇමතුම් එන්නේ කලා කටයුතු වලට. ඒත් දැන් මට එන දුරකතන ඇමතුම්, මැසේජ් සියල්ලම එන්නේ එකම දෙයක් අහලා. අපේ රටින් විතරක් නෙමෙයි විදෙස් රටවලින් පවා එන ඇමතුම්වල කෙළවරක් නෑ. ඒ මම ජීවතුන් අතරද කියල අහලයි. මටම හිතා ගන්න බෑ ඇයි මම ගැන මෙවැනි ආරංචියක් ගියේ කියලා. කොතරම් පීඩනයක් වුවත් එක අතකට මම හිතුවා මගේ රටේ මිනිස්සු ක්ලීටස් කියන චරිතයට කොතරම් ආදරෙයිද කියලා. මෙහි දිගු කතාවක් තියෙනවා.‘‘

ඔහු තවත් කතාවකට මුල පුරන්නට හිතුවත් ඒ කතාවට පුංචි බාධාවක් කරමින් මට ඔහුගෙන් යමක් අසන්නට හිතුණා.

‘‘මේ ගිය ආරංචියත් එක්ක බොහෝ දෙනා ඔබට දුරකථන ඇමතුම් ගත්තත් ඔබෙන් කිසිදු ප්‍රතිචාරයක් නොතිබුණු නිසා ඒ සැකය තවත් තහවුරු වෙන්න ඇති නේද?

‘‘ඔබ කියන දේත් යම් සත්‍යයක් තිබෙනවා. මොකද එදා සිදුවූ මේ සිදුවීමත් එක්ක මම හිටියේ මේ කුරිරු අවස්ථාවට මුහුණ දීලා හිටපු මිනිස්සුන් කොහොමද බේරා ගන්නේ කියන තැනයි. ඇත්තටම දුරකතනවලට පිළිතුරු දෙන්නවත් මට වෙලාවක් තිබුණේ නෑ. ඒ වෙද්දිත් මට විශාල දුරකථන ඇමතුම් ප්‍රමාණයක් ලැබිලා තිබුණා. මගේ නිහැඬියාවත් එක්ක ගොඩක් දෙනා බිය වන්නට ඇති මට කරදරයක් වුණා කියලා.‘‘

කටුවාපිටිය කීවාම ඔබේ නම ඉහළින්ම කියැවෙනවා. මෙයත් මේ ආරංචිය පැතිර යන්නට එක් හේතුවක් වෙන්නට ඇති නේද?

‘‘ඔව් පල්ලිය ආසන්නයේ තමයි මගේ නිවෙස තියෙන්නේ. ක්ෂේත්‍රයේ අය වගේම මට හිතවත් ගොඩක් දෙනෙක් ඒ බව දන්නවා. සමහරවිට ඔබ කීවා වගේ ඒ කාරණයත් මම ගැන මෙවැනි ආරංචි පැතිරෙන්න හේතුවක් වන්නට ඇති.‘‘

මේ සිදුවීම වන විට ඔබ හිටියේ කොහේද?

‘‘ඒ ගැන මතක් වෙද්දිත් මට තාමත් අදහා ගන්නට බෑ. මම ඒ සිදුවීම වන විට හිටියේ ගෙදර තේ එකක් බොන ගමන්. ඒ අතර මහා ශබ්දයක් ඇසුණා. මට පුටුවෙන් ඉබේටම නැගිට්ට වුණා. හයියෙන් කෑගැස්වුණා. මම හිතුවේ අපේ ගෙදර ගෑස් එක පිපිරුවා කියලයි. අපේ එක්කෙනා ඇවිත් ඇහුවා ඇයි කෑගැසුවේ කියලා. මම කීවා ගෑස් එක නේද පිපිරුවේ කියලා. ඒත් එක්කම පල්ලිය පැත්තෙන් මිනිස්සු විලාප දෙනවා ඇහුණා. මම කීවා බෝම්බයක් පිපිරුණු සද්දයක් නේද ඇහුණේ කියලා. වයිෆ් කිවා පිස්සුද ඔය සුරුවම අරගෙන යන සද්දෙට ඔයා බයවෙලා ඉන්නේ කියලා. මිනිස්සු එහෙ මෙහේ දුවනවා, විලාප දෙනවා ඒ නිසා ෂර්ට් එකක් නැතුවම පල්ලියට දිවා. මොකද පල්ලියට ගෙවල් දෙකක් එහා පැත්තෙන් තමයි අපේ ගෙදර තියෙන්නේ.‘‘

ඔහුගේ කතාව එක් වරම නැවතුණා. ඒ කෙටි නිහැඬියාව තුළ ඔහු කොපමණ කම්පනයකට පත්ව සිටී දැයි සිතා ගත හැකිවිය. මඳ වේලාවකින් ඔහු සෙමෙන් යළි හඬ අවදි කළා.

‘‘ඒ සිදුවීම මට මොහොතේ මැවී පෙනුණා. ඇත්තටම මට මේ වෙලාවේ ඔබ දුරකතනයේ රැඳී ඉන්නවා කියලත් අමතක වුණා. මම පල්ලිය ඇතුළට ගියා. එකම ලේ විලයි. සිරුරු කැබැලි තැන් තැන්වල. මට වුණු දේ හිතා ගන්නත් බෑ. මට ඉබේටම එහි වාඩිවුණා. සිහියක් කල්පනාවක් නැතිවුණා. විලාප හඬ දෙදරුම් කෑවා. ඔළුවේ අත ගහගෙන වාඩිවෙලා හිටපු මගෙන් උදව් ඉල්ලලා තවත් පිරිසක් කෑ ගහනවා මට ඇහුණා. මම නැගිටලා මිනිස්සු රෝහල්වලට ගෙනියන්න උදව් කළා. පුංචි පැටවුන්ගේ මිනිකඳන් තැනින් තැන. මේ සියල්ල මට මායාවක් වගේ.‘‘

ඔබ වෙනදා මේ පූජාවට සහභාගි වනවා. ඒත් එදා ඔබ සහභාගි වුණේ නැහැ. ඒ කියන්නේ ඔබේ ජීවිතය බේරුණේ අනූනවයෙන් නේද?

‘‘ඒක මගේ පෙර වාසනාව කියලා කියන්නත් පුළුවන්. පල්ලයේ ප්‍රධාන පූජා දෙකක් තියෙනවා. එකක් රාත්‍රී 11.30 ට ඒ මොහොතේ සහභාගිවන්නට නොහැකි අයට උදෑසන හතේ පූජාවට සහභාගී වෙන්න පුළුවන්. බැරි වෙලාවත් එදා පැවැත්වු උදෑසන පැවැත්වූ පූජාවට මමත් සහභාගී වුණානම් මේ මොහොත වන විටත් ක්ලීටස් ජීවතුන් අතර නොවන්නට ඉඩ තිබුණා.

‘‘ඇත්තටම ඔබට ඒ අවස්ථාවේ මොන වගේ හැඟීමක්ද ඇතිවුණේ?

‘‘මම ඒ ගැන මතක් කරනවාටත් අකැමැතියි. මුළු ඇඟම හිරි වැටෙනවා. මගේ ජීවිතේ මෙවැනි තවත් අවස්ථාවකට මුහුණ දීලා තියෙනවා. ඒ හිටපු ජනපතිනිය චන්ද්‍රිකා මැතිනිය ඉලක්ක කරගෙන බෝම්බ ගැසූ දවස. එදා මම එතුමිය පිටුපසින් හිටියේ. එදා දැනුණු ඒ කම්පනය තාමත් මට සිහියට එනවා. පුදුමාකාර අත්දැකීමක්. හරියට චිත්‍රපටයක් වගේ.‘‘

ඔහුගේ හඬ වෙව්ලයි. ඒ තරමට මේ සිදුවීමෙන් ඔහු කම්පනයට පත්වී තිබේ. අප මේ සිදුවීම දුටුවේ මාධ්‍ය ඔස්සේ වුවත් ඔහු එය සියැසින් දැක තිබේ. ප්‍රතිභාන්විත ගැඹුරු වූ හඬ පෞරුෂයක් හිමි රංගන ශිල්පියකු වුවද දා ඔහු සමඟ කළ කතා බහේදී එදා දුටු ඒ ගැඹුරු හඬ ඇසුණේ නැත. ඒ තරමට ඔහු කම්පනයට පත්වී තිබේ.

“මම කියන්නේ මේ වෙලාව අපි පුළුවන් තරම් ඉවසීමෙන් වැඩ කරන්නට ඕනෑ. ඒ වගේම අනවශ්‍ය ලෙස කලබල වුණොත් අවාසි සිදුවන්නේ අපිටමයි. ජේසුස් වහන්සේ වැරැදි කරුවන් අපේ ඇස් ඉදිරිපටම පෙන්වයි. එතකල් අපි ඉවසමු. ඒ වගේම සෑම මොහොතකම තමුන්ගේ ආරක්ෂාව තමන් සපයා ගත යුතුයි. අපේ ආරක්ෂාවේ වගකීම හැම වෙලාවෙම ආරක්ෂක හමුදාවට භාර දිය යුතු නෑ. විශේෂයෙන් මේ වෙලාවේ මම කියන්නට ඕනෑ අපේ ත්‍රිවිධ හමුදාව පොලීසිය මේ මොහොතේ ලොකු කැපකිරීමත් රට වෙනුවෙන් ඉටු කරනවා. ඒ වගේම මේ සිදුවීම වුණු වෙලාවේ ඉඳලා සිව් දෙස සිටින අපේ මිනිස්සු අපිත් එක්ක තාමත් ඉන්නවා. ඔවුන් හැමදෙනාම මෙ වෙලාවේ මා සිහිපත් කරනවා.‘
( උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි )

Related posts

ශ‍්‍රී ලංකා රුපියල ආසියාවේ දුර්වලම මුදල් ඒකකය-රොයිටර්

Shiran Viraj

ශානිට ඇප ලැබෙයි

Shiran Viraj

ජනබල විරෝධයට එමින් සිටි බස්වලට ගල් ගසති… අංක තහඩු නැති වාහන කරලියේ..

Shiran Viraj