mediahumanrights.lk
International News News

නින්දෙදි නහය දිගේ කැරපොත්තෙක් මොළේට ගිහින්

ඉන්දියාවේ චෙන්නායි නුවර ඉන්ජාම්බක්කම් ප්‍රදේශයේ ජීවත්වන සෙල්වි ගෘහ සේවිකාවක ලෙස කටයුතු කරන්නියකි. තවත් වෙහෙසකර දවසකින් පසුව ගතේ මෙන්ම සිතේද විඩාබර ගතිය පහව යන්නට ඇය නිදි සුවය ලබමින් සිටියාය.
ඒත් මින් සතියකට පමණ පෙර නින්දේදීම ඇයට අත්විඳින්නට සිදුවී තිබුණේ ඉතා බියකරු අත්දැකීමකටය.
නින්දේ සිටි සෙල්වි මහ රෑ මැදියම හදිසියේ අවදි වූයේ තමාගේ දකුණු නාසය දිගේ යමක් තද වෙමින් ඉදිරියට ඇදෙන බව දැනීමෙනි. සෙල්වි නිදි මරගාතයේම ඒ නහය දිගේ ඇදීගෙන යන දෙය සූරා ඉවතට ගැනීමට යත්න දැරුවාය. එහෙත් ඇයගේ වෑයම පරදවමින් ඒ දෙය නාසය විදගෙන ඇතුළට යනු ඇයට දැනුණේ දැඩි වේදනාවක්ද සමඟය.
නින්දෙන් වාගේ සිදුවූ දෙය අමතක කර නැවතත් නින්දට යෑමට ඇයට ඕනෑ වුවද ඉන්න හිටින්නට බැරි තරම් වූ වේදනාව මැද නිවෙසේ අයද අවදි කරවාගෙන පිහිට යැදීමට ඇයට සිදුවී තිබිණි.
කිසියම් සතකු නාසයට ඉහළින් නාස් මාර්ගයේ දඟලන බව කියමින් වේදනාවෙන් හා මහත් අපහසුතාවයෙන් දඟලන සෙල්විව වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගෙනයෑමට ඉදිරිපත් වූයේ ඇයගේ බෑනාය. චෙන්නායිහි පිහිටි ස්ටැන්ලි රජයේ රෝහලට සෙල්වි හා බෑනා ළඟා වූයේ අලූ‍යමය.
ඊට පෙර ඔවුන් දෙදෙනා වෙනත් වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකකට ගොස් පිහිටක් නොලැබූ තැන චෙන්නායිහි රජයේ රෝහල වෙත පැමිණ තිබිණි. ඔවුන් ගිය එක් තැනකදී සෙල්විගේ නහයේ ඇති මස් දල්ලක් හේතුවෙන් දඟලන ගතිය දැනෙනන්ට ඇතැයි වෛද්‍යවරයා කියා සිටින්නට විය. හතළිස් දෙහැවිරිදි වියේ සිටි කාන්තාවක වූ සෙල්වි මස් දලූ‍ කතාව තරයේම ප්‍රතික්ෂේප කරමින් තමාගේ දකුණු නාස් පුඩුවට යම් සතකු රිංගනු දැනුණු බවත් එම සතා නාසය සූරා පිටතට ගැනීමට තමා තැත් කළත් ඇතුළටම රිංගා ගිය බවත් දැන් ඌ නාසයට ඉහළින් බඩගාමින් සිටින බව තමාට තේරෙන බවත් කියා සිටියේය. තවත් සතකු තම ශරීරය කොනිති ගසද්දී ඇති වන වේදනාවෙන්, අපහසුතාවයෙන්, ඝෝෂාවෙන් හා හිරිහැරයෙන් ඇය මහත් පීඩාවට පත්ව සිටියාය.
අවසානයේ චෙන්නායි හි ආණ්ඩුවේ රෝහලට ආ සෙල්විගේ නාසය අභ්‍යන්තරය එන්ඩස්කොපි පරීක්ෂණයකට ලක් කිරීමට එම රෝහලේ ඇස, කන, නාසය හා උගුර පිළිබඳ අංශය කටයුතු කළේය. එම පරීක්ෂණයේ ප්‍රතිඵලය එහි සිටි වෛද්‍යවරුන්ගේ ඉමහත් තැති ගැන්මට හේතු විය.
ඒ සෙල්විගේ නාසයට ඉහළින් හා ඇස් දෙක මැදට වන්නට හිස් කබල තුළ මොළය මෙපිටින් පණ පිටින් කැරපොත්තකු සිටින බව පැහැදිලිව දර්ශනය වීමෙනි.
ඕනෑතරම් කුඩා කෘමීන් ඇස්, කන්, කුහර තුළින් හා ඇස්වල ඇලී සිට එළියට ගැනීම ස්ටැන්ලි රෝහලේ වෛද්‍යවරුන්ට අමුතු දෙයක් නොවූවත් මෙය ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයක් විය. සෙල්විගේ හිස් කබල හා මොළය අතර සිටි කැරපොත්තා එළියට ගැනීමට රෝහලේ වෛද්‍යවරු පැයක පමණ මහා සටනක නිරත වූහ. චූෂක ආධාරයෙන් එළියට ගැනීමට නොහැකි තරමට කැරපොත්තා විශාල විය.
නොයෙකුත් උපක්‍රම යොදමින් අවසානයේදී සෙල්විගේ හිස් කබල තුළ සිටි කැරපොත්තා එළියට ගෙන සෙල්විට සහනය ළඟා කර දීමට අවසානයේ වෛද්‍යවරු සමත් වූහ.
කැරපොත්තා එළියට ගත් ස්ටැන්ලි රෝහලේ වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානි මහාචාර්ය එම්.එන්. ශංකර් පසුව පවසා තිබුණේ තමාගේ දසක ගණනාවක් වන සේවා කාලය තුළ මෙවැනි සිදුවීමක් ඇසින් දුටු ප්‍රථම වතාව මෙය බවයි. ස්ටැන්ලි රෝහලේ ප්‍රධානි වෛද්‍ය පොන්නම්බලා නාමසිවායම් ප්‍රකාශ කරන ලද්දේ කැරපොත්තා කාන්තාවගේ දකුණ නාස් කුහරය තුළින් ඌට යා හැකි තරම් දුරක් ගොස් හිස් කබල හා මොළය අතර නැවතී සිට ඇත්තේ එතැනින් එහාට යෑමට ඌට තවදුරටත් හැකියාවක් නොවූ බැවින් බවයි.

තවදුරටත් යෑමට කැරපොත්තාට හැකි වී නම් කාන්තාවගේ මොළයේ සිදුරු ඇතිවීමට ඉඩ තිබූ බවද ඔහු සඳහන් කොට ඇත. කෙසේ හෝ සෙල්වි නියම මොහොතේ රෝහලට පැමිණි මෙන් ඇයගේ මරණය වළක්වාගෙන ඇති බව අංශ ප්‍රධානි වෛද්‍ය ශංකර් කියා තිබිණි. කැරපොත්තා තවදුරටත් හිස් කබලේ රැඳුණා නම් ඌ එහිම මියයෑමට ඉඩ තිබූ බවත් එසේ වූවානම් කාන්තාවගේ මොළය ආසාදනය වී කාන්තාවද මරණයට පත් වීමට එයම හේතු විය හැකිව තිබූ බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබිණි.

Related posts

“තුන්මාසේ දානයට ජීවත්වෙන දෙදෙනා මට දැකගන්න ඕන” – මොළය මියගිය තවත් තරුණයෙක්ගේ වකුගඩු දන්දෙයි

Shiran Viraj

බැඳුම්කර වාර්තාව ගැන නිදහස් සන්ධානය පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි

Shiran Viraj

එංගලන්ත ටෙස්ට් තරගාවලියට ශී‍්‍ර ලංකා සංචිතය නම් කෙරේ – කුසල් මෙන්ඩිස්ට යළි අවස්ථාවක්

Shiran Viraj