mediahumanrights.lk
Entertainment Entertainment News News

නව පරපුර ගනුදෙනු කරන විදිය

“පැණි මකුළුවෝ” “විජයබා කොල්ලය” සමඟ එකම කාලයක වෙනස්ම චරිත දෙකකින් සමීප වන ගයනා සුදර්ශනී සමඟ කලකට පසු සෙනෙහෙබර දොඩමලුවක්.

එකම කාලයක එකිනෙකට වෙනස් චරිත දෙකක් එකම රංගන ශිල්පිනියකට එකවරම පුංචි තිරෙනුත් රිදී තිරෙනුත් ඉදිරිපත් කරන්න හැකි නම් එය අපූරු දෙයක් බව කිව යුතුමය. එකී චරිත එසැණින් ම රසිකයින් වැලඳගැනීමත් එම චරිත නිරූපණය කළ රංගන ශිල්පිනියට අති මහත්ය. එවන්වූ භාග්‍යයක් ලද ඇය වසර තිහකට කිට්ටු කාලයක් රංගන ක්ෂේත්‍රයේ ආ ගමන් මඟ ‍බොහෝම සන්සුන්ය.

වැඩි කලබලයක් නැති, කා සමඟත් සුහද, ඇය තිරයට එන්නේ ද යලට මහටය. හැබැයි ඒ ඇවිත් දායක වන නිර්මාණයත්… චරිතයත්… කතාබහට නම් ලක් වෙනවාමයි… එදා සිට අද වන තුරු මතක හිටින රංගන තුළ ජීවත් වූ ඇය මෙසේ හැඳින්වූවොත් ඔබ හොඳාකාරවම හඳුනන බව මට සිතෙයි. පුංචි තිරේ ‘සුදු හාමිනේ’ ඔව්.. දැන් ඔබේ මතකය දිවයනවාට සැකයක් නැත. ජීවිතේ බොහෝ දේ විඳදරා ගත් සුදු හාමිනේ… මුළු රටක් ම ආදරය කළ සුදු හාමිනේ… ගයනා සුදර්ශනී… බොහෝ කාලයකට පසු ආදරණීයම කතාබහකට එක්කරගත්තා. අද වෙද්දි විශිෂ්ටතම නිළියක වූ ගයනා රසඳුන හා එක්වන්නේ බොහෝ කාලයකට පසුවයි.

ගයනා… කාලයකින් නිළියකට ලැබෙන දුර්ලභ අවස්ථාවක් මේ කාලේ ඔබට ලැබී ඇත්තේ. පුංචි තිරෙත්… රිදී තිරෙත් එකවරම රසිකයින්ගේ ආදරයට ඔබ පාත්‍රවෙලා…

අනේ ඔව්… ඒ ගැන මමත් ඉන්නේ ලොකු සතුටකින්… පැණි මකුළුවෝ ‘රාජිකා’ටත් විජයබා කොල්ලයේ ‘දේවකී’ටත් ලැබෙන රසික ප්‍රතිචාර නම් හරිම ඉහළයි. කොතනට ගියත් රසිකයින් ඇවිත් වටවෙනවා. මේ චරිත ගැන එයාලාගේ කැමැත්ත ප්‍රකාශ කරනවා. ඉතිං රංගන ශිල්පිනියකට මේ තරම් දෙයක් තවත් තිබෙනවාද? (ඇගේ සතුට මේ වදන්වලින් ම මට තේරුණා.)

ගයනා… මේ.. ඔබ කරන්නේ එකිනෙකට වෙනස් චරිත දෙකක්… කොහොමද මේ තරම් දක්ෂ ලෙස ඒ චරිත රඟදැක්වූවේ…

ඒක නම් හිතාගන්නත් බෑ… විජයබා කොල්ලයේ ‘දේවකී’ පොඩි චරිතයක් කියලා කාටවත් හිතෙන්නේ නෑ. චිත්‍රපටය පුරාම ඇය ජීවත්වෙනවා වාගේ තමා දැනෙන්නේ… ‘දේවකී’ මුළු චිත්‍රපටයට ම කතා කරන චරිතයක් වෙලා. නරඹපු හැමෝම කීවා හරි අපුරුවට ‘දේවකී’ට පණ දීලා තිබෙනවා කියලා. සුනිල් ආරියරත්න මහතාගේ නිර්මාණයකට සම්බන්ධ වෙන්න ලැබීම ගැන මම සතුටු වෙනවා. මේ චරිතයට මාව යෝජනා කරලා තිබෙන්නේ බුද්ධිකීර්ති‍සේන මහතා… ඔහුවත් ආදරයෙන් මතක් කරන්න ඕන. ‘පැණි මකුළුවෝ’ රසිකයින් වැලඳගත් වෙනස් විදිහේ ටෙලි නාට්‍යයක්. පාතාල නායිකාවක්, පුංචි තිරෙන් එළි දකින පළමු අවස්ථාව මෙය වෙන්න ඇති. රූගත කිරීම් සිදුවේගෙන යනවා. මේ ටෙලිනාට්‍යය මුළු රටම අද වෙද්දි නරඹනවා. ප්‍රතිචාර ඉහළයි. ඉතිං හරිම සතුටුයි මට….

ඔබ ඉඳහිට තමා දැන් රංගනයේ යෙදෙන්නේ… ඒ ඇයි?

මම මේ ‍ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු 30කටත් කිට්ටුයි. කලබලයක් නැති සෙ‍ෙමන් ගමනක් තමා මම ආවේ. සීමිත නිර්මාණ කිහිපයක් පමණයි කරලා තිබෙන්නේ. ඒවා මිනිසුන්ට පුදුම විදිහට දැනුණා. ‘ඔරු බැඳි සියඹලාව’ – ‘මාද ඔබම විය’ ‘ගිරිකුළ’ ‘සුදු හාමිනේ’ වැනි නිර්මාණ ගැන අදටත් කතා කරනවා. ඉතිං ඉදිරියටත් එහෙමයි. තෝරා බේරාගෙන හොඳ නිර්මාණවලට පමණක් දායක වෙනවා. හැම එකේම පෙනී ඉන්නවාට වඩා එය හොඳයි.

එකිනෙකට වෙනස් විවිධාකාර චරිත කිරීමේ අපූරු හැකියාවක් ඔබ සතුයි කියලා මට හිතෙනවා…

ඔව්… එකම චරිතයකට කොටුවෙලා ඉන්න මට ලැබුණේ නෑ. හැමදාමත් මට ලැබුණේ එකිනෙකට වෙනස් චරිත. දැන් බලන්න මම රෙද්ද හැට්ටෙ ඇඳලා කරන චරිතවලට මිනිස්සු හුඟාක් කැමැතියි. අතපය විසිකරලා එහෙම චරිත මට කළ හැකියි. ඒ වාගේම අහිංසක… අසරණ මැද මාවතේ ගැහැනියකගේ චරිත… රාජිකා ව‍ාගේ පාතාල චරිත…. මෙහෙකාරියකගේ චරිත… ‍ෙද්වකි වැනි සාස්තර අම්මණ්ඩියකුගේ චරිත… මං හිතන්නේ ඒ අතින් මම වාසනාවන්තයි.

එහෙත් අවාසනාවකට ව‍ාගේ ඔබ රඟපෑ විශිෂ්ට චරිත ටෙලි සම්මාන උලෙළවලදී සේදිලා ගියා….

ඒ අපේ රටේ හැටියක්නේ. හැමදාමත් දෙන කෙනාට තමා සම්මාන හිමිවන්නේ… මේ ක්‍රමය වැරදියි. විනිශ්චය හැමදාමත් දකින්නේ එකම කෙනාම තමා. එයා අදක්ෂ රංගනයක් කළත් සම්මාන දෙනවා. මොකද විනිශ්ච මණ්ඩලයේ අදහස එයානේ හොඳම කියලා. අපිට වුණත් හොඳ දේවල් කළ හැකි කාලයක් තියෙනවා. ඒ කාලේ හොඳ දේවල් කරලා නොලැබී යන සම්මාන පසුව වැඩක් නැහැ. ‘සුදු හාමිනේ’ වාගේ රටක් ම වැලඳගත් චරිතයක් වුණත් හොඳ ම නිළියට නිර්දේශ කළා පමණයි.

ගයනා දැන් රඟපාන්නේ සැමියා, සහන් හදන නිර්මාණවල පමණයි කියලා කියන අයත් ඉන්නවා.

අනේ එහෙම නෑ. ‘සුදු හාමිනේ’ ‘මාද ඔබම විය’ ‘පැණි කුරුල්ලෝ’ අපේ නිර්මාණ තමා. හැබැයි ප්‍රධාන නිළියට මාව අරගන්න කියලා කවදාවත් මම කියලා නෑ ඔහුට. ඔහුයි කියන්නේ මේ නිර්මාණවලට සුදුසු හොඳම නිළිය ගෙදර ඉද්දී ඇයි තවත් නිළියක් සොයන්නේ කියලා. කළ හැකි දෙයක් ඇත්නම් හොඳ වැඩක් නම් මම කාගේ වුණත් භාර ගන්නවා.

ප්‍රවීණ නිළියක හැටියට ගයනා සමඟත් නව පරපුර වැඩ කරනවා. ඔබට මේ අලුත් පරම්පරාව දැනෙන්නේ කොහොමද?

නව පරපුර ගනුදෙනු කරන විදිහ වෙනස්. අලුත් අය රඟපානවාටත් වඩා වෙනස් වෙනත් දේ කරන්නේ… චරිතයක් දෙකක් කරපුහාම මහා ආඩම්බරකමක් ඇති කරගන්නවා. රූගත කරද්දීත් වෙනත් ලෝකවල ඔවුන් ඉන්නේ. අදටත් අපි ලොකේෂන් එකකට පය තබන්නේ මහ ගරුත්වයකින්. කරන චරිතයටයි මුල් තැන දෙන්නෙ. තිසුරි… වොල්ගා වාගේ නව පරපුරේ අය හරිම හොඳයි. පැහැදිලි අනාගතයක් එයාලාට තියනවා. විශේෂයෙන් මේ දේ කියන්න ඕනා. කාංචනා මෙන්ඩිස් රට හැර ගියපු එක ක්ෂේත්‍රයට හරිම පාඩුවක්. පුදුමාකාර කැපවීමකින් රඟපාපු නිළියක්. අද එහෙම අය හරිම අඩුයි. අපේ නි‍ර්මාණවලට අපි ගන්නේ හොඳට හොයලා බලලා…. නිරහංකාරකම තමා වටින්නේම.

ගයනා, ඔබට සිනමාවේ ලොකු දුරක් යන්න ඉඩක් ලැබුණා නම් කියලා හිතෙන්නේ නැද්ද?

හිතෙනවා… අතහැරපු නිර්මාණත් තිබෙනවා. ‘ඉන්ද්‍රඛීලය’ මගේ මුල්ම චිත්‍රපටය. පසුව තව කිහිපයක්ම කළා. මට දැනෙන හොඳ චරිත සිනමාවේ ලැබෙන්න ඕන. එහෙම ලැබුණොත් කරනවා. ළඟදි ‘මොනරවිලක්’ කියන චිත්‍රපටයේ රඟපෑවා. මාලිනි… සනත් වැනි ප්‍රවිණයන් එහි වැඩ කළා.

මේ කතාබහේ අවසානය.. ගයනා – සහන් බැඳීම දින දින අලුත් වෙන රහස කියන්න…

අපි අතර තිබෙන්නෙ බොරු ආදරයක් නෙමේ. ලෝකයට මවා පෙන්වන ආදරයක් නෙමේ. 2002 දී සහන් මුණ ගැසුණේ. 2008 විවාහ වුණා. අදටත් හරි ආද‍රයෙන් අපි දෙන්නා ඉන්නවා. එකිනෙකා තේරුම් ගැනීම වටිනවා. එවිට විශ්වාසය පවතිනවා. අද අය පොඩි දේටත් දික්කසාද වෙනවා. ඉවසීම අඩුයි. ඇත්තටම පවුල් ජීවිතයක් ගෙන යෑම අමාරුයි. දික්කසාදය ලේසියි. අපි අතරත් ප්‍රශ්න ඇති නොවුණා නෙමේ. එකිනෙකාට අපි හරියට ගරු කරනවා. අපි සතුටින් විනෝදයෙන් ඉන්න පවුලක්. සහන් ගෙදර පැදුරුපාටි දානවා. සින්දු කියනවා. අපි කාටත් ඊර්ෂ්‍යා කරන්නේ නෑ. සරලව සැනසිල්ලෙ මේ ජීවිතය අපි ගත කරනවා.
( උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි )

Related posts

කෑමට නුසුදුසු දේ දුන් ආයතන 2716ට නඩු

Shiran Viraj

ඉදුරුවෙන් දිනක් තුල ආසාදිතයන් 41ක්.. වහාම ලොක්ඩවුන් කරයි..

Shiran Viraj

රුපියල් 50 හැමදාම අතගෑවට මේක දන්නවද බලන්න…

Shiran Viraj