mediahumanrights.lk
Local News News

දැඩි කැපවීමක් අවශ්‍ය මොහොතක “තෙරපීමේ සිද්ධිය ” ගැන වෛද්‍යවරු කණගාටුවෙන්

කොරෝනා මර්දනය කිරීම සදහා දැඩි කැපවීමෙන් කටයුතු සිදුකරන අවස්ථාවේ ජනතාව තෙරපීමෙන් මිය යෑම වැනි සිදුවීම් අසන්නට ලැබීම කණගාටුවට කරුණක් බව වෛද්‍යවරු පවසනවා.

නිරෝධායන ඇදිරි නීතිය කි‍්‍රයාත්මක වන අවස්ථාවේ සියළු දෙනා ඊට සහයෝගය දැක්විය යුතු බවයි වෛද්‍යවරුන් අවධාරණය කරන්නේ

ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම නෙත් නිවුස් වෙත කියාසිටියේ කොරෝනා මර්දනයට ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බවයි.

ඊයේ පස්වරුවේ කොළඹ මාළිගාවත්ත ප‍්‍රදේශයේ සිදුවූ මුදල් ආධාර බෙදාදීමේදී ඇතිවූ තෙරපීමකින් කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික‍්‍රම මේ බව සඳහන් කළා.

අදාළ සිද්ධියෙන් තුවාල ලැබූ තවත් 9 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අතර ඉන් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි මුලින් වාර්තා වුණේ. කොළඹ ජාතික රෝහලේ ප‍්‍රකාශකයෙකු සදහන් කළේ සිද්ධියෙන් තුවාල ලැබූ පස්දෙනකු ප‍්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය බවයි.

ජනතාව එක්රැස් කිරීම මෙන්ම එවැනි ස්ථානවලට යාමද මේ මොහොතේ කිසිසේත්ම නොකළ යුතු කි‍්‍රයාවක් බවද විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කළා.

කොළඹ සහ ගම්පහ දිස්ති‍්‍රක්කවල නිරෝධායන ඇදිරි නීතිය තවදුරටත් කි‍්‍රයාත්මක බැවින් ඊට අනුගතව කටයුතු කිරීම අනිවාර්ය කරුණක් බවයි පොලීසිය පවසන්නේ. අත්‍යවශ්‍ය කටයුත්තකට නිවසින් බැහැරට යාමටද අවසර හිමි වන්නේ ජාතික හැදුනුම්පතේ අවසන් අංක පදනම් කර ගත් ක‍්‍රමවේදයට පමණයි.

මේ අතර මාලිගාවත්ත, ජුම්මා මජිඞ් මාවත ප‍්‍රදේශයේ දේවස්ථානයක් අසල ආධාර බෙදාදීමක දී ඇතිවූ තෙරපීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ව්‍යාපාරිකයා සහ පුද්ගලයින් හය දෙනා ජූනි 4 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.

පොලිසිය සදහන් කළේ ඇදිරි නීති රෙගුලාසි උල්ලංඝණය කරමින් ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු මෙම ආධාර බෙදාදීම සිදුකර ඇති බවයි. ඊයේ පස්වරුවේ අදාළ ස්ථානයට පැමිණෙන ලෙස කර තිබූ දැනුම්දීමකට අනුව ප‍්‍රදේශවාසීන් 500 කට ආසන්න පිරිසක් අදාළ නිවස අසළට රැස්වීම හේතුවෙන් මෙම තෙරපුම සිදුව ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සදහන් කළා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ශ‍්‍රී ලංකා පිල දිගටම පරදින්නේ තරග පාවාදීම් ගැන කරන පරීක්‍ෂණ නිසයි- පුහුණුකරු හතුරුසිංහ

Shiran Viraj

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට අවුරුදු 70යි

Shiran Viraj

“කොරෝනා සම්පූර්ණයෙන්ම තුරන් වන තත්ත්වයක් තවම නෑ”

Shiran Viraj