mediahumanrights.lk
News Sports Sports News

දකුණු අප්‍රිකාවේදී පීඩනය සහ ඇදගෙන නාගැනීම…

රාජකාරිය දේවකාරිය මෙන් ඉටු නොකළහොත් සමූහයක්‌ කළ උත්සහය ගඟට කැපූ ඉනිමෙන් ප්‍රතිඵලයක්‌ රහිත වනු ඇත. කෙසේ වෙතත් රාජකාරිය අකුරටම ඉටු කළහොත් දීමනාවලට අමතරව ප්‍රසාද දීමනාද හතර වටින් ගලාගෙන එති. එහෙත් මෙරට ක්‍රිකට්‌ රස්‌සාව දැන් හබල නැති පාරුවක්‌ බවට පත්ව තිබේ. එබැවින් දකුණු අප්‍රිකාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පිල පරාජයේ සැඩ පහරකට හසුවිය.
අංක එකේ ක්‍රිකට්‌ ක්‍රීඩාව නම් ටෙස්‌ට්‌ ක්‍රීඩාවයි. අනතුරුව දෙවැනි තැන එක්‌දින ක්‍රිකට්‌ තරගවලට හිමිවේ. විස්‌සයි විස්‌ස යනු දවසේ ජවය අනූව කරකැවුණොත් ගොඩ යන ක්‍රීඩාවකි. නමුත් මේ තුන්වැදෑරුම් ක්‍රිකට්‌ ක්‍රීඩාවටම ඔට්‌ටුවීමට ක්‍රිකට්‌ රස්‌සාව කරන මහත්වරුන් දක්‌ෂ විය යුතුය. ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ රස්‌සාව දැන් සිල්ලර බඩු වෙළෙඳාමක්‌ බවට පත්ව තිබේද යන්න පැහැදිලි වන්නේ ටෙස්‌ට්‌ (7), එක්‌දින (7) සහ විස්‌සයි විස්‌ස (6) ශ්‍රේණියවල පහළට තල්ලු වීම තුළිනි.
ක්‍රිකට්‌ රස්‌සාවේ තිරය පිටුපස කුමන හැල හැප්පීම් සිදුවුවද ඒ සියලු ප්‍රශ්නවලට විසඳුම ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණයයි. එය පරාජයෙන් කෙළවර වන්නේ නම් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර සහ ක්‍රිකට්‌ සභාපති තිලංග සුමතිපාල මහතාගේ සිට කණ්‌ඩායමේ බංකුවේ සිටින ක්‍රීඩකයාටද එහි වගකීම පැහැර හැරිය නොහැක. දකුණු අප්‍රිකාවේදී ශ්‍රී ලංකා පිල මාස දෙකක්‌ ක්‍රිකට්‌ ක්‍රීඩා කළේය. වැටුණ වළෙන් ගොඩ එනවා වෙනුවට ඔවුන් ප්‍රපාතයටම තල්ලු විය. දකුණු අප්‍රිකානුවන් ශ්‍රී ලංකාව බිමටම සමතලා කරද්දී ඔවුන් එක්‌දින ශ්‍රේණියේ ලොව අංක එකේ කණ්‌ඩායම බවට පත්විය. ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව සියයෙන් පහළට වැටුණි. සටන් කරන්නට හැකි ඔලු ගෙඩි තිබෙන බව දක්‌නට ලැබුණේ සිව්වැනි එක්‌දින තරගයේදී පමණි. නමුත් සමස්‌ත ප්‍රතිඵලය බිංදුවනම් සියල්ලෝම අසමත්ය.
ශ්‍රී ලංකා පිල තේරීම් කිරීමට දකුණු අප්‍රිකාවට කිසිදු සාමාජිකයකු නොයන බව තේරීම් කමිටුව පැවසීය. නමුත් එනපොට හොඳ නැති බව දැනගත් ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය එක්දින තරගාවලියේදී දකුණු අප්‍රිකාවට පැමිණියේය. ඔහු පුහුණුවීම් සහ තරග නරඹමින් රාජකාරිය ඉටු කළද දකුණු අප්‍රිකාවට ගියද තේරීම්වලද ප්‍රශ්න තිබෙන බව පැහැදිලි විය. දකුණු අප්‍රිකාව සමග ඔට්‌ටු වීමට පිතිකරුවන් හත්දෙනකු කණ්‌ඩායමට අවශ්‍යය. ශ්‍රී ලංකාව ඉතිහාසයේ ලෝක ශූරයෝ සහ අනුශූරයෝ වූයේ මේ ක්‍රමය තුළිනි. 1996 දී සනත් ජයසූරිය, රොමේෂ් කලුවිතාරණ, අසංක ගුරුසිංහ, අරවින්ද ද සිල්වා, අර්ජුන රණතුංග, රොෂාන් මහානාම සහ හෂාන් තිලකරත්න පිතිකරුවන් ලෙස කණ්‌ඩායමේ ස්‌ථිර සේවකයන් වූහ. තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස කුමාර් ධර්මසේන සහ චමින්ද වාස්‌ කණ්‌ඩායමේ සිටියේය.
නමුත් දකුණු අප්‍රිකාවේදී එක පිතිකරුවකු ලෙඩ වුවහොත් ආදේශක ක්‍රීඩකයාද ආගන්තුකයෙකි. දකුණු අප්‍රිකාව සමග පළමු එක්‌දින තරගයට ක්‍රීඩා කළ සඳුන් වීරක්‌කොඩි දකුණු අප්‍රිකාවට පැමිණ පැය 24 ක්‌ ගත වීමටත් පෙර ආරම්භක පිතිකරුවා ලෙස යෙදවීය. ඔහු හතරගාතෙන් වැටුණාක්‌ මෙන් ඉනිම ඇරඹුවද කළ හැකි කිසිත් නොවීය. අනතුරුව යළිත් උපුල් තරංගට සුපුරුදු ආරම්භක පිතිකරු ස්‌ථානය හිමිවිය. තුන්වැනි එක්‌දින තරගයට පෙර දිනයේ ධනංජය ද සිල්වාගේ දකුණු අතේ ආබාධයක්‌ ඇතිවිය. ඔහු වෙලුම් පටිවලින් අත වෙලාගෙන සිටි අතර ‘අත උස්‌සගන්නටත් අමාරුයි’ යනුවෙන් ඔහු තරගයට පෙර දිනයේ පැවසීය. නමුත් වේදනා නාශක හෝ මොන යම් ක්‍රමයකින් හරි ඔහුට පහුවෙනිදා තරගයට ක්‍රීඩා කිරීමට සිදුවිය. නමුත් ප්‍රතිඵලය නීරසය.
අවශ්‍ය වූ විට අත දිග හැර හයේ පහර දෙක තුනක්‌ ගසන්නට හැකි පිතිකරුවකු ශ්‍රී ලංකා පිලේ නොවීය. විස්‌සයි විස්‌ස තරගයේදී කණ්‌ඩායම දිනවූ සීක්‌කුගේ ප්‍රසන්නව එක්‌දින සංයුතියෙන් දොට්‌ට දැමීය. ඒ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සභාපති සනත් ජයසූරිය දකුණු අප්‍රිකාවේදී පැවසුවේ මෙවැනි වදනකි. ”සීක්‌කු විස්‌සයි විස්‌ස ගහනවනේ. මේ වන්ඩේ. දෙක පටලවගත්තොත් එකක්‌වත් නැති වෙනවා.’ යනුවෙනි. ක්‍රිකට්‌ ඔස්‌තාර් කෙනෙක්‌ හැටියට සනත් ජයසූරියගේ කියමන සත්‍ය වන්නට පුලුවනි. නමුත් සීක්‌කුව දොට්‌ට දමා ඇතුළට ආ තුන් ඉරියව් ක්‍රීඩකයා ‘ඒ’ පිලටත් සුදුසු යන්න ඔහුගෙන් විමසුවෙමු. ”මේකනේ අපි ලංකාවේ හොඳට කරපු අය සහ පුහුණු තරගවලදී හොඳට කරපු අයව තමයි මෙතනට ගෙනල්ලා තියෙන්නෙ. ඔවුන් තරගවලදි වගකීම අරගෙන ක්‍රීඩා කරන්නේ නැහැ.” යනුවෙනි.
සනත් ජයසූරියට සීක්‌කුගේ විස්‌සයි විස්‌සට පමණක්‌ කොටු වූයේ කෙසේද යන්න අපි නොදනිමු. 2016 දී අවසන් වරට ශ්‍රී ලංකාව එංගලන්තයේ කළ සංචාරයේදී ඔහු නෙදර්ලන්තයට එරෙහිව පන්දු හතළිස්‌ ගණනකින් ලකුණු අනූ ගණනක්‌ ලබා ගත්තේය. අනතුරුව එංගලන්තයට එරෙහිව ඔහු වේගවත් අර්ධ ශතකයක්‌ වාර්තා කළේය. එදා එක්‌දින තරගවලට හොඳ සීක්‌කුගේ අද අවලංගු කාසියක්‌ව ඇත්තේ ජයසූරියගේ අතපසුවීමකින්ද යන්න අපි නොදනිමු. සීක්‌කුගේ වෙනුවට කණ්‌ඩායමට ඇතුළු වූ තුන් ඉරියව් ක්‍රීඩකයන් වන චතුරංග ද සිල්වා සහ සචිත් පතිරණ දෙදෙනාම වමත් දග පන්දු යවන්නන් සහ වමත් පිතිකරුවෝ වෙති. ඔවුන් දෙදෙනාටම හයේ පහරක්‌ හෝ එල්ල කිරීමට නොහැකි විය. සීක්‌කු සිටියා නම් ඔහු කණ්‌ඩායමේ එකම පාදඟ පන්දු යවන්නාය.
2015 වසරේ සිට 2017 පෙබරවාරි මාසය දක්‌වා වූ කාලය තුළදී ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්‌දින වරම් ලැබූ ක්‍රීඩකයන් විසි දෙනකු පමණ සිටිති. අදාළ කාලය තුළදී ලොව වැඩියෙන්ම ජාතික කණ්‌ඩායමේ වර්ණ ලැබූ වාර්තාවද එය විය හැකි යෑයි අපි විශ්වාශ කරමු. 1982 දී ටෙස්‌ට්‌ වරම් ලැබීමෙන් පසුව 1989 දක්‌වා කාලය තුළදීත් මෙතරම් රොත්තක්‌ ජාතික කණ්‌ඩායමේ වරම් නොලබා ඇතැයිද අපි විශ්වාස කරමු. කෙසේ වෙතත් ජාතික කණ්‌ඩායමට පැමිණි සෑම නවකයෙක්‌ම අදක්‌ෂ යෑයි අපි තේරීම් කමිටුවට චෝදනා නොකරමු. කුසල් මෙන්ඩිස්‌, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්‌වැල්ල, ළහිරු කුමාර, ළහිරු මධුෂංක සහ ලක්‍ෂාන් සඳකැන් පැහැදිලි අනාගතයක්‌ ඇති ක්‍රීඩකයන් බව පෙනෙන්නට තිබේ. නමුත් ඔවුන්ට තරග දිනවන්නන් බවට පත්වීමටද පිටි පස්‌සෙන් තරගයක්‌ තිබිය යුතුය. ජ්‍යෙෂ්ඨයන් ලෙස කණ්‌ඩායමේ ස්‌ථිර සේවකයන් වන දිනේෂ් චන්දිමාල් සහ උපුල් තරංග වැල යන පැත්තට මැස්‌ස ගසන්නාක්‌ මෙන් ක්‍රීඩා කළ බවක්‌ දිස්‌විය. මැතිව්ස්‌ නැති කළ ඔටුනු දැරීමට සිටි චන්දිමාල්ට පළමුව ඔටුන්න නැතිවිය. දැන් ඔහුගේ ස්‌ථානය රැක ගැනීමට වෙහෙස විය යුතු කාලයකි. ළහිරු තිරිමාන්න දොට්‌ට ගියාක්‌ මෙන් චන්දිමාල්ටද රතු එළි දැල්වී තිබේ.
දකුණු අප්‍රිකාවේදී එන්.සී.සී. ක්‍රීඩා සමාජයේ රොත්තක්‌ම ජාතික කණ්‌ඩායමේ සිටියේය. මීට වසර කිහිපයකට පෙර එස්‌.එස්‌.සී. කණ්‌ඩායමේ රොත්තක්‌ ජාතික කණ්‌ඩායමේ සිටියාක්‌ මෙන් දැන් එය එන්.සී.සී. වලට හැරී ඇත්දැයි අපි නොදනිමු. එන්.සී.සී. පිලේ මෙතරම් දක්‍ෂ ක්‍රීඩකයන් සිටින්නේ නම් ඔවුන් පසුගිය වසර දෙක තුළදී නිරන්තරවම පළමු පෙළ සෑම ශූරතාවක්‌ම ලබා හැකි කණ්‌ඩායමක්‌ නොවන්නේද?
ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ්ට ලොකු කොන්ත්‍රාත්තුවක්‌ එක පයින්ම ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ලොක්‌කන් ලබාදුන්නේය. නමුත් දකුණු අප්‍රිකාවේදී ලැබුණ ආරංචි මත ඔහු කණ්‌ඩායමේ මනස හදන්නට මූලික තැන දී කටයුතු කරනවා මිස තරගයකදී වගකීමක්‌ කණ්‌ඩායමට ලබා දී නොමැති බව වාර්තා විය. පළමු පන්දු ඕවර දහය, විස්‌ස, පවර් ප්ලේ සහ අවසන් පන්දුවාර දහය තුළදී පිතිකරුවන්ට වගකීම් භාර දෙන යුගයක්‌ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ඉතිහාසයේ තිබුණද ෆෝඩ් ක්‍රීඩකයන්ව නළවන්නට පටන් ගෙන ඇති අයුරක්‌ දකුණු අප්‍රිකාවේදී දිස්‌විය. පසුගිය ජයග්‍රහණ කතා කරමින් සහ කණ්‌ඩායම නවකයන් යෑයි පවසමින් ඇග බේරා ගැනීමට මේ ක්‍රිකට්‌ මහත්වරුන්ට බැරිය. මොකද ඔවුන්ගේ රස්‌සාව රට දිනවීමේ ක්‍රියාවලියක නිරත වීමයි. ඒ සඳහා දහසින් බැඳි පියලි ඔවුන්ට ලැබෙන්නේ එබැවිනි.
1996 පුහුණුකරුවා වූ වට්‌මෝර් නායක අර්ජුන රණතුංග සහ උපනායක අරවින්ද ද සිල්වා ප්‍රමාද වී පුහුණුවීම්වලට පැමිණි විට ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී වට දහයක්‌ දුවන්නට දඩුවම් කළ බව එකල සිටි ක්‍රිකට්‌ සභාපති ආනා පුංචි හේවා මීට කලකට පෙර ‘දිවයින’ ට පැවසීය. එදා ඒ තරම් වගකීම් සහ දඬුවම් මගින් ක්‍රිකට්‌ ඔසවා තබන්නට පුහුණුකරුවා, නායකයා, තේරීම් කමිටුව සහ ක්‍රිකට්‌ සභාපතිවරයා වැඩ කළ හෙයින් අපි ලෝක ශූරයෝ වීමු.
දකුණු අප්‍රිකාවේදී ශ්‍රී ලංකා පිල තරග කරනවා බලන්නට පැමිණි ප්‍රේක්‍ෂකයන් පැවසුවේ, ”අයියෝ අපේ අය කිසිම µයිට්‌ එකක්‌ දෙන්නෙ නැහැ. අඩුම ගාණේ දෙසීයක්‌වත් ගහන්න බැහැනේ.” යනුවෙනි. තරගාවලියේදී පන්දු රකින්නෝ සෑම තරගයකම උඩපන්දු අතහැරියේය. දකුණු අප්‍රිකානුවන් අතින්ද උඩපන්දු අතහැරිණි. නමුත් ඔවුන් විශිෂ්ට උඩපන්දු රැක ගනිමින් පිතිකරුවන්ට දැවැන්ත ඉනිම් කරා යැමට හැකි මග අහුරා දැම්මේය. ශ්‍රී ලංකා පන්දු රකින්නෝ උඩපන්දු අතහැරූ විට µµa ඩූ ප්ලෙසිස්‌, ඩේවිඩ් මිලර් සහ හසීම් අම්ලා නැවතුනේ ශතකයත් පන්නා ගොසිනි.
ක්‍රිකට්‌ රස්‌සාව බැරූරුම්ය. හැමදාම දිනන්නට බැරිය. නමුත් හැමදාම පරදින්නටත් බැරිය. හැමදාම සිම්බාබ්වේ සහ බංග්ලාදේශය අසල ශ්‍රේණිගත කිරීම්වල සිටින්නද බැරිය. ඒ මන්ද ශ්‍රී ලංකාව යනු ලෝක ක්‍රිකට්‌ ශූරතා ද්විත්වයක්‌ දිනූ කණ්‌ඩායමකි. එළැඹෙන ලෝක කුසලාන වෙන තෙක්‌ අත්හදා බලමින් නන්නත්තාර වීමට පෙර දැන්ම සුදුස්‌සා කළමණාකරණය කිරීම සහ පුහුණුකරුවා කඩිසර වීම තුළින් වැටි ඇති වළෙන් ගොඩ ඒමට හැකි වනු ඇතැයි අපි විශ්වාස කරමු.

Related posts

දකුණු සහ නැගෙනහිර ආසීයානු රටවල සෞඛ්‍ය සමුළුවට ඇමති රාජිත මාලදිවයිනට

Shiran Viraj

"විවාහ වුනත් දරුවන් හදන්න කැමති නෑ" – ජෝන් සීනාගේ විවාහ යෝජනාවෙන් පස්සේ පෙම්වතිය මාධ්‍යයට කියපු දේ

Shiran Viraj

අර්ථසාධක අරමුදලට පනවන බදු ඉහළ නංවන්න රජය කටයුතු කරනවා

Shiran Viraj