mediahumanrights.lk
News Political

කුඩු අල්ලන්නේ 19 වැනි සංශෝධනය නිසාලු..

‘ආණ්ඩුව කියනවා 19 වෙනි සංශෝධනය ගෙනාපු නිසාලු කුඩු අල්ලන්න හැකි වුණේ.  19 වෙනි වගන්තියේ කුඩු ඇල්ලීමක් ගැන සඳහන් වන්නේ නැහැ. ඔවුන් 19 වෙනි සංශෝධනය ගෙනාවේ කුඩු ඇල්ලීමට නොව රාජපක්‍ෂවරුන් බලයට ඒම වැලැක‍්වීම සඳහා යයි’ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා මාවතගම සතිපොල විවෘත කිරීමෙන් අනතුරුව පැවති ජනහමුවේදී පැවසීය.

තවදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්‍ෂ මහතා,

‘අද බොරුව රජ වෙලා. කට ඇරියොත් ආණ්ඩුවේ මැති ඇමතිවරු බොරු කියන්නේ. 19 වෙනි සංශෝධනයෙන් ජනාධිපති තුමාගේ  වසර 06ක ධූර කාලය  වසර 05ක් කරලා. එතුමාගේ බලතලත් අගමැති උදුරාගෙන. පාර්ලිමේන්තුවේ බලතලත් කොමිෂන් සභා හරහා සීමා කරලා තියෙනවා. අද බලනවා පොලීසියේ බලතල වැඩි කරන්න. ඒක තමයි මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. තරුණයින් පැහැරගෙන ගිහින් අතුරුදහන් කිරීම පිලිබඳවත් පැමිණිලි ලැබෙනවා. රටේ විනය පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙලා. පාතාලය රජ වෙලා. මෙවැනි තත්වයක් ඇති වන විට රටේ පාලනය පිළිබඳව අපට තියෙන්නේ සැකයක්. මෙවැනි දේ ඇතිවන විට රටේ ස්ථාවරත්වය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ආයෝජකයෝ රටට එන්නේ නැහැ. රට අස්ථාවරයි.

ආණ්ඩුවේ ජනාධිපතිවරයා සමඟ අගමැතිවරයා හැප්පෙනවා. අගමැතිවරයා ජනාධිපතිවරයා අභීබවා කටයුතු කිරීමට යනවා. ඉතින් මේ හැප්පිල්ල තියෙනකම් රට තුළ සංවර්ධනයක් බලාපොරොත්තු වෙන්න බැරි තත්වයට පත්වෙලා. ඒ තමයි ජනාධිපතිතුමා අවුරුදු 04ක් එක්සත් ජාතික පක්‍ෂයත් එක්ක එකට ඉඳලා ඔවුන්ගේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරගෙන යන්න බැරි නිසා අපිත් එක්ක එකතු වෙලා කටයුතු කරමින් ඉන්නෙ.

2005 සිට අපි ආණ්ඩු කළා. අවුරුදු 30ක යුද්ධයක් තිබුණා. කුරුණෑගල ප්‍රදේශයේ අම්මලාගේ දරුවෝ ඒකට විශාල වශයෙන් දායක වුණා. ඒ දයකත්වය තුළින් අවුරුදු 30 ක යුද්ධය අවසන් කිරීමට හැකි වුණා. සංවර්ධනය අපි ආරම්භ කළා. අපි ණය ගත්ත එක ඇත්ත. හිස් භාණ්ඩාගාරයක් ලැබුණාම සංවර්ධනයට මුදල් නැහැ. අපට ණය ලැබුණේ ඉතා අඩු පොලියට.

අද කොන්ක්‍රීට් නැති කාපට් නැති පාරක් පුළුවන් නම් ගමක හොයලා දෙන්න.  අපි රෝහල් හැදුවා, පාසල් හැදුවා, පාසල් දරුවන්ට නව විෂය ධාරා හඳුන්වා දුන්නා. ඉස්සර තිබුණේ විද්‍යා, කලා, වානිජ්‍ය විෂය ධාරා පමණයි. අපි තාක්‍ෂණ විෂය ධාරා හඳුන්වා දුන්නා. විශ්වවිද්‍යාල 03ක් අලුතින් හැදුවා. අපි හඳපු තාක්‍ෂණ විද්‍යාගාර සමහරක් අද වනතුරුත් මේ ආණ්ඩුවට විවෘත කරගැනීම හැකි වී නැති බව කණාගාටුවෙන් වුණත් කිව යුතුයි. ඒවාට අවශ්‍ය සියලු දේ අපි ලබා දී තිබෙනවා. භාෂාගාර හැදීම තුළින් දරුවන්ට ඔවුන් කැමති භාෂාවක් ඉගෙනීමට අවස්ථාවක් ලැබී තිබෙනවා.

අපේ ආණ්ඩුව තිබුණා නම් අධීවේගී මාර්ගය හදලා ඉවරයි. අද අධිවේගී මාර්ගයට ඉඩම් පවරා ගන්නකොට එයට ගෙවන මුදල් කප්පාදු කරලා. ඔවුන්ට ලැබෙන මුදලින් ඉඩමක් ගන්නවත්, ගෙයක් හදාගන්නවත් හැකියාවක් නැහැ. ඒ නිසා මේවා ගැන සැලකිලිමත් විය යුතු යුගයත් බවට පත්වෙලා.

අද ගොවිතැන කඩා වැටිලා. ඇමතිතුමා කියනවා වී ගන්න ගබඩා සියල්ල විවෘතව තියෙනවලු. ගත්ත ප්‍රමාණය ඇහුවාම ඇමතිතුමා දන්නෙ නැහැ. වී ගන්නෙ රුපියල් 28ට. අද වී ගොවියා අනාතයි. අපි දින 52 ආණ්ඩුවෙන් පොහොර රුපියල් 500ට දුන්න නිසා තමයි වී අස්වැන්න වැඩි වුණේ. බැහැයි කියපු තෙල් මිල අපි අඩු කළා. අපි පොහොර සහනාධාරය නැවත දුන්නා. මේක කෘෂිකාර්මික ආර්ථිකයක් ඇති රටක්. කෘෂිකර්මාන්තය පිළිබඳව අපේ ඇති විශ්වාසය නිසා තමයි කෘෂිකර්මාන්තයට සහන ලබා දෙන්නෙ.

අද වේදිකාවල මඩ ගැහුවට අපේ සංවර්ධනයට ඔවුන්ට ලඟාවෙන්නවත් බැහැ. අපි හදපු පාරවල් එයාලා බලයේ හිටියානම් අපි වියදම් කරපු මුලදින් 10%කින් හදනවා කියපු මිනිස්සු අපේ ආණ්ඩුව වියදම් කලා වගේ 10 ගුණයක් වියදම් කරලා තමයි පාරවල් හදන්නෙ. මෙවැනි තත්වයක් තමයි රටතුළ තියෙන්නෙ. මේවා පිළිබඳ අවධානයෙන් සිටිය යුතුයි. අපි සංතෝෂ වෙනවා අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු කෙරහි විශ්වාසය තබා ඔවුන් ජයග්‍රහණය කරවපු එකට. ඒ වගේම ඔවුන් බැඳී සිටිනවා කොන්දේසි විරහිතව තම ප්‍රදේශයට සේවය කිරීමට.

අපි තව මාස කීපයකින් ඔක්තෝබර් වල ජනාධිපතිවරණයක් තියන්න ඕන. ජනාධිපතිතුමා ඒ සඳහා තීන්දුව ගනීවි. අපි ඉල්ලනවා පළාත් සභා මැතිවරණය තියන්න කියා. අපි අභියෝග කරනවා පළාත් සභා මැතිවරණය තබා ජනාධිපතිවරණය පවත්වන්න කියා. මැතිවරණයට බයේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරමින් මැතිවරණ කල් දමනවා. ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ මෙම ආණ්ඩුව විසින් මරා දමන බව මහින්ද රාජපක්‍ෂ මැතිතුමා මෙහිදී වැඩිදුරටත් පැවසීය

2013 – 2014 වර්ෂවල ආර්ථීක සංවර්ධන අමාත්‍යංශයේ මුදල් ප්‍රතිපාදන මඟින් මාවතගම සතිපොල ඉදිකර ඇත. 
(under the courtesy of lankacnews.com news web)

Related posts

රාජ්‍ය ආයතන 4ක් ඈවර කිරීමට ගැසට් කෙරේ

Shiran Viraj

ජාලිය වික්‍රමසූරියට රට යන්න අවසරයි

Shiran Viraj

මං ජනාධිපති වුණාම ආර්ථිකය හදනවා..- අනුර දිසානායක

Shiran Viraj