mediahumanrights.lk
LIFE LIFE NEWS News

ඉතා විෂ විය හැකි ප්‍රණීත ආහාර

මිනිසුන් විවිධ දෑ ආහාරයට ගන්නේ කුසගින්න නිවාගැනීම සඳහාම පමණක් නොවෙයි. ඒවායේ ප්‍රණීත රසයට, පෙනුමට, හා සුවඳට මිනිසුන් ආසක්ත වෙනවා. මීට අමතරව ඒවායින් ශරීරයට ලැබෙන පෝෂ්‍ය ගුණය සම්බන්ධවත් බොහෝ දෙනා සැලකිලිමත් වෙනවා.
කොයි තරම් ප්‍රණීත වුවත් යම් ආහාරයක් ශරීරයට අහිතකර නම් ඒවා දීර්ඝ කාලීනව පරිහෝජනය සුදුසු නැහැ. ඒ වාගේම යම් ආහාරයක් කොයි තරම් ගුණදායක වුවත් ඒවා රසයෙන්, සුවඳින් හෝ පෙනුමෙන් ඒ තරම් ඉහළ නැතිනම් ඒවාත් දීර්ඝ කාලීන ලෙස පරිභෝජනය කිරීමට අපි උනන්දු වෙන්නෙ නැහැ. කෙසේ නමුත් ලෝකයේ රස හා ගුණයෙන් ඉහළ යැයි සම්මත ආහාරත් හිටිවනම ශරීරයට අහිතකර වන අවස්ථාවන් තිබෙනවා. විවිධ හේතු නිසා මේවා විෂ වී මිනිසුන් මියගිය අවස්ථා පවා වාර්තා වී තිබෙනවා. සමස්ථයක් වශයෙන් ගත් විට රස හා ගුණදායී ආහාර ලෙස සැලකුණත් අවාසනාවන්ත දිනයක මාරයා පවා ළඟා කළ හැකි මේ ආහාර ගැන ඔබ දැනුවත් දැයි බලන්න.
අර්තාපල් අල
අර්තාපල් අපි නිතරම පාහේ ආහාරයට ගන්නා දෙයක්. එය කිරට, මිරිසට, මෙන්ම තෙල් දමාත් ආහාරය සඳහා පිළියෙල කෙරෙනවා. මේවා බොහෝවිට ගණන් ගැනෙන්නේ ඒ තරම් රෝගබාධ නොසාදන ආහාරයක් හැටියට යි.
කෙසේ නමුත් අර්තාපල් අල පැරණි වන විට එහි පෘෂ්ඨයෙහි කොළ පැහැති මොටෙයියන් හෝ කොළ පැහැති කොටස් මතු වී තිබෙනු ඔබ දැක ඇති. මේවා වැඩී තිබෙන අර්තාපල් සමහරු පරිහෝජනයට ගන්නේ ඒ කොටස් පිහියක් ආධාරයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව යි. කෙසේ නමුත් මේවායේ සොලනින් නැමති ග්ලයිකොඇල්කලොයිඩයක් අන්තර්ගත වන අතර ඒවා ශරීරගත වීමෙන් හිසරදය, වමනය, අතීසාරය, මස්පිඬු පෙරලීම මෙන්ම සමහර විටෙක ජීවිත හානි පවා සිදුවිය හැකි යි. මිනිස් සිරුරේ එක් කිලෝවකට ග්‍රෑම් 3 සිට 6 දක්වා ප්‍රමාණයක් තරම් වන ලෙස සොලනින් ශරීරගත වීම මාරන්තික වනවා. මේවා අර්තාපල් අලයෙහි සෙසු ස්ථාන වලට ද පැතිරී තිබිය හැකි පැවින් කිසි දිනෙක කොළ පැහැ වූ අර්තාපල් ඔබේ ආහාරයට එක් කරගන්නට එපා.
හතු
හතු බොහෝ දෙනා ආශා කරන ප්‍රණීත ආහාරයක්. එමෙන්ම ඒවා පෝෂණ ගුණයෙන්ද ඉතා ඉහළ ආහාරයක් හැටියටයි සැලකෙන්නේ. විශේෂයෙන් ඉතා ඉහළ ප්‍රෝටීන් සැපයුමක් මෙමඟින් ශරීරයට ලබා ගන්නට පිළිවන්.
කෙසේ නමුත් ලෝකයේ වැඩෙන සියළුම හතු වර්ග ආහාරයට ගැනීමට හැකි තත්ත්වයක නැහැ. ලොව හමු වන හතු වර්ග වලින් 5%ක් සැළකෙන්නේ පරිහෝජනයට කිසි සේත්ම නුසුදුසු ඉතා විෂ සහිත ඒවා හැටියට යි. කෙසේ නමුත් විෂ හතු බොහොමයක්ම ඒවායේ ඇති අප්‍රසන්න ස්වහාවයෙන් හා ගන්ධයෙන් හඳුනා ගැනීමට පිළිවන්. ගැටළුව වන්නේ සමහර විෂ හතු ස්වභාවයෙන් අපි සාමාන්‍යයෙන් එදිනෙදා වැඩිමනක්ම පරිහෝජනයට ගන්නා හතු වල ස්වරූපයම දැරීමයි. ලොව පරසිඳු පුද්ගලයින් පවා මරු වසඟයට ගත් ‘ඩෙත් කැප්’ නම් හතු වර්ගය ඊට උදාහරණ සපයනවා. මේ නිසා කිසි දිනෙක හිතුමතේට ආහාරය සඳහා හතු තේරීම නම් කරන්න එපා.
ඇපල්
ඇපලුත් විෂ විය හැකි ආහාර ගොන්නට ඇතුළු කර තිබීම ඇතැමෙකුට විමතිය ගෙන දෙන කරුණක් වේවි. තවත් සමහරු ඒවාට යොදන පරිරක්ෂක ද්‍රව්‍ය නිසා එසේ ඇතුලත් කරන්නට ඇතැයි පවසාවි. කෙසේ නමුත් කිසිදු පරීරක්ෂක ද්‍රව්‍යයක් නොයොදන ලද ඇපල් ද අතිශය විෂ වීමේ අවදානමක් තිබෙනවා.
ඇත්තෙන්ම මෙලෙස විෂ වීමේ අවදානම දරන්නේ ඇපල් ඇට යි. ඇපල් ඇට වල සුළු ප්‍රමාණ වලින් සයනයිඩ් අඩංගු අතර ඉතා විශාල ප්‍රමාණ වලින් ශරීරගත වුවහොත් වමනය හා තවත් අතුරු ආබාධ ඇති විය හැකියි. පීච් හා ඇප්‍රිකට් ඇට වල ද සයනයිඩ් යම් ප්‍රමාණ වලින් අඩංගු වෙනවා. කෙසේ නමුත් මේ නිසා ඉහත සඳහන් පලතුරු අනුභවයෙන් වැලකෙන්නට හදිසි විය යුතු නැහැ. අතුරු අබාධ ඇති වීමට තරම් ඇපල් ඇට ශරීර ගත වීමට පුද්ගලයෙකු ඉතා විශාල ඇපල් ප්‍රමාණයක් කෙටි කාලයක් තුල ආහාරයට ගත යුතු වෙනවා.
පෆර් මාළු (පේත්තයා)
මේ ආහාරය ශ්‍රී ලාංකීය අපට ඒ තරම් හුරු පුරුදු ආහාරයක් නොවුණාට ජපානයේ ඉතාමත් ප්‍රකට ආහාරයක්. පෆර් මත්ස්‍යයින්ගේ ශරීරය නිසි ලෙස සකසා ආහාරය පිළියෙල කරන අතර සුළු හෝ අත් වැරදීමක් මාරාන්තික වෙනවා.
පෆර් මත්ස්‍යයින්ගේ ශරීරයෙහි මිනිසෙකුට ඉතා දැඩි ලෙස හානි පැමිණවිය හැකි තරමේ විෂ අන්තර්ගත වන අතර, සැකසීමේ දී ඒවා සම්පූර්ණයෙන් ඉවත් කළ යුතුයි. මේවා සුළු ප්‍රමාණයෙන් හෝ ශරීරගත වීමෙන් අංශභාග තත්ත්ව ඇති විය හැකි අතර ජපානයේ ආපන ශාලා වල පෆර් මසුන් ආහාර සඳහා සකසන අරක්කැමියන්ට ඒ සඳහාම වූ වසර 3ක පුහුණුවක් ලබා දෙනවා.
මී පැණි
මී පැණි ඉතා ප්‍රණීත ආහාරයක් හැටියට මෙන්ම ආහාර කල් තබා ගැනීමට යොදා ගන්නා ද්‍රව්‍යයක් ලෙස ද අනාදිමත් කාලයක් තිස්සේ යොදා ගන්නක්. කෙසේ නමුත් පැස්චරීකරණය නොකරන ලද මී පැණි වල ග්‍රේයනොටොක්සින්ස් නම් විෂ ද්‍රව්‍ය අන්තර්ගත වී තිබිය හැකියි. මේ ධූලකය ශරීරගත වීමෙන් හිස කරකැවීම, ශරීරය දුර්වල වීම, දහඩිය දැමීම, ඔක්කාරය, හා වමනය යන සංකූලතා ඇති විය හැකි යි. සාමාන්‍යයෙන් මෙම ධූලකය අඩංගු මී පැණි තේ හැන්දක් පරිභෝජනය කිරීමෙන් පවා මෙම තත්ත්වය උද්ගත වන අතර ඉතා විශාල ප්‍රමාණ වලින් ශරීරගත වීම මාරාන්තික විය හැකියි.
මඤ්ඤොක්කා හා ඉඟුරු
මඤ්ඤොක්කා සහ ඉඟුරු එකට ආහාරයට නොගන්න යැයි වැඩිහිටියන් පවසනු ඔබ අසා ඇති. එම ප්‍රකාශයෙහි  විද්‍යාත්මක පසුබිමක් තිබෙනවා.
මඤ්ඤොක්කා අලය හා පත්‍ර සයනයිඩ් වලින් පොහොසත්. එහි අඩංගු ලිනමරීන් නම් රසායනික සංයෝගයෙහි සයනයිඩ අන්තර්ගත අතර ඉඟුරු වල අඩංගු ලිනමරේස් නම් එන්සයිමය මඟින් එය බිඳ හෙලා හයිඩ්‍රජන් සයනයිඩ් මුදා හැරීම සිදු කෙරෙනවා. මේවා මිනිස් ශරීරයට විෂදායක යි. බොහෝ විට සාමාන්‍ය තත්ත්ව යටතේ දී මඤ්ඤොක්කා වල ස්වභාවිකවම ඇති සුළු ප්‍රමාණයක් වූ ලිනමරේස් මඟින් එලෙස මුදා හැරෙන හයිඩ්‍රජන් සයනයිඩ් ප්‍රමාණය නිරෝගී පුද්ගලයෙක් කෙරෙහි අපහසුතා ඇති කිරීමට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. කෙසේ නමුත් ඉඟුරු මෙම ලිනමරේස් එන්සයිම ප්‍රතික්‍රියාවට උත්ප්‍රේරකයක් වශයෙන් ක්‍රියා කරන අතර මේ නිසා සාමාන්‍ය තත්ත්ව වලට වඩා වැඩි ප්‍රමාණයක් සයනයිඩ මුදා හැරීම සිදු වෙනවා. මෙම තත්ත්වය සංවේදී පුද්ගලයින්ට අහිතකර ලෙස බල පෑ හැකියි.

Related posts

රථවාහන රියදුරු දඩ මුදල් ඉහලට.

Shiran Viraj

පරාජයෙන් පසු ඉන්දීය ක්‍රිකට් පුහුණුකරු කණ්ඩායම හැර යයි

Shiran Viraj

රුපියල් 60ට ලොරිවලින් පොල් දෙයි

Shiran Viraj