mediahumanrights.lk
Entertainment Entertainment News News

සාරංගයි ඩිනක්ෂියි මොකක්ද මේ ආරවුල

ඔය තරම් දරුණු විදිහට තාම රණ්ඩු වෙන්නේ නැහැ. නමුත් සමහර දේවල් ගැන අපි වාද කරගන්නවා. මම හිතන්නේ ඒ වගේ අවස්ථාවකදි වඩා වැදගත් වෙන්නේ තමන්ගේ අදහස් ප‍්‍රකාශ කිරීම. මතය ප‍්‍රකාශ කළාම ඒක කතාබහ කරලා විසඳගන්න පුළුවන්


 මගේ ජීවිතේ හැම මොහොතක්ම අලූ‍ත් පිටුවක්. පිටු පෙරළි පෙරළි යනවා. ජීවිතේ එහෙම තමයි. ජීවිතේ අපි මුහුණදෙන සිදුවීම එක්ක දේවල් ඉගෙනගෙන අපි ඉදිරියට යනවා. මම කොහොමත් ජීවිතේ වෙන කෙනෙක් මත යැපෙන්නේ නැහැ


 සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප‍්‍රියසාද් කියන්නේ කලා පවුල්වලින් ක්ෂේත‍්‍රයට පිවිස තම දක්ෂතා හැකියාවලින් අතිශය ජනාදරයට පත් ජනප‍්‍රිය රංගන ශිල්පීන් යුවළක්. නමුත් මෑතක youtube ඔස්සේ ප‍්‍රචලිත වුණු සාරංගගේ සහ දිනක්ෂිගේ රණ්ඩුවක් හැමෝම අතර කතාබහට ලක් වුණා. මේ රණ්ඩුව මොකක්ද කියලා අහන්න සහ ඔහුගේ අනෙකුත් කලා කටයුතු පිළිබඳ කතාබහකට මෙවර අපි සාරංග දිසාසේකර සමඟ පිළිසඳරක යෙදුණා.

 සාරංග, මොකක්ද මේ ඔයාගෙයි දිනක්ෂිගෙයි රණ්ඩුව?

 ඒක ඇත්තටම අපේ youtube channel එකට කරපු රණ්ඩුවක්. ඒ රණ්ඩුව youtube එකේ හැමෝම දැකපු නිසා දුරදිග ගියා වැඩියි.

 සාරංගගෙයි දිනක්ෂිගෙයි youtube channel එක ගැන කියමු?

 මේ දවස්වල ටෙලිනාට්‍ය, චිත‍්‍රපටවල රූගත කිරීම් නැහැ. වේදිකා නාට්‍යත් නැහැ. රංගන ශිල්පීන් ශිල්පිනියන් විදිහට අපිට අපේ නිර්මාණ කුමක් හෝ මාධ්‍යකින් පේ‍්‍රක්ෂකයන්ට දෙන්න ඕනේ. ඉතිං අපි දෙන්නා කල්පනා කළා youtube එකේ අලූ‍ත් වැඩක් කරන්න. ඒක තමයි ඔය රණ්ඩුවක් හෝ වෙනයම් දෙයක් විදිහට හැමෝම අතර ජනප‍්‍රිය වුණේ. ඒක ඇත්තටම පෙම්වතුන් අතර නිතර දෙවේලේ සිද්ධ වෙන දෙයක්.

 සාරංගයි දිනක්ෂියි ඇත්තටම ඒ වගේ රණ්ඩු වෙනවාද?

 ඔය තරම් දරුණු විදිහට තාම රණ්ඩු වෙන්නේ නැහැ. (සිනාසෙමින්) නමුත් සමහර දේවල් ගැන අපි වාද කර ගන්නවා. මම හිතන්නේ ඒ වගේ අවස්ථාවකදි වඩා වැදගත් වෙන්නේ තමන්ගේ අදහස් ප‍්‍රකාශ කිරීම. මතය ප‍්‍රකාශ කළාම ඒක කතාබහ කරලා විසඳගන්න පුළුවන්.

 කොහොමද ඒ රණ්ඩුවට ලැබෙන පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර?

 නොහිතපු ආකාරයෙන් හොඳ පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර අපිට ලැබෙනවා. පල්ලිවල පියතුමන්ලා, මානෝ උපදේශකවරු පවා ඒක අගය කරලා තියෙනවා. ඔවුන් ඒක උදාහරණයක් විදිහට අරගෙන ලොකු පණිවිඩයක් බොහොම සරල විදිහට ලබාදෙන්න යොදාගත්තා කියලා කිව්වා. මොකද ඒ රණ්ඩු පෙම්වතුන් අතර නිතර දෙවේලේ සිද්ධ වෙන දේවල් නිසා. ගොඩක් අය අපිට කිව්වේ ”‍මටත් ඒ අත්දැකීම් තියෙනවා”‍ කියලා. ගොඩක් අයට ඒක සමීප කාරණයක් නිසා වෙන්නැති ඒක ජනප‍්‍රිය වුණේ. කාරණා නොදැන විවිධ අඩදබර ඇති වීම ගෑනු පිරිමි බේදයකින් තොරව වෙන්න පුළුවන් දෙයක්. නිර්මාණ කටයුත්තකින් මිනිස්සුන්ට මොකක්හරි යමක් කරන්න පෙළඹවීමට මාධ්‍ය අදාළ නැහැ කියන එකට මේක හොඳ උදාහරණයක් වුණා කියලා මම හිතනවා.

 කලාකාරයෝ බහුතරයක් දැන් youtube එක ඔස්සේ තමන්ගේ හැකියා දක්ෂතා පෙන්වනවා. කලාකාරයෝ youtube එකට ඇවිත් තියෙන්නේ ජනමාධ්‍ය ඔවුන්ට දෙන තැන අවම නිසාද?

 මේක ලෝක ප‍්‍රවණතාවක්. හැමෝටම දැන් youtube channel තියෙනවා. instragram ඉන්නවා. tiktok කරනවා. ඉස්සර වේදිකාවට ඇවිත් ටෙලිනාට්‍යවලට ඇවිත් සිනමාවට එන්න ඕනේ වගේ රීතියක් තිබුණා. දැන් හැමදේම වෙනස් වෙමින් පවතින කාලවකවානුවක්. මේ වගේ වසංගත තත්ත්වයකදී චිත‍්‍රපට, ටෙලිනාට්‍ය, වේදිකා නාට්‍ය කරන්න බැරි නම් කලාකරුවෝ විදිහට අපි බලනවා අපේ නිර්මාණ එළිදක්වන්න පුළුවන් මාධ්‍ය. ඒ වගේම තමයි ජනමාධ්‍යවල ඉඩ කෙසේවෙතත් මාධ්‍යවල වාරණ තියෙනවා. මාධ්‍ය ආයතනවලට අවශ්‍ය ආකාරයට හා සංස්කෘතික වාරණ එක්ක තමයි අපිට නිර්මාණ කරන්න වෙන්නේ. නමුත් youtubeවලදි ඒ සීමා නැහැ. ඒ වගේම පේ‍්‍රක්ෂකයන්ට තමන්ගේ රුචිය අනුව තෝරාබේරා ගන්න පුළුවන්.

 මුළු ලෝකයම වසංගතයක් එක්ක එක තැනක නතර වෙලා තියෙන මොහොතක කලාවත් එක තැන නතර වෙලා ඉවරයි. කලාකරුවෙක් හැටියට සාරංග මේ තත්ත්වයට මුහුණදෙමින් නැවත වැඩ ආරම්භ කරන්නේ කොහොමද?

 පරණ තත්ත්වයටම එන්න තව ටික කාලයක් යයි. නමුත් අපි කොතනින්හරි පටන්ගන්න ඕනේ. අපි හැමෝම සෑහෙන්න දුරට මේ තත්ත්වය පාලනය කරන්න උත්සාහ කළා. අපි සියලූ‍දෙනාටම වගකීමක් තියෙනවා අවශ්‍ය කරන සනීපාරක්ෂක උපදෙස් පිළිපදිමින් වැඩ කරගෙන යන්න. අපේ ක්ෂේත‍්‍රය සාමාන්‍ය කාර්යාල ජීවිතයට වඩා වෙනස්. නිතර දෙවේලේ මිනිස්සු එක්ක ගැටෙනවා. නමුත් අපි වැඩ පටන්ගන්න ඕනේ. දැනටත් අලූ‍ත් නිර්මාණවලට අපිට පිටපත් ලැබෙනවා. රටේ පවතින සාමාන්‍ය නීතිරීතිවලට ගරු කරමින් අවනත වෙමින් අපේ වැඩකටයුතු ආරම්භ කරන්න ඕනේ.

 මේ අහු අස්සේ සාරංගට දේශපාලනයට ආරාධනාවක් ආවොත් භාරගන්නවාද?

 දේශපාලනය නම් මගේ ඇෙඟ් නැහැ. කවුරුත් ආරාධනා කරල නැතුව මම කල්පනා කරලා බලලා තියෙනවා මට ඒක කරන්න පුළුවන්ද කියලා. ලංකාවේ දේශපාලනය මට හරියන්නේ නෑ කියලයි මම හිතන්නේ. මම කියන්නේ පක්ෂ දේශපාලනය ගැන. නමුත් සමාජ සේවයක් කරන්න අවශ්‍ය නම් දේශපාලනයට යන්න අවශ්‍ය නැහැ. කලාකරුවෝ විදිහට මිනිස්සුන්ට සේවය කරන්න පුළුවන්.

 ගොඩක් කලාකරුවන්ගේ ළමයි වෑයම් කරන්නේ මවුපියන් කරපු දේවල් ඉස්සරහට අරන් යන්න. නමුත් ඔබ තෝරාගත්තේ ඊටහාත්පසින් වෙනස් මාවතක්.

 මම නිවේදනයත් කරනවා. ගීතත් ගායනා කරනවා. තාත්තාගේ ගීත මම ප‍්‍රසංගවලදි ගායනා කරනවා. නමුත් ගායනයට තාත්තා තරම් ලොකු හැකියාවක් නැහැ. මට වැඩි අවස්ථා ලැබෙන්නේ සහ වැඩි කැමැත්තක් ආදරයක් තියෙන්නේ රංගනය පැත්තට කියලයි මම හිතන්නේ.

 අපි ”‍ලංසුපතිනියෝ”‍ ගැනත් කතා කරමු?

 ”‍ලංසුපතිනියෝ”‍ කියන්නේ මගේ මුල්ම ටෙලිනාට්‍ය නිෂ්පාදනය. ඒකට පේ‍්‍රක්ෂකයෝ හුඟදෙනෙක් එකතු වුණා. මේ වසංගත තත්ත්වයත් එක්ක රූගත කිරීම් නතර කරන්න වුණු නිසා විකාශය වීමත් නතර වෙලා තියෙන්නේ. මේ දවස්වල ”‍ලංසුපතිනියෝ”‍ විකාශය කරන වෙලාවට ”‍දඬුබස්නාමානය”‍ විකාශය වෙනවා. ඉන්පසුව ”‍වෙදහාමිනේ”‍ ටෙලිනාට්‍ය විකාශය වෙන්න නියමිතයි. මමත් කැමතියි අලූ‍ත් පරම්පරාවට ඒ නාට්‍ය බලන්න අවස්ථාවක් ලැබෙනවාට. ඒ නිසා වෙදහාමිනේගෙන් පසුව ”ලංසුපතිනියෝ” නැවත බලාගන්න පුළුවන් වෙයි පේ‍්‍රක්ෂකයන්ට.

 සාරංගගේ පෞද්ගලික ජීවිතේ නැවත අලූ‍ත් පිටුවක් පෙරළන්නේ කවදාද?

 මගේ ජීවිතේ හැම මොහොතක්ම අලූ‍ත් පිටුවක්. පිටු පෙරළි පෙරළි යනවා. ජීවිතේ එහෙම තමයි. ජීවිතේ අපි මුහුණදෙන සිදුවීම එක්ක දේවල් ඉගෙනගෙන අපි ඉදිරියට යනවා. මම කොහොමත් ජීවිතේ වෙන කෙනෙක් මත යැපෙන්නේ නැහැ. මිනිස්සු වෙනස් වෙනවා. තමන් ගැන විශ්වාස කරලා එන ඕනේම දෙයකට තමන්ගේ හොඳම විදිහට මූණදෙන එකයි වෙන්න ඕනේ. මගේ ජීවිතේ ගොඩක් විවෘතයි. මට හංගන්න දේවල් නැහැ. ඒ නිසා අලූ‍ත් පිටුත් ගැනත් හැමෝටම දැනගන්න ලැබෙයි.

උපුටා ගැනීම සරසවිය පුවත් පත ඇසුරෙනි

Related posts

විමල් ජාතික රෝහලේදීත් උපවාසයේ

Shiran Viraj

ප්‍රසන්න ඇතුළු ඒකාබද්ධයේ 31දෙනාට ඇප

Shiran Viraj

මම ජීවිතයේ හොඳම තීරණය ගත්තා

Shiran Viraj