Home Entertainment මා ළඟ හිටියේ නැතිනම් සනත්ට තරහා යනවා ප්‍රවීණ ගායිකා මල්කාන්ති නන්ද­සිරි

මා ළඟ හිටියේ නැතිනම් සනත්ට තරහා යනවා ප්‍රවීණ ගායිකා මල්කාන්ති නන්ද­සිරි

SHARE

අසා උතුරන මාගේ ප්‍රේමය

සතුටු කර තබනු ඇත

ඈ සදා නොවෙනස්ව

ඒ සතුට පනිනු ඇත දැල ඉරා

ට් සතුට ගෙනෙනු ඇත ඈ මුදා…

ටොල්ස්ටෝයි සෝනියා ගැන වන ප්‍රේමයෙන් හද ආතුර වෙද්දී තම දිනපොතේ මෙසේ ලියා තැබුවේ ය. ඒ, සුන්දර ප්‍රේමය අප කියවා ගන්නේ මහා පුරුෂයකුට බිරිඳක්ව නමින් මහාචාර්ය ලියනගේ අමරකීර්ති කළ පරිවර්තනයෙනි. මෙහි මුල් කෘතිය Marred to Tolstoy නමින් ලියන්නේ සින්තියා ඇක්ස්විත් ය.

අද අපේ කතා නායිකාවත් මෙතරම් ම සුපසන් ආදරයකට හිමිකම් කියන්නීය. ඒ මනල‍ෝලී ලිය අප සැම ආදරය කරන මල්කාන්ති නන්දසිරි ය. ඇය ‘මාර පරාජය’ වෙසක් නාට්‍යයේ සින්දු කියන්න විමලධර්ම ජයවීරයන්ගෙන් ලද ඇරියුමක් අනුව වරක් පාගොඩ පාරේ නිවෙසකට ගියා ය. ඒ ඇගේ මව රෙජිනා පීරිස් සමඟයි. ඇයට නොතේරෙන බසකින් කතා කළ පිරිසක් හා සර්පිනාව වාදනය කරමින් සිටි සංගීත අධ්‍යක්ෂවරයා ඉදිරියේ ඇය කිසිදු පැකිළීමකින් හෝ චකිතයකින් තොරව ගීත ගායනා කළා ය. ඇයට එදා නොතේරුණු හින්දි බසෙන් කතා කළ මේ කඩවසම් තරුණයා ඇයට යළිත් හමු වූයේ නුගේගොඩ හන්දියේදී ‘මාර පරාජය’ වේදිකාගත වන දිනයේ ය. යන්තම් වචනයක් දෙකක් ඈ ඔහු සමඟ කතා කළා ය.

ඇයට යළිත් ‘සනත් නන්දසිරි’ තරුණ අපූරු ගායකයා හමු වන්නේ ගුවන් විදුලියේදී ය. එකල තරුණියෝ සනත් නන්දසිරි කඩවසම් තරුණයාගේ ළගන්නා සුලු හඬට වශී වී සිටියහ. ගුවන් විදුලි පිටියේත් සරල ගී වැඩසටහනේත් කැපී පෙනෙන ගායිකාවක වුණු මල්කාන්තියට ගුවන් විදුලිය තම නිවෙස තරම් ම පුරුදු තැනකි. ඇය මවගේ යොමු කිරීම මත ගුවන් විදුලියේ ‘ආධුනික පැය’ වැඩසටහනට පළමු ගීතය කියන විට මයික්‍රෆෝනයට තරම්වත් උස නැත. මයික්‍රෆෝනයට කුඩා ඇය ඔසවා ළං කරන්නේ ආරියදාස පීරිස් ය. ළමා මණ්ඩපයේ නිත්‍ය ගායිකාවක වූ ඈ, සරල ගී ශිල්පිනියක ලෙස ද, නාට්‍ය විශේෂ ශ්‍රේණියේ නාට්‍ය ශිල්පිනියක ලෙස ද ශ්‍රේණිගත වූවා ය. නෙක ක්ෂේත්‍රයන්හි දස්කම් පෑ ඇයට සනත් නන්දසිරි සංගීතඥයා, ගායකයා කෙරෙහි එකල්හි තිබුණේ භක්තිය මුසු ගෞරවයකි.

“මට සනත් නන්දසිරි කියන ප්‍රතිභාපූර්ණ කලාකරුවා ගැන ඒ කාලේ හරිම ගෞරවයක් තිබුණා. අපි ගුවන් විදුලියේ ඉද්දි සංගීත ගායනා ඉවර වුණාම ආපනශාලාවට තේ‍ බොන්න යනවා. ඉතින් නිර්මලා, නිරංජලා නංගිලා හරි ආසයි සනත් එක්ක තේ බොන්න යන්න. ඇයි එක එක කෑම වර්ග ලැබෙනවානේ. ඉතින් ටික කලක් මෙහෙම ඉන්නකොට සනත්ට ගුරු පත්වීමක් ලැබුණා; ‘අම්පාර උහන මහා විද්‍යාලයට’. ඉතින් සනත් ගියා. අපි පුරුදු විදියට ම ගුවන් විදුලියේ හිටියා.”

“දවසක් අප්‍රේල් 01 වැනිදා දවසක ටෙලිග්‍රෑම් එකක් ආවා ‘සනත් අනතුරකට ලක් වෙලා අම්පාර ඉස්පිරිතාලේ නැවැත්වූවා කියලා. මේක එවලා තිබුණේ මලල්ගොඩ අයියා. මට වාවගන්න බැරි වුණා. මං කෑගහලා ඇඬුවා. එදා තමයි මට හරියට ම තේරුණේ මම මෙයාට ආදරෙයි කියලා. මම මගේ මල්ලි එක්ක ‍නුගේගොඩ ඇවිත් කාන්ති අක්කාට දුරකතන ඇමතුමක් දුන්නා. අක්කා කිව්වා මල්ලි ගැන අපිට එහෙම නරක ආරංචියක් නෑ කියලා. හොයලා කියන්නම් කිව්වා. එදා අප්‍රේල් 01 වැනිදානේ. ඉතින් අක්කා කිව්වෙ මේක විහිළුවක් වෙන්නත් පුළුවන් කියලා. ඒත් මට දරාගන්න බෑ. දවසම අඬමින් හිටියේ. ටිකක් දවල් වෙද්දි නිරංජලා නංගී කෑගහනවා “අක්කේ, අක්කේ… සනත් අයියා එනවා…” කියලා. මම කඳුළු පිහිදදාම මිදුලට දුවන් ආවා. සනත් මගේ ළඟට ඇවිත් ඇහුවා “ඔයාට දුක හිතුණද” කියලා.

“අපි ආදරෙයි, ඔයා මට කැමතිද වගේ ඒව අහලා නෑ. ඒත් අපි තේරුම් ගත්තා අපි දෙන්නට ‍අපි දෙන්නා නැතිව බෑ කියලා. ඒකට තමයි ආදරේ කියන්නේ.”

ගෙවල්වලින් විරුද්ධ වුණේ නැද්ද; මම එහෙම ඇහුවෙ ආගම් ප්‍රශ්නෙ බලපාන්නට ඇති කියලා මට හිතුණු සැකය නිසයි.

“සනත්ගෙ ගෙදරින් විරුද්ධ වුණා; මම කතෝලික. එයා බෞද්ධනෙ. ඒත් නිමල් මල්ලිත්, කුසුම් නංගිත් මට හරි ආදරෙන් හිටිය නිසා අම්මලා කැමැති කර ගන්න පුළුවන් වුණා. අපි 1971 දෙසැම්බර් 18 වැනිදා විවාහ වුණේ.

“1972 වසරෙදි අපිට පුතෙක් ලැබුණා. ඒත් එයා ජීවත් වුණේ දවස් තුනක් විතරයි. ඊට පස්සෙයි දුව උපදින්නේ. දුව තමයි අපට වාසනාව ගෙනාවෙ. ඇය නිශාමනී අනුරාධා නන්දසිරි.”

ඔබ අප සැවොම දන්නා ආදරණීය අනූරාධා ඒ පවු‍ලේ මැණික බව නොකියා කොහොමද? ඇය අප සැම වෙතම ආදරය බෙදන්නේ නිර්ලොභීව. ‘දූ අනුරාධා..’ ගීය බුද්ධදාස ගලප්පත්ති ලියන්නේ ඒ ආදරය හැමෝට ම විඳින්න ඉඩ සලසමින්.

“ඇත්තට ම මම ඉස්සෙල්ලම ආදරය කළේ සනත්ගෙ සංගීතයට; පසුව එයාට. මට ඒ දෙකම ඕන.

ඒ දෙක ම රැකගන්න ඕනෑ නිසාද ඔබ, ඔබේ ඒ දීප්තිමත් ගමන අතරමඟ නතර කළේ… මම ඇහුවා මල්කාන්තියගෙන්.

“ඔව් ඇත්තෙන් ම. මට ඒ දෙකම රැකගන්න ඕන නිසයි මම ඒ කැපවීම කළේ. මට මගේ පවුල තමයි එක. සනත්ට වගේ ම අනුරාධා මගේ දුවට මම ආදරය කරන්න ඕන; බලාගන්න ඕන; එයාලගෙ සතුට තමයි මගේ සතුට.”

ජීවිතේ පසුතැවිලි වුණු, දුක හිතුණු අවස්ථා නැතිද?

“එහෙම දේවල් ඕනෑම කෙනකුට ජීවිතේ තියෙනවා. සනත්ට ඉක්මනට තරහා යනවා. ඒත් ඊළඟ මොහොතෙ මම ඕනෑ. මම ළඟ නැත් නම් එයාට තරහයි. අපේ දුව, දුවගේ මහත්තයා අපි හැමෝම හරිම ආදරෙන් ඉන්නෙ. මට පුංචි දුකක් ඇති වුණත් මම කරන්නේ සොබාදහමට ළං වෙන එක. සතුන්ට මම හරිම ආදරෙයි. ඒ වගේම මල් වවන්න, රස කෑම හදන්න මම හරිම කැමතියි. ජීවිත ලස්සන වෙන්න නම් ඉවසීම ඕනමයි. හිත රිදුණු අවස්ථාවක වුණත් ඒක උපේක්ෂාවෙන් දරාගන්න ඒ නිසා මට පුළුවන්. මගේ ජීවිතේ එකම බලාපොරොත්තුව සනත්ව රැක ගැනීම; මගේ දුව, දුවගේ සැමියාට ආදරය දීම.”

ආපසු හැරිලා බලද්දි ජීවිතේ ගැන තෘප්තිමත් ද; මම ඇගෙන් ඇහුවා.

“ඔව්. මම හරි සතුටින් ඉන්නේ. මම කළ කැපවීමට මං අද ලබන සැනසීමම ප්‍රමාණවත්. රටක් වටිනා කෙනෙක්ට සෙවණැල්ලක් වෙන එක ලේසි දෙයක්ද? අනික මේ වගේ ආදරණීය දුවෙක් ලැබෙන එක. ඉතින් මම හරිම තෘප්තිමත්, සැනසීමෙන් යුතු ජීවිතයක් ගෙවන්නේ.

ඇගේ ඒ ආදරණීය බව නොදන්නා කෙනෙක් නැති තරම්. ඇයගේ පුළුල් බව අපට දැනෙන්නේ ඇගේ ඒ විවෘත ආදරණීය හදවත නිසා. සුවහසක් දරුවන්ට මේ ලොව මිහිරිතම දෑ වන සංගීතය ඔවුන් ලබා දෙන්නේ ආදරයත් සමඟ. කලා ලොව ඔවුන් තරම් ම ආදරණීයන් ඉන්නවාද කියා සැක හිතෙන තරමට ම ඒ ළෙන්ගතු බව විඳි මාත් ටෙනිසන් එදිරිසිංහත් ඒ නිවෙසින් නික්ම ආවේ ඔවුන්ගේ ආදරයෙන් හිත පුරවාගෙන.
( උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here