mediahumanrights.lk
Entertainment Entertainment News News

තනි ජීවි­ත­ය­කට හික්මීම අව­ශ්‍ය­­මයි ශ්‍රී ලාංකේය ව්‍යාපා­රික ලෝකයේ කාන්තා සල­කුණ ඔටාරා

1964වසරේ අගෝස්තු 30 වැනිදා ඔටාරා ඩෙල් ගුණවර්ධන නමින් නෝර්මන් ගුණවර්ධන හා ඩේලීෂියා ගුණවර්ධන යුවළට දාව උපන් ඇය මව්පියන්ගේ සහ තම වැඩිමහලුසහෝදරයින් දෙදෙනාගේ ආදරය රැකවරණයට මැදිව ඉතා නිදහසේ හැදි වැඩෙන්නීය. ඔටාරා ගේ පියා එයිට්කන් ස්පෙන්ස් ආයතනයේ හිටපු සභාපතිවරයෙකි. මව විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් පාසලක් ආරම්භ කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළාය. පියාගේ ව්‍යාපාරික ඥානය, ඒ පසුබිම හා මවගේ මානුෂීය ගති පැවැතුම්ද උරුමව හැඳි වැඩුණු ඔටාරා කුඩා කල සිටම සතුන් පිළිබඳ දැක් වූයේ මහත් ආදරයකි. කරුණාවකි. ඇගේ නිවෙසේ ලේනුන්, හාවුන් හා සුනඛයින් වෙනුවෙන් රැකවරණය ආදරය ලබා දීමට ඇය නොපසුබට වූවාය. පසු කලෙකදී ‘ඔඩෙල්‘ නමින් ඇරැඹෙන ඇගේ ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණක් වූයේද උපයන ආදායමෙන් සැලකිය යුතු මුදලක් සතුන් වෙනුවෙන් වෙන් කිරීමය. පළමුව ඔඩෙල් (ODEL) ද පසුව එම්බාර්ක් (EMBARK) ද මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයට හඳුන්වා දෙමින් ලාංකේය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ කාන්තා සලකුණ සනිටුහන් කළ ඔටාරාගේ සාර්ථකත්වය හා ජීවන ගමන ගැන මේ දිග හැරෙන මතක රසවත්ය. හරවත්ය.

ඔබේ මුල්ම රැකියාව නිරූපණ ක්ෂේත්‍රයයි?

මගේ අවශ්‍යතාව සහ ළැදියාව තිබුණේ කෑලෑවල ගත කරලා සතුන් නිරීක්ෂණය කරන්න. ඒ කාලෙදි එවැනි අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. වයස අවුරුදු 19 දි වරක් මම නිරූපණ කටයුත්තකට සම්බන්ධ වුණා. වෘත්තීය වශයෙන් අවස්ථාව ලැබෙන්නේ උසස් අධ්‍යාපන කටයුතු අවසන් කර ලංකාවට ආවාට පස්සේ.

·රැකියාවෙන් ලැබූ මුල්ම වැටුප ?

ෂෝ එකකට රුපියල් 2000ක් වගේ ලැබුණා. ඒ කාලේ එය ලොකු ගණනක්.

ව්‍යාපාර ලොවට ඔටාර පා තබන්නේ ?

නිරූපණ කටයුතුවලට සම්බන්ධ කාලේ මගේ තාත්තා නිතරම කියපු දෙයක් තමයි “නිරූපිකාවක් වුණාට කමක් නැහැ, තමන්ගේම ආදායම් මාර්ගයක්, ව්‍යාපාරයක් පටන් ගන්න“ කියලා.

·‘ඔඩෙල්‘ එහි ප්‍රතිඵලයක් ?

ඔව්. තාත්තා තමයි මගේ නමින් ලියාපදිංචි කරලා දුන්නේ. මුලින්ම විනෝදාංශයක් විදිහටයි පටන් ගත්තේ. ආයතන කිහිපයකට ටීෂර්ට්ස් හදන්න පටන් ගත්තා. ඒ කාලේ ගාමන්ට් එකක් තිබුණු මගේ යාළුවෙක් හිටියා. සමහර ඇඳුම් ඉතා අඩු මුදලකට ලැබුණා, නොමිලයෙත් ලැබුණා. මුලින්ම මගේ යාළුවෝ අතරේ වික්කා. පස්සේ මගේ පරණ කාර් එකේ ඇඳුම් දාගෙන ගිහින් කඩවලට දැම්මා.

·ව්‍යාපාරිකාවක් ලෙස ගොඩනැගෙන විට තිබූ අභියෝග?

ව්‍යාපාරයක් පටන් ගන්න විදිහ, කරගෙන යන විදිහ ගැන මට නිසි අවබෝධයක් තිබුණේ නැහැ. හැබැයි මම හිමින් ඉගෙන ගත්තා.

·වාහනයක ඇඳුම් විකිණු පුංචි ව්‍යාපාරිකාව ආයතනයක හිමිකාරිණියක් වෙන්නේ?

1988, 89 වගේ ඩික්මන් පාරේ පුංචි තැනෙකින් තමයි ඔඩෙල් ඇරඹෙන්නේ.

තාත්තා ගත් තීරණය ගැන අද මොකද හිතෙන්නේ?

එදා තාත්තා ඉදිරිය ගැන සෑහෙන්න දකින්න ඇති. ඔහු මාව එයට යොමු කළා, දිරිමත් කළා, මග පෙන්නුවා නමුත් ව්‍යාපාරය පටන් ගන්න අවශ්‍ය මුදල් දුන්නේ නැහැ. මටම හොයාගෙන පටන් ගන්න කිව්වා. අද මට හරිම සතුටුයි. ඒ තමයි මට තාත්තාගෙන් ලැබුණු හොඳම මගපෙන් වීම. සමහර විට නිකන් ලැබෙන දේ අපට අගයක් නැහැ. එදා තාත්තා සල්ලි දුන්නා නම් මම හරියට කරයිද දන්නෙත් නැහැ. තාත්තා නිසා තමයි මගේ උනන්දුව, උත්සාහය ඇති වුණේ. එයින් මට අවශ්‍ය දේ මගේ විදිහට කරලා ජයගන්න ඉගෙන ගත්තා.

·ව්‍යාපාරික ඉලක්ක වෙනුවෙන් ඔබ ජීවිතයේ බොහෝ කැප කිරීම් කරන්න ඇති?

ඒ කැප කිරීම් එකිනෙකාට වෙනස්. සමහරු නියමිත වෙලාවක් වැඩ කරලා විවේක ගන්න කැමැතියි. තවත් සමහරු තමන්ගේ වැඩ කරන ගමන්ම විනෝදංශ සහ විවේකය ගැනත් සැලකිලිමත්. තවත් අය සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නයි මුදල් හම්බ කරන්නේ. මේ දේවල් එක්ක බලද්දි මගේ ජීවිතේ ගොඩක් වෙනස්. මේ ව්‍යාපාරය නිසා මම ගොඩක් දේවල් අත්හැරියා. මගේ විවේක කාලය, විනෝදාංශ, මගේ සාමාන්‍ය ජීවන රටාව, මගේ කාලේ ගත වුණේ ව්‍යාපාරික කටයුතු ගොඩ නඟන්න. ඒ ව්‍යාපාරය රැගෙන ගොඩක් රටවලට ගියා. ඒ ඔස්සේ විවිධ අත්දැකීම් එකතු කර ගනිමින් ඉගෙනීමට අවස්ථාව ලැබුණා.

·මා දන්නා විදිහට ඔබ විද්‍යාවේදී උපාධිධාරිනියක්?

ඔව්. මගේ ඩිග්‍රි එක බයොලොජි.

·ඔබේ විනෝදාංශය ?

කැලෑවල ගිහින් ඉන්න. තැන් තැන්වල සංචාරය කරන්න. සොබා දහම, සතුන් සහ මිනිසුන් නිරීක්ෂණය කරලා අත්දැකීම් එකතු කරගන්න.

·ඔබේ විවාහය සිදු වෙන්නේ?

ආදර සම්බන්ධයකින්.

වඩාත් සංවේදී අවස්ථාව?

මගේ දරුවෝ දෙන්නා…. මට ඉන්නේ පුතාලා දෙන්නෙක්. ඔවුන් දැන් ලොකුයි. ලොකු පුතා කිරන්. පොඩි පුතා රාකේල්. මගේ දරුවෝ මේ ලෝකේට බිහි කළ මොහොත තමයි ජීවිතයේ මා වඩාත් සංවේදි කළ තැන.

·ඔවුන්ට සිටින්නේ අතිශය කාර්යබහුල මවක්. එය දරුවන්ට ගැටලුවක් නැද්ද ?

කවදාවත් නැහැ. තව වැඩි කාලයක් දරුවෝ සමඟ ගත කරන්න පුළුවන් නම් හිතුණු වාර තියෙනවා. නමුත් අදවතුරුත් ඔවුන් මට අඩුවක් කියලා නැහැ. අපි හැමෝම ජීවත් වෙන්නේ හරිම අවබෝධයෙන් සහ ආදරයෙන්. ජීවිතයට වැදගත් වෙන්නෙ ඒ එකමුතුව සහ ආදරයයි.

·ජීවිතයේ කවදා හෝ වැරැදි තීරණයක් අරන් තිබෙනවාද?

පෞද්ගලික හා ව්‍යාපාරික ජීවිතයේ එවැනි බොහෝ අවස්ථා තියෙනවා. වෙන්න තියෙන දේවල් කොහොමටත් වෙනවා. නමුත් වරක් වැරැදුණාහම ඒ වැරැද්දෙන් ඉගෙන ගන්නැතුව එකම දේ කරනවා නම් ප්‍රශ්නයක්. හොඳ හදවතින්ම ජීවිතයක් ගත කළොත් වරදින්නේ නැහැ .

·කලෙකදි ඔබ දරුවන් තනියම හදා ගන්න තීරණය කරනවා?

ඔව්. දික්කසාදයෙන් පස්සේ දරුවන් දෙදෙනා මා සමඟ ජීවත් වන්නේ. මගේ පවුලෙන් ලොකු සහයක් ලැබෙනවා. විවාහයේ වෙනසක් වුණත් අපේ යාළුකම් වෙනස් වෙලා නැහැ. එකට ජීවත් වුණේ නැතත් අපි හමු වෙලා දරුවෝ සමඟ එකට එළියට යනවා. අපේ වෙන් වීම ඔවුන්ට අඩුවක් වෙන්න දුන්නේ නැහැ. ඔවුන් මාපිය ආදරේ නොඅඩුව ලබෙනවා.

·මෙවැනි සමාජයක කාන්තාවක් ලෙස එවැනි තීරණයකට මුහුණ දීම අභියෝගාත්මක වෙන්න ඇති?

එය මගේ ජීවිතේ ඉතා අපහසු කාලයක්. හරිම සංකීර්ණයි. ඒ වගේ දේවල් බරපතළ බව අහලා තිබුණත් තමන් ඒ දේට මුහුණ දෙනකොටයි දැනෙන්නේ. මම සර්ව සම්පූර්ණ කෙනෙක් නෙමෙයි. මම කැමැති විදිහට මගේ ජීවිතේ ගත කරන්නයි උත්සාහ කරන්නේ.බොරු මවා පෑම් කරලා ජීවිතේ තවත් පටලගන්නවාට වඩා හොඳ ආත්ම ශක්තියකින් මේ දේවල් සාමන්‍ය ජීවිතයක විය හැකියි යැයි අවබෝධ කර ගන්න පුළුවන් නම් ජීවිතේ සරලව ගත කිරීම පහසුයි.

· තනිවු ගැහැනියක් මුහුණ දෙන පොදු ගැටලු ඔබටත් තියෙන්න ඇති?

එහෙම අවස්ථා තිබුණා. හැබැයි නුසුදුසු දේවල්වලට පැටලෙන්නේ නැතිව, එවැනි අවස්ථා වැඩිය සංකීර්ණ නොකර විසඳගනිමින් ඉදිරියට යන්න තමන් දැනගත යුතුයි. මම මගේ හිත පාලනය කර ගන්නවා. තනි ජීවිතයකට හික්මීම අවශ්‍යමයි.

·ඔබ ආදරය කී වරක් කරලා තියෙනවා ද?

කිහිප සැරයක්.

·ආදරයේදී වැඩියෙන්ම ලැබුණේ?

සතුට.

·ජීවිතයට සහකරුවෙක් අවශ්‍යමද?

හිටියොත් හොඳයි. අත්‍යවශ්‍යම නැහැ. එකනෙකාගේ ජීවිත අනුව එය වෙනස් වෙනවා. කිසිකෙනකුට හිංසනයක් පීඩනයක් එල්ල කරන්න කාටවත් අයිතියක් නැහැ. තව කෙනෙක් මගේ ජීවන රටාව අනුව ජීවත් වන්නේ නැහැ. සමාජය උත්සාහ කරන්නේ මිනිස්සු යම් ආකෘතියකට දාලා ඒ අනුව ජීවත් කරවන්නයි. ඒ රාමුවෙන් පිට යන මිනිස්සු වැරදිකාරයෝ විදිහට හංවඩු ගැහෙනවා.

·කටකතාවලින් ඔබ සසල වෙනවාද?

දැන් මට ඒවා බලපානවා බොහොම අඩුයි. හැබැයි කාලයක් ඒ වගේ දේවල් ඇහෙන කොට හිතට බරක් දැනුණා. හොඳ දෙයක් කරලා වැරැදි ඇහෙනකොට හදවතට ගොඩක් දැනෙනවා. දැන් අවුරුදු 54ක් වෙනකොට මම ඒ හැම දේටම හුරු වෙලා.

·ඔබ තීරණ ගන්නේ තනියමද?

මුලදී නම් තීරණයක වැඩි අදහස් මගේ. ව්‍යාපාරය ව්‍යාප්ත වී විවිධ අය සම්බන්ධ වූ නිසා ඒ අයගේ අදහස් මත තීරණ ගත්තා. පෞද්ගලික ජීවිතයේ ප්‍රශ්නයකදී මම ඒවා විසඳගන්නේ එවැනි ප්‍රශ්නවලට මුහුණ දුන් චරිත අත්දැකීම් කරගෙන. නමුත් කවදාවත් කෙනෙක් කරපු දෙයක් කොපි කරන්න බැහැ. අපි පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස්. අපි යන මාර්ග වෙනස්. ඒ නිසා සමහර අයගෙ අදහස් පමණයි ගන්න පුළුවන්. මම එය කළා.

ඔබේ ජීවිතේ පරමාදර්ශී චරිතය?

ගොඩක් අය හිටියා. අවස්ථාව හා වෙලාව අනුව ඒ පුද්ගල නාම වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා එක් කෙනෙක් නම් කරන්න බැහැ.

·ඔබට නවකතා ලියූ බව මා අසා තිබෙනවා?

යම් කාලෙකදි එහෙම හැකියාවක් තිබුණා.

·ඒ නවකතා ප්‍රකාශයට පත් නොකළේ ඇයි?

දිගටම කරගෙන යන්න තරම් වෙලාවක් තිබුණේ නැහැ. එච්චරම මොනවත් ලිව්වෙත් නෑ. එක සැරයක් ආර්ට් කළා. පොඩි පොඩි කතා ලිව්වා. ඒවා විනෝදාංශ ලෙස කළ දේවල්.

· ඔඩෙල් ආයතනය වරක් ගින්නෙන් විනාශ වෙනවා. ඔබ නැවත ගොඩනැගෙන්නේ කොහොමද?

මුල සිටම ගොඩනගා ගන්න සිදු වුණා. නමුත් එය තිබුණටත් වඩා හොඳින් අරඹන්න මට හැකි වුණා. ඒ වෙලාවේ ඒ ශක්තිය, දැනුම කොහෙන් ආවද කියන්න අමාරුයි. නමුත් බිඳවැටීම තමයි වඩාත් ශක්තිමත්ව ගොඩනැගෙන්න හොඳම අවස්ථාව.

· එම්බාර්ක් ඇරැඹෙන්නේ ව්‍යාපාරික අරමුණකින්මද?

ඔඩෙල් ඇරැඹෙන්නේ සතුන් බලා ගැනීමේ සහ උදව් කිරීමේ අරමුණෙන්. එම්බාර්ක් සතුන් ගැන මට තිබෙන ආදරය නිසාම ගොඩනැගුණු ව්‍යාපාරයක්.

· සතුන් සේම පරිසරය සුරැකීමට ඔබට අනාගත වැඩපිළිවෙලක් තිබෙනවාද?

මෑත කාලයේ පරිසරය ඉතා විශාල ලෙස විනාශ වෙනවා. අපි සංවර්ධනය ගැන කතා තරනවා. නමුත් වහින්නේ නැහැ. ගම්වල මිනිස්සුන්ට වතුර නැහැ. මිනිස් ජීවිතවල මෙවැනි ප්‍රශ්න ඇති වෙන්නේ ඇයි? සංවර්ධනය වෙනවා නම් සියලු දෙනාට එක වගේ හොඳ ජීවිතයක් ගත කිරීමට හැකියාවක් තිබිය යුතුයි. නාගරික ජීවිත හොඳ වුණාට බහුතරයක් ජීවිත ප්‍රශ්න ගොඩක. පිරිසුදු වාතය හා ජලය සුරැකිය යුතුයි. සොබාදහම සම්බන්ධයෙන් දැන් ඉන්නේ හැරවුම් ලක්ෂයක. අපි එක්ව මෙය වෙනස් කළ යුතුයි.

·ඔබේ දියුණුවේ රහස?

ව්‍යාපාරයකදි මුල සිටම ඒ සමඟ බැඳුණු විවිධ පුද්ගලයින් ඉන්නවා. ඒ ජීවිත කොපමණ වැදගත් ද යන්න කල්පනා කළ යුතුයි. ඒ වගකීම මං කවදාවත් අමතක කළේ නෑ. මං උත්සාහ කරන්නෙ මට වඩා අනෙක් අය ගැන හිතන්න. ඒ සිතිවිල්ල මිනිස්සුන්ට පමණක් සීමා වී නැහැ. සතුන් සහ පරිසරයටත් අදාළයි. අද මුළු ලෝකෙම ප්‍රශ්න වැඩි වෙන්නේ ආත්මාර්ථකාමී බව නිසා. පරාර්ථකමී වෙන්න හැම කෙනෙක්ම උත්සාහ කළ යුතුයි.

·මෙතෙක් ආ ගමන ආපසු හැරී බැලුවොත්?

දැනට කරලා තියෙන දේවල් ගැන ගොඩාක් සතුටුයි. අතීතයට වඩා වර්තමානය සහ ඉස්සරහට වෙන දේ ගැනයි මම විමිසිලිමත් වෙන්නේ. අද ඉන්න ස්ථානය තමා වැදගත්. ඒ නිසා අද ගැන මම තෘප්තිමත්.

( උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි )

Related posts

දිනකට ඩොලර් ලක්‍ෂ 30ක් ඉතිරියි.. විද්‍යුත් ත‍්‍රීවීල් පාරට…

Shiran Viraj

රට රත් කර ජනප්‍රියත්වය අඩු කරන ක්‍රමය ගම්මන්පිල හෙළි කරයි

Shiran Viraj

කොරෝනා පාලනයට අප ගත් සියළු ක‍්‍රියාමාර්ග වතුරේ ගියා..- ඉහලම සෞඛ්‍ය බලධාරියා කියයි..

Shiran Viraj