Home LIFE ආහාර වේලට පෝෂණීය වෙනසක්

ආහාර වේලට පෝෂණීය වෙනසක්

SHARE

සමාජයේ එක් පිරිසකට ප්‍රිය මාංසපේශීන්ගෙන් පිරිපුන් සිරුරක් හිමි අයයි. මේ අතරේ ඉඟසුග මිටින් ගත හැකි ලාලිත්‍යයෙන් අනූන සිරුරක් අගයන පිරිසද ඕනෑතරම්. ‘ස්ලිම් ෆිගර්’ නැත්නම් ‘සිහින් සිරුර’ මෑත කාලයේ නැඟුණ රැල්ලයි.

අනුන්ගේ වුවමනාවට වේවා තමන්ගේ වුවමනාවටත් වේවා සිරුරේ තරම ගැන සිතීමේදී අඩුවැඩි කරගන්නේ අප ගන්නා ආහාර පානයි. අලුත්ම රැල්ල වන ‘ස්ලිම් ෆිගර්’ සමඟ වේල් ගණනාවක් නොකා සිට එක් වර ප්‍රෝටීන් අධික ආහාර ගබඩාවක් ආමාශයේ පුරවා ගැනීම අලුත්ම ප්‍රවණතාවයි.

ශක්තිය, වර්ධනය, ආරක්ෂාව ආහාර මඟින් සිරුරට සැපයෙන සුවිශේෂී මෙහෙයන්. මවුකුසේ කලලයන් ලෙස වැඩෙද්දීත්, පියවර ඔසවන්නට පටන් ගත්දා සිට නව යෞවනය දක්වාත් සිරුර වඩන ආහාර වැඩිපුර අවශ්‍යයි. වයස අවුරුදු විස්ස තෙක් සිරුර සීඝ්‍ර ලෙස වැඩෙනවා. එහෙත් ඩයට් කිරීමට පෙලඹෙන්නන් අතර නව යෞවන යෞවනයන් ද සිටිනවා. සීඝ්‍ර වර්ධනයක් සිදුවන කාලයට වැඩිපුර අවශ්‍ය ප්‍රෝටීන සපිරි ආහාරයි.

සිරුරේ ගෙවුණු කොටස් නැවත ලබා ගන්න, රෝගවලින් ආරක්ෂා වෙන්න, ජීව ක්‍රියාවලීන් සමායෝජනයට, ආරක්ෂක ආහාර වන ඛනිජ ලවණ අවශ්‍යයි. තන්තු පෝෂණයට අදාළ නොවුණද සිරුරට ආරක්ෂක ආහාරයක් ලෙස ඉතා වැදගත් වනවා. කාබෝහයිඩ්‍රේට්වලින් ශක්තිය ලැබෙද්දී ප්‍රෝටීනවලින් වර්ධක පෝෂක ලැබෙද්දී ඛනිජ තන්තු මඟින් ආරක්ෂාව සැලසෙනවා.

උදේ, දවල්, රෑ තුන්වේලම වැදගත්. මේ ප්‍රධාන ආහාර වේල් දෙකට අමතරව කෙටි ආහාර දෙකක්ද ගන්න පුළුවන්. ඊට අතිරේකව දෛනිකව පලතුරු ද එක් කළ යුතුයි.

දිනකට එළවළු, පලතුරු වර්ග පහක් කෑමට ගත යුතු බව වෛද්‍ය නිර්දේශයයි.

උසට සරිලන බරකින් යුතු නිරෝගී පුද්ගලයකුට පිඟානෙන් අඩක් ශක්තිය ලබා දෙන ආහාරවලින් (ධාන්‍ය, බත්, බඩඉරිඟු, පොත්ත සහිත තිරිඟු, බාර්ලි, ඔට්ස් වැනි) පුරවා ගන්න පුළුවන්.

බත් නැතිව පිටි හෙවත් කාබෝහයිඩ්‍රේට් සපිරි අල, බතල, කොස්, අළු කෙසෙල් වැනි ආහාරයක් ගන්නවා නම් ගත යුත්තේත් පිඟානෙන් අඩක් පමණයි.

අප කාටත් ශක්තිය ලබාදෙන ආහාර ඈත් කරලම ජීවත් වෙන්න බෑ. අප නිදා සිටියත්, ඇවිද්දත්, පසෙකට වී බලා සිටියත් ශක්තිය ඕන. සිරුර වෙහෙසන වැඩක යෙදෙනවා නම් වැඩිපුර ශක්තිය අවශ්‍යයි. පිඟානක අඩක්ම පිටි සහිත ආහාරවලට වෙන් කරන්නේ ඒ නිසයි. ඉතිරි අර්ධයේ 2/3 පිරවිය යුත්තේ එළවළු හා පලාවලින්. 1/3 ක් මස් මාංස, කිරි, ඇට වර්ග, කඩල පිටි, කව්පි, කඩල, පරිප්පු වැනි ප්‍රෝටීන පිරි ආහාරවලට වෙන් කළ යුතුයි. පලතුරුද මේ කොටසට අයත් වෙනවා.

කෙනකුගේ බර අඩුනම් පිඟානෙන් සියයට 60 ක් වගේ බත්, අල වගේ පිටි සහිත ආහාරවලට වෙන් කරන්න. එවැන්නන් තෙල් වැනි ශක්තිජනක ආහාර එක්කර ගත යුතුයි. විටමින් ඒ, ඩී, ඊ, කේ වැනි වැදගත් විටමින දියවෙන්නේ තෙල්වලයි.

ආහාර වේල් තුනටම අප භාවිත කළ යුත්තේ තෙල් ග්‍රෑම් 50 – 80 ක් වගේ ප්‍රමාණයක්.

ප්‍රෝටීන මිථ්‍යාව

බර වැඩි කෙනකුට නම් බත් පිඟානෙන් කාලකට පිටි ආහාර සීමා කළ යුතුයි. (උදා: ශක්තිය දෙන අල, බතල, කොස්) ඉන් අඩක් එළවළු, පලා සඳහාද ඉතිරි කාල මාළු, ඇට වර්ග, සත්ව ශාක ප්‍රෝටින පිරි ආහාරවලටද වෙන් කළ යුතුයි.

මාළු, ඇට වර්ග වැනි ප්‍රෝටීන සපිරි ආහාර නිසා ඉක්මනින් කුස ගිනි දැනෙන්නේ නැහැ. ප්‍රෝටීන ආහාර ගත් විට ආහාර ජීර්ණය වීමේ වේගය අඩුයි.

ඒත් කවුරුන් හෝ බත් වෙනුවට විශාල මාළු හෝ මස් කෑල්ලක් පමණක් ගතහොත් සිරුරට අවශ්‍ය ශක්තිය ලබා ගන්න ප්‍රෝටීන බිඳ වැටිලා ශක්තිය බවට පත්වෙනවා. ශරීරයට මුලින්ම අවශ්‍ය ශක්තියයි. වර්ධනය ගැන ක්‍රියා කරන්නේ දෙවැනුවයි.තෙල් ආහාර ගත්තත් සිදුවන්නේත් තෙල් බිඳ වැටිලා ශක්තිය බවට පත්වීමයි. එවිට බර අඩුවෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here