mediahumanrights.lk
Business Business News News Political

නෙළුම් කුළුණ විවෘත කලාට මහජනතාවට ඒ ගැන සතුටක් දැනෙනවාද…

නෙළුම් කුළුණ විවෘත වන අද දවසේ මහජනතාව ලෙස ඒ සම්බන්ධව සතුටක් දැනෙනවාද? යන ප්‍රශ්නය 43 සේනාංකය සියලුම ජනතාවගෙන් ප්‍රශ්න කර සිටි.

‘ජන දුක නිවීමට මේ ආණ්ඩුව අසමත්’ යන්න යටතේ 43 සේනාංකයේ පවත්වනු ලැබූ මාධ්‍ය සාකච්ජාවකදී මේ පිළිබඳව ප්‍රශ්න කෙරිණි.

මේ සඳහා 43 සේනාංකයේ මුදල් ලේකම් සුමේධ රත්නායක මහතා, විධායක සභික වෛද්‍ය/නීතිඥ ප්‍රියංකර මහගම්මුල්ලගේ මහතා හා විධායක සභික ප්‍රියදර්ශනී ආරියරත්න මහත්මිය සම්බන්ධ විය.

එහිදී අදහස් දැක්වූ මුදල් ලේකම් සුමේධ රත්නායක මහතා;

අද රටේ ඇතිවී තිබෙන ආහාර වල මිල සහ ඖෂධ සම්බන්ධ ගැටලු පිළිබඳව රජයකට වගකීමක් තියෙනවා. අද ආහාර මිල සංසන්දනය කරලා බැලුවොත්, අපි උදාහරණයක් විදිහට 2020- 2022 වසර වලට අදාලව හදපු වගුවක් තියෙනවා.

සම්බා 1Kg – රු.98.00 – රු.240.00
නාඩු 1Kg – රු.96.00 – රු.220.00
බෝංචි 1Kg – රු.280.00 – රු. 660.00
වියළි මිරිස් 1Kg – රු.480.00 – රු.1720.00
බිත්තර 1ක් – රු.21.00 – රු.48.00

මට මතකයි 1972 මං ඉස්කෝලේ යන කාලෙදි පන්තිය පටන් ගන්න කලින් හැමදාම ඒ දරුවන්ගෙන් අහනවා උදේට කෑම කාලද ආවේ කියලා. ඒ දරුවෝ උත්තර දුන්නේ නැහැ කියලා. දැන් අවුරුදු 50ක් ගිහිල්ලා අදත් ලංකාවේ දරුවන් ඒ තත්වයේමයි ඉන්නේ. අපේ රටේ අධිවේගී මාර්ග, නෙළුම් කුළුණු තියෙනවා. නමුත්, දරුවන් සහ ජනතාවගේ තත්වය ඒකයි. යුනිසෙෆ් සංවිධානය කියනවා ලංකාවේ පවුල් 10ක් ගත්තොත් පවුල් 7ක්ම තමන්ගේ ආහාර ප්‍රමාණය අඩු කරලා තියෙනවා කියලා. මේක වැඩියෙන්ම බලපාලා තියෙන්නේ දරුවන්ට. ලංකාවේ ලක්ෂ 17ක් දරුවෝ ඉන්නවා. ඒ ලක්ෂ 17න් මන්ද පෝෂණ මට්ටම මේ වන විට 48.2% වෙලා තියෙනවා. ලෝකයේ වැඩිම මන්දපෝෂණයක් තියෙන රට තමයි, සෝමාලියාව. සෝමාලියාවේ ඒ ප්‍රතිශතය, 50.2%යි. අපි 3%යි අඩු. 48.2%ක් අඩු බර දරුවන් කියන්නේ ලංකාවේ ලක්ෂ 08 අඩුබර දරුවන්. මේක ඉතාම බරපතල සෞඛ්‍ය ප්‍රශ්නයක්. අනාගත පරම්පරාව, පෝෂණය නොලැබුණු කොටසක් බවට පත්වෙනවා.

බහුතරයක් ජනතාවගේ ආදායම් මට්ටම රුපියල් 40,000. අනිත් පැත්තෙන් බඩු මිල ඉතාම විශාල වශයෙන් වැඩි වෙලා. ‘ගුරු විදුහල්පති එකමුතුව සංවිධානය කියනවා රට තුළ බොහෝ දරුවන් පාසල් එන්නේ ආහාර නැතුව කියල. පොහොට්ටුවේ එක මන්ත්‍රීතුමියක් කියනවා “බත් කන්න ඕනේ නැහැ, වේල් තුනටම” කියලා. ඒක ඇත්ත. බත් කන්න ඕනේ නැහැ පෝෂදායි, මස්, මාළු, බිත්තර ආහාර ගන්න පුළුවන් නම්. නමුත් අද වෙලා තියෙන්නේ අවම මුදලකට හාල් කිලෝවක් අරගන්න බැරි තත්වයකට පත්වෙලා. ඒ නිසා පාරිභෝගික අධිකාරිය මැදිහත් විය යුතුයි මේ සඳහා. ඖෂධ වලත් අති විශාල හිඟයක් රටේ තියෙනවා. රජය ඖෂධ සැපයුම්කරුවන්ට රුපියල් බිලියන 32 මුදලක් ගෙවන්නට තියෙනවා. ඉන්දියානු ණය යටතේ ඖෂධ ගන්න මුදල් ලැබිලා තියෙනවා. මේ මුදල් ඖෂධ ගන්න භාවිතා කරලා නැහැ. මොකද ඖෂධ ඉන්දියාවෙන් අඩු ගණන් වලට ගන්න පුළුවන් වුණත් බලපත්‍ර නිකුත් කරලා නිසා රජය මැදිහත් වෙන්න පැකිලීමක් දක්වනවා. මේ වගේ අවදානම් අවස්ථාවක, රජයට පුළුවන් තමන්ගේ බලතල පාවිච්චි කරලා අඩු මුදලට ඖෂධ ආනයනය කිරීම සඳහා කටයුතු කරන්න.

ඉන් අනතුරුව අදහස් දැක්වූ විධායක සභික වෛද්‍ය/නීතිඥ ප්‍රියංකර මහගම්මුල්ලගේ මහතා;

අද නෙළුම් කුළුණ විවෘත කරනවා. අපි කාටවත් ඒ සම්බන්ධව සතුටක් දැනෙනවද කියලා මම මේක බලන ඔබගෙන් අහන්න කැමතියි. රටේ තත්වේ කොහොමද මේ වගේ දේවල් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා අහන්න වෙනවා මුලින්ම.

අද වන විට රෝහල්වල බෙහෙත් හිඟයි. තිබෙන බෙහෙත් මිල අධිකයි. සාමාන්‍යයෙන් 500% – 600%කින් වැඩිවෙලා. අපේක්ෂා රෝහල වගේ විශේෂිත රෝහල්වල, ලේඩ් රිජ්වේ, ප්‍රාදේශීය රෝහල් වල බෙහෙත් නැහැ. නිල වෙබ් අඩවි වලින් බලන්න පුළුවන්, බෙහෙත්වල තත්වය මොකක්ද කියලා.

හැමදේම වැඩිවෙලා තියෙද්දී ඔබ කොතනින්ද පුළුවන් තමන්ගේ ජීවන රටාවේ අඩුපාඩුවක් කරන්න. අනිවාර්යෙන් ඔබට සිද්ධ වෙන්නේ ආහාර හෝ බෙහෙත් දිහාට අවධානය දෙන්න. අවසානයේ මොකද වෙන්නේ? ඖෂධ ගන්නේ නැති තත්වයට මිනිස්සු පෙළඹිලා තියෙනවා. එය ආකාර 2කින් වෙන්න පුළුවන්. එකක් තමයි ඖෂධයේ ප්‍රමාණය ගන්නේ නැහැ. දෙවෙනි ක්‍රමය සති දෙකකට බෙහෙත් ගන්න කිව්වම සතියකට බෙහෙත් අරන් ඉන්නවා. සිද්ධ වෙන්නේ මොකක්ද? කපන්න පුළුවන් තැන බලන්න වෙනවා තමන්ගේ වියදම. බෙහෙත් වලින් තමයි මිනිස්සුන් තමන්ගේ කැප කිරීම කරන්නේ. මේක අවසාන වශයෙන් අපේ රටේ නිෂ්පාදනයට, මිනිස්සුන්ගේ ජීවිත වලට, පවුල් ඒකකවලට බලපානවා. දැන් ඖෂධ සම්බන්ධව වගකියන්න ඕන සෞඛ්‍ය අමාත්‍යංශය, ඖෂධ ගබඩාව, SPC , ඖෂධ නියාමන අධිකාරිය අතර කිසිම සම්බන්ධයක් නැහැ. මිනිස්සු මැරෙනවා. අමාත්‍යංශ නිලධාරීන් ඇවිල්ලා ඔවුන්ට තියෙන ප්‍රශ්න කියනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා රාජ්‍ය පාලනය කරන පොහොට්ටු කණ්ඩායමේ දූෂිත නිලධාරීන් තමයි තවමත් මේ ආයතනවල ඉන්නේ. පහුගිය අවුරුදු පහේ විගණන වාර්තා වල චෝදනා තියෙන නිලධාරීන් මුල් පුටුවල ඉන්නේ. මොවුන්ට කොමිස් කුට්ටි එනවා. මේක කවුරුත් දන්නේ රහසක්. තනිකර හොර ගුහා. තාක්ෂණය පාවිච්චි කරන්නේ නැත්තේ ඇයි? සම්පූර්ණයෙන්ම ගල් යුගයේ ක්‍රමේට තමයි වැඩ කෙරෙන්නේ.

පුද්ගලික ප්‍රශ්න වැඩි නිසා හැමෝටම එළියේ කතා වෙලා සංවිධානගත වෙන්න බැරිකමක් තියෙනවා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අනාගතයේදී මේක මතුවෙලා එන්න නියමිතයි. ආණ්ඩුවේ ඖෂධ යම්කිසි සහන මිලකට මිනිස්සුන්ට ගන්න ලෑස්ති කරලා දෙන්න. අත්‍යවශ්‍ය ඖෂධ ටික ලබා දෙන්න.

ඉන් අනතුරුව අදහස් දැක්වූ විධායක සභික ප්‍රියදර්ශනී ආරියරත්න මහත්මිය;

රටේ දරුවන්ට මන්දපෝෂණය, රක්තහීනතාවය, දරුවෝ කියන්නේ රටේ අනාගත පරම්පරාව. ආණ්ඩුවේ වගකීම වෙන්න ඕන, සෞඛ්‍ය සම්පන්න, නිරෝගී බුද්ධිමත් දරු පරපුරක් දායක කිරීම. එහි මූලිකම අවශ්‍යතාවය ආහාර සහ බෙහෙත්. නමුත් පෝෂ්‍යදායි ආහාරයක් ගන්න බැරිවෙලා තියෙනවා. මේ රැකියාවක් කරලා ස්ථිර ආදායමක් ලබන පවුලක තත්වය. එදිනෙදා කුලී කරන පවුල්වල බොහෝ දුරට කුලිය ලැබෙන්නේ නෑ. කුලී වැඩ නැති වෙනකොට ආදායමක් නැහැ. මොනවා හරි දෙයක් තියෙන දෙයක් තම්බගෙන කාලා තමයි ජීවිතය ගැටගහන්නේ. ඉතින් මෙවැනි තත්වයකට රටේ ජනතාව පත් කරන්න නම් ආණ්ඩුවක් අවශ්‍යද?

රජයක් විදිහට හඳුනාගත යුතුයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මොනවා ද? අවශ්‍යප්‍රමාණය කොපමණද? මේ සඳහා මිල පාලනයක් අවශ්‍යයි. අතරමැදියාගේ ගසා කෑමෙන් තොර ගොවියාටත් සාධාරණයක් වෙන විදිහට පාරිභෝගිකයා වෙත ලැබෙන ක්‍රමවේදයක් සකස් කල යුතුයි.කාන්තාවන්ගේ සහ මව්වරුන්ගේ නීරක්තිය, මන්දපෝෂණය අනාගත පරපුරටම, රටටම බලපානවා. ඒ නිසා රජයේ වගකීම තමයි මේ සැඟවිලා තියෙන සාගතයෙන් මේ රට බේරා ගැනීමට වහාම ඉදිරිපත් වීම.

– Media unit

Related posts

විශ්වවිද්‍යාල කඩයිම් ලකුණු මැයි මාසයේ එයි

Shiran Viraj

මා බලය ගන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදීවයි.. සන්නද්ද අරගලයකින් නොවේ..- උවිදු

Shiran Viraj

අංක තහඩු නැති කැබ් රථයකින් ඇවිත් රැළියට යන බස් රථයකට පහරදෙයි

Shiran Viraj