mediahumanrights.lk
Entertainment Entertainment News News

සමාජ සත්කා­රය වෙනු­වෙන් ම කැප වූ විෂම භාග

ලලිත් රත්නායකයන් අධ්‍යක්ෂණය කළ, ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ ප්‍රථම නිෂ්පාදනය වූ විෂම භාග චිත්‍රපටය බොහෝ අන්තර්ජාතික සම්මානවලට පාත්‍ර වූ චිත්‍රපටයක්. එය නිෂ්පාදනය කළ ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ ගරු අනුශාසක පූජ්‍යපාද අළුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේ සමඟ විෂමභාග චිත්‍රපටය පිළිබඳව අපි මෙසේ සාකච්ඡා කළෙමු.

ස්වාමීන් වහන්ස, ශ්‍රද්ධා නාළිකාව ගැන අප දන්නේ ධර්ම ප්‍රචාරයට මුල් වූ නාළිකාවක් ලෙසයි. චිත්‍රපටයක් නිෂ්පාදනයනට මුල් වූ හේතුව කුමක් ද?

අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ශ්‍රද්ධා රූපවාහිනිය ආරම්භ කරලා මේ වන විට වසර හතකට ආසන්න වෙලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේගේ නිර්මල ශ්‍රී සද්ධර්මය විකෘති නොකොට සමාජගත කිරීම තමයි ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ ප්‍රධානතම අරමුණ. ඒ වගේම මේ කාලය තුළදී මනුෂ්‍යයාට ඉතාම සමීප, සාහිත්‍යමය වටිනාකමින් යුතු විෂයන් ඔස්සේ නිර්මාණයක් සිදු කිරීමට උත්සාහ ගත්තා. එනිසා සම ශ්‍රද්ධා නාළිකාව ගෙවුණු වසර කිහිපය තුළදී ලංකාවේ පැවැති සම්මාන උලෙළලදී බොහෝ වැඩසටහන් උදෙසා සම්මානයට පාත්‍ර වුණා.

මනුෂ්‍ය වර්ගයාට යහපත සැලසීම සඳහා කලාව කියන ක්ෂේත්‍රය අතිශය ප්‍රබල මාධ්‍යයක්. එනිසා ශ්‍රද්ධා මාධ්‍ය ජාලය එවැනි මං මාවත්, දොරටු කල්පනාකාරීව, ප්‍රයෝජනවත් අයුරින්, වීමංසනයෙන් යුතුව භාවිත කරන්න මූලිකත්වය ගන්නවා. එහි එක් පියවරක් ලෙසයි මෙම චිත්‍රපටය නිර්මාණය කිරීමට පෙලඹුණේ. එය ඉතා සාර්ථක වෙලා තිබෙනවා.

මේ වන විට විෂමභාග චිත්‍රපටය විශාල වශයෙන් අන්තර්ජාතික ඇගයීමකට පාත්‍ර වී තිබෙනවා. ඒ ඇගයීම ගැන සිහිකළොත්?

ලංකාවේ ඉතිහාසය තුළ අන්තර්ජාතික සම්මාන උලෙළලදී වැඩිම සම්මාන, නාම යෝජනා සහ නිල තෝරාගැනීම් ප්‍රමාණයක් ජයග්‍රහණය කළ සිංහල සිනමා කෘතිය බවට විෂමභාග පත්වෙලා තිබෙනවා. එය ඉතාමත් ප්‍රීතියට කරුණක්. අපි අන්තර්ජාතිකව ඕස්ට්‍රේලියාවේ, නවසීලන්තයේ ආදී රටවල මංගල දර්ශන පැවැත්වූවා. ඒ රටවල්වල පදිංචි සිංහල ප්‍රේක්ෂකයන්ගෙන් එහිදී විශාල ප්‍රතිචාරයක් ලැබුණා. එහිදී ඔවුන් පැවසුවා මේ විෂමභාග චිත්‍රපටය ඔවුන්ගේ සිත් පැහැරගත් බව. ඒ වගේම එහි පදිංචි සිංහල භාෂාව කතා කිරීමට නොහැකි දරුවන් පවා ඉංග්‍රීසි උපසිරැසි සහිතව විකාශය වූ නිසා මෙම චිත්‍රපටයට බො‍හෝ සංවේදී වුණා.

ඒ ‍වගේම 50 වන වරටත් 2019 වසරේදී ගෝවේහිදී පැවැත්වෙන ලොව සුප්‍රකට (IFFI) ඉන්දියානු අන්තර්ජාතික සිනමා උලෙළේදී Soul of Asia (ආසියාවේ ආධ්‍යාත්මය) වර්ගීකරණය යටතේ විෂමභාග සිය දකුණු ආසියානු මංගල දැක්ම පවත්වා තිබෙනවා.

එමෙන්ම එංගලන්තයේ ලන්ඩන් ගෝල්ඩ් මූවී අවෝඩ් සිනමා උලෙළ, ගෝවේ ඉන්දියානු අන්තර්ජාතික සිනමා උලෙළ ඇතුළුව භූතානය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, තායිලන්තය, ආජන්ටිනාව, බ්‍රසීලය, රොමේනියාව, සයිප්‍රස්, පෝලන්තය, නයිජීරියාව, ඉතාලිය, රුසියාව ආදී රටවල් ගණනාවක අන්තර්ජාතික සිනමා උලෙළවලදී සම්මාන විශාල ප්‍රමාණයකට විෂමභාග පාත්‍ර වුණා. බෙස්ට් පික්චර් සම්මානය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම ප්‍රථම අධ්‍යක්ෂණය, හොඳම යොවුන් නළුවා, හොඳම සහය නළුවා, හොඳම සහය නිළිය, හොඳම කැමරා අධ්‍යක්ෂණය, හොඳම සංගීත අධ්‍යක්ෂණය, හොඳම ප්‍රථම සිනමාකරණය, හොඳම වෘතාන්ත චිත්‍රපටය, හොඳම කණ්ඩායම් ප්‍රතිභානය, හොඳම කලා අධ්‍යක්ෂණය, හොඳම ශබ්ද නිර්මාණය, හොඳම සංස්කරණය, හොඳම නිෂ්පාදනය ආදී සම්මානයන්ගෙන් පිදුම් ලැබුවා. ඒ නිසා විෂමභාග සුවිශේෂී සිනමා කෘතියක්.

විශාල වශයෙන් වියදම් කළත් බොහෝ චිත්‍රපට සිතන තරමට ලාභ උපයන්නේ නැහැ. විෂමභාග චිත්‍රපටයට ඒ කඩුල්ල පසුකරන්නට පුළුවන් වේවිද?

ලංකාවේ චිත්‍රපට කර්මාන්තය ඉතා ශීඝ්‍රයෙන් පරිහානියට පත්වුණේ ඉතා බාල වර්ගයේ චිත්‍රපට නිෂ්පාදනය වූ නිසයි. එම නිසා යහපත් රසාස්වාදයකට කැමති ප්‍රේක්ෂකයන් සිනමාවෙන් ඈත් වුණා. දරුවන්ට ආදර්ශයක් දෙන චිත්‍රපට අඩු වුණා. පවුලේ සියලු දෙනාටම එකට ඉඳගෙන බලන්න පුළුවන් චිත්‍රපට නිෂ්පාදනය වුණේ නෑ.

විශේෂයෙන්ම අප සිහිපත් කළ යුතුයි, මෙම චිත්‍රපටය නිෂ්පාදනය කළේ අප වෙනුවෙන් මූල්‍යමය ලාභ ලබාගැනීම පිණිස නොවෙයි. මෙහි එකම අරමුණ විෂමභාග චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමෙන් ලැබෙන සියලු ලාභයෙන් වකුගඩු රෝග ව්‍යාප්ත වී ඇති ප්‍රදේශවල පිරිසිදු පානීය ජල පිරිපහදු මධ්‍යස්ථාන ඉදිකරලා වකුගඩු රෝග ව්‍යාප්ත වීම වැළැක්වීම යි. ඒ නිසා යම් තාක් වැඩි ප්‍රේක්ෂක පිරිසක් මේ චිත්‍රපටය නරඹනවා ද, එයින් ලැබෙන සියලු ලාභය හිමිවන්නේ මේ රටේ ජීවත් වන අහිංසක, අසරණ අපේ ම සහෝදර ජනතාවට යි.

ඉතින් ඒ ඉලක්කය කරා යන්න පුළුවන්කම ලැබෙන්නේ සහෘද ප්‍රේක්ෂක ජනතාවගේ ප්‍රතිචාරය මත. ලංකාවේ එදා මෙදා තුර බිහිවුණ චිත්‍රපට අතර වැඩිම අන්තර්ජාතික සම්මාන ප්‍රමාණයකින් පිදුම් ලැබූ මෙම චිත්‍රපටය ගැන අහන්න ලැබුණාම සිනමාවට ආදරය කරන පිරිස මොකක්ද මේ චිත්‍රපටය කියලා හැරී බලනවා. ලංකාවේ ඊ.ඒ.පී මණ්ඩලයේ සිනමාහල් ප්‍රධාන කරගෙන තවත් සිනමාහල්වල විෂමභාග චිත්‍රපටය ප්‍රදර්ශනය කරනවා. විශේෂයෙන්ම අපි හිතනවා අපේ රටේ සෑම ගුරුවරයෙක් ම, සෑම දරුවෙක් ම, සෑම වැඩිහිටියෙක් ම නැරඹිය යුතු චිත්‍රපටයක් තමයි විෂමභාග කියන්නේ. අපේ රටේ අධ්‍යාපනයේ විෂමතා ගැනයි මෙම චිත්‍රපටයෙන් කතා කරන්නේ ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනයෙන් වෙන්වෙලා ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයට වේගයෙන් අනුවර්තනය විය යුතුයි කියන කරුණ මහජනතාවට සංවේදී වන අයුරින් අපි මෙම කලා කෘතියෙන් පැහැදිලි කරනවා. දේශනා පැවැත්වීමෙන් කරන්න බැරි දේ මෙවැනි සිනමා කෘති තුළින් කරන්න පුළුවන් බවයි අපගේ විශ්වාසය. එනිසා මෙම චිත්‍රපටය නරඹන සෑම කෙනෙක් ම අනිවාර්යයෙන් ම තමන් දන්නා හඳුනන සැමටම කියන්න මෙම චිත්‍රපටය බලන්න කියලා. ඒ ආකාරයට ජනතාව‍ පෙළ ගැසෙන විට විෂමභාග චිත්‍රපටයෙන් අපි බලාපොරොත්තු වන ඉලක්කය හිතුවාටත් වඩා ඉහළින් සම්පූර්ණ කරගන්න අපට හැකිවේවි.

ලංකාවේ ප්‍රදර්ශනය කරන්නත් කලින් විෂමභාග ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ ප්‍රදර්ශනය කෙරුණා. එහි යම් සාර්ථකත්වයක් තියෙනවද?

ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ සමාජ සත්කාර අංශය පිවිතුරු පැන් පූජා නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. දරුණු වකුගඩු රෝගයෙන් පීඩා විඳින උතුරුමැද පළාත මෙන්ම වයඹ පළාත ඇතුළු ප්‍රදේශවල ජනතාවට නවීන තාක්ෂණය ඔස්සේ පිරිසුදු පානීය ජලය ලබාදෙන ව්‍යාපෘති ගණනාවක් මේ වනවිට ව්‍යාප්ත කර තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ විෂමභාග ප්‍රදර්ශනය කිරීම නිසා ලංකාවේ තිබෙන මෙම දරුණු ව්‍යසනයට සංවේදී වුණු අයගෙන් වකුගඩු රෝග ව්‍යාප්ත වී තිබෙන තවත් ගම්මාන 20ක අලුත් පානීය ජල පිරිපහදු මධ්‍යස්ථාන 20ක් ඉදිකිරීම සඳහා අවශ්‍ය මූල්‍යමය ප්‍රතිපාදන ලැබිලා තියෙනවා. ඒවායේ ඉදිකිරීම් මේ වන විට සිදුවෙමින් පවතිනවා.

ඊට අමතරව මේ වන විට වකුගඩු රෝගයෙන් පෙළෙන ගම්මාන 35කට නොකඩවා සෑම දිනයක ම අපි ජලය ලබා දෙනවා. නමුත් මෙම ක්‍රියාව ඉතාම සෙමින් සිදුවන බවයි අපට වැටහුණේ. නමුත් රෝගය වේගයෙන් පැතිරෙනවා. අනාගත පරපුර මෙයින් බේරාගැනීමට ඉක්මන් විසඳුමක් අවශ්‍ය වුණා. ඒ නිසයි මෙම විෂමභාග චිත්‍රපටය අපි නිෂ්පාදනය කළේ. එයින් ලැබෙන සියලුම ලාභය පිරිසුදු පානීය ජලය ලබා දීමටත්, ජාතික වකුගඩු රෝගී අරමුදලට මෙම චිත්‍රපටයේ ලාභය බැර කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. එනිසයි මෙම චිත්‍රපටයට සමාජ සත්කාර චිත්‍රපටයක් කියා කියන්නේ. කාරුණික හදවත් ඇති සියලු දෙනා ම ඒ සඳහා අත්වැල් බැඳගනියි කියා අපි විශ්වාස කරනවා.

ඔබ මෙම චිත්‍රපටය නැරඹීමට ප්‍රවේශ පත්‍රයක් ලබා ගැනීම තුළින් ම ඔබ මෙම සමාජ සත්කාරයට දායකත්වයක් දරපු කෙනෙක් බවට පත්වෙනවා. දහස් ගණන් ලක්ෂ ගණන් ඒ සඳහා එකතු වුණොත් වකුගඩු රෝගයෙන් පීඩිත මෙන්ම එම අවධානමට ලක්වෙමින් සිටින සියලුම ජනතාවට පිළිසරණක් වන ආකාරයට මෙම පුණ්‍ය ව්‍යාපෘතිය දියත් කිරීමට අපට හැකිවේවි.

( උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි )

Related posts

පහේ ශිෂ්‍යත්වයෙන් හපනෙක් වෙන්න! Grade 5 දැන් මෙන්න

Shiran Viraj

සැරසෙන්න.. අප්‍රෙල් 25 රටටම සුබ පණිවුඩයක්..- හමුදාපති

Shiran Viraj

ජල ගාස්තු වැඩි කරයි.. ජල සූත‍්‍රයක් එයි.. කැබිනට් පත‍්‍රිකාවක්..

Shiran Viraj