mediahumanrights.lk
Entertainment Entertainment News News

මට ඕනේ වෙනසක් කරන්නයි ඩ්‍රම්ස් වාදනය උපාධියට හදාරන ‘සංගීතේ’ අමායා

දෙරණ ඩ්‍රීම්ස්ටාර් සීසන් 07 තරගයෙන් ගායනයට එක්වූ ඇය මේ දිනවල රංගනයෙන් ඔබේ ආලින්දයට ගොඩවදිනවා. ඒ දෙරණ නාලිකාවේ විකාශය වන ‘සංගීතේ’ ‘අමායා’ ලෙසිනි. මහීගේ සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදන ශිල්පිනිය ලෙසින් ප්‍රේක්ෂක ආදරය දිනා සිටින සචිනි රණවක පසුගියදා රසඳුනට ගොඩවැදුණා.

 ඩ්‍රම්ස් වාදනයෙන් උපාධිය හදාරන මෙරට පළමු කාන්තාව ඔබද?

“ඔව්. මම දැනට කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබනවා. මම දන්නා පරිදි මෙරට ඩ්‍රම්ස් වාදනයෙන් උපාධියක් හදාරන්න වාසනාව මට තිබුණා.”

නුගේගොඩ Louvre ජාත්‍යන්තර පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා හත්වැනි ශ්‍රේණියේදී නුගේගොඩ අනුලා විද්‍යාලයට ඇතුළත් වී පසු කාලීනව උසස් අධ්‍යාපනය සඳහා කොළඹ විශාඛා විද්‍යාලයට ප්‍රවිෂ්ටයට වරම් ලබන ඇය පාසලේ සෞන්දර්ය ක්‍රියාවලදී කැපී පෙනුණ චරිතයකි.

“ඇත්තටම කලාවට ඇති මගේ ආශාව නිසාම මම කලා අංශයෙන් උසස් අධ්‍යාපනය ලැබුවා. මාධ්‍ය හා සන්නිවේදනය, නාට්‍ය හා රංග කලාව, සංගීතය කියන විෂයයන් තෝරා ගත්තා.

පාසලේ පැවැත්වුණු විවිධ ප්‍රසංගවලට ඩ්‍රම්ස් වාදනයෙන්, ගායනයෙන් වගේම නර්තනයෙනුත් සමස්ත ලංකා මට්ටමින් ඒකල, සමූහ, ගායන හා නාට්‍ය රංගන, නර්තන තරගවලින් ජයග්‍රහණ ලබා ගත්තා.”

සචිනි කියන්නෙ බොහොම වෙනස් විදිහට හිතන චරිතයක් කියලා මට හිතෙනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් ගැහැනු / පිරිමි භේදයකින් තොරව ‘සංගීතය’ පිළිබඳ ඉහළටම හැදෑරීම් කිරීම අද සාමාන්‍ය දෙයක්. ඒත් ඩ්‍රම්ස් වාදනයට, ඇලුම් කරන්නේ උපන් හපන්කම් දක්වන්නේ පිරිමි දරුවන් කියලයි කතාවට කියන්නේ. ඒත් සචිනි මේ ‘තියරිය’ වෙනස් කර තිබෙනවා.

සාමාන්‍යයෙන් බ්‍රම්ස් වාදනය කරන්නේ පුරුෂ පාර්ශ්වයයි. ඔබට ඇයි ඒ පැත්තට යොමුවෙන්න හිතුණේ?

“මම ගොඩක් ආසයි ‘ඩ්‍රම්ස්’ වාදනයට. කාටත් කුතුහලයක්, පුදුමයක් ඇති ‘ඩ්‍රම්ස්’ වාදනයෙන් උපාධියක් දක්වා හැදෑරුවේ ඇයි කියලා. සාමාන්‍යයෙන් ගෑනු ළමයෙක් නොකරන දෙයක්. මට ඕනි වුණේ වෙනසක් කරන්න. ඒ ඩ්‍රම්ස් වාදනයෙන්. ඒ නිසා උසස් අධ්‍යාපනයට ‘ඩ්‍රම්ස්’ වාදනය තෝරා ගත්තා.”

දැනට මෙරට සිටින හොඳම ඩ්‍රම්ස් වාදන ශිල්පියා ලෙස නම් දරා සිටින්නේ ‘මහින්ද සිල්වා’ ය. තාරුණ්‍යයේ යුවතියක් විදිහට ‘ඩ්‍රම්ස්’ වාදනය පැත්තෙන් ඉදිරියට යන ඔබට අපේ රටේ සිටින හොඳම ඩ්‍රම්ස් වාදන ශිල්පියාට ඔබේ දක්ෂතාව අභියෝගයක් කළ හැකි වේවිද?

“මම හිතන්නේ මේ පිළිබඳ තව ගොඩක් දේවල් ඔහුගෙන් ඉගෙන ගන්නට තියෙනවා. එවැනි ප්‍රවීණ කෙනෙකුට අභියෝග කරනට තරම් වුවමනාවක් නැහැ. එතුමන් තාම මට මුණගැහිලා නෑ. මම හරි කැමැත්තෙන් ඉන්නවා ඔහු හමුවෙන්නට. එතුමන්ගෙන් ගුරුහරුකම් ලබන්නට.”

දෙරණ ඩ්‍රීම්ස්ටාර් හත්වන වටයට අහම්බෙන් අයදුම් කළ සචිනි අවසන් දහදෙනා අතරට තේරුණා. ‘සංගීතේ’ ටෙලිනාට්‍යට සචිනිට ඇරියුම් ‍ලැබෙන්නේ කොහොමද?

“දෙරණේ ලක්සිරි සර් තමයි ‘සංගීතේ’ ටෙලිනාට්‍යට මට ආරාධනා කළේ. මෙය මගේ පළමු රංගනය නොවෙයි. මීට පෙර දෙරණ පොහොය දිනවල විකාශය කරන චිත්‍රපටයකට තමයි මම මුලින්ම දායක වුණේ. සංගීතේ නාට්‍යයට අමතරව සංගීතවේදි දර්ශන රුවන් දිසානායකයන්ගේ ‘ගොවි තාත්තා’ චිත්‍රපටයටත් ගායනයෙන් හා රංගනයෙන් පළමු වරට එක්වුණා. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් සහ පසුබිම් ගායනයටත් දායක වුණා. “

කලාවේ විවිධ පැතිකඩ ඔස්සේ සිය හැකියා පෙන්වන සචිනි 2012 වසරේදී විශාරද විභාගය ද සමත්වුණා. මේ වන විට ඇය අලුතින් කළ ‘ගීත’ දෙකක් අතුරින් ‘ආදරයේ කුසුම’ ගීතය මෑතකදී එළිදැක්වුණා.

දක්ෂ රංගන ශිල්පිනියක්, ගායිකාවක් හා ඩ්‍රම්ස් වාදනයෙන් යමක් කිරීමටත්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක් වීමත් සචිනිගේ බලාපොරොත්තුවයි. කලාවේ මෙතරම් දුරක් එන්නට උදවු කළ මාපියන්, දර්ශන රුවන් දිසානායක, විශාඛා විද්‍යාලයේ ගුරුභවතුන් ‍වගේම දෙරණේ ලක්සිරි සර්, සංගීතේ සියලු දෙනාටත්, මාධ්‍යවේදි හේමන්තත් ආදරයෙන් සිහිපත් කරනවා.
( උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි )

Related posts

2023 දුෂිතයන් පලවා හැර අප දිනන වසරයි..

Shiran Viraj

තවත් රාජ්‍ය අමාත්‍යවරයෙකුටත් කොරෝනා

Shiran Viraj

ආබාධිත රණවිරුවන් මරාන්තික උපවාසයකට සුදානම්

Shiran Viraj