mediahumanrights.lk
Entertainment Entertainment News News

හොඳ නිර්මා­ණ­යක් ලැබු­ණාම ඒ නිර්මා­ණයේ අපි ජීවත් වෙනවා රයි­ගම් ටෙලීස් විශි­ෂ්ට­තම නළුවා රොෂාන් රවීන්ද්‍ර

රංගන ශිල්පීන් වැඩිදෙනකු නිරන්තරයෙන් තිරයේ දක්නට ලැබෙන අතර ඉතා සුළු කාලයකින් ප්‍රසිද්ධිය නැති වූ වහා ඔවුන් තිරයේ නොපෙනී යයි. කාලාන්තරයක් තිස්සේ තම දක්ෂතාවත් ජනප්‍රියත්වයත් රැක ගනිමින් සිටින්නේ කලාකරුවන් අතළොස්සක් පමණි. ඔවුන් නිරතුරුව තිරයේ දක්නට නොලැබුණද ඔවුන්ගේ දායකත්වයෙන් තැනුණු නිර්මාණ ප්‍රශස්ත මට්ටමක පවතී. එවන් කලාකරුවෙකි රොෂාන් රවින්ද්‍ර. හේ කලක් තාරුණ්‍ය වසඟයට ගත් වස්සාන සිහිනයේ කසුන්්‍ ය. උතුවන් කන්දේ සරදියෙල් ය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ‘සහෝදරයා’ ය. මේ වන විට විකාශය වන ආනන්ද අබේනායකයන්ගේ ‘වීරයා ගෙදර ඇවිත්’ ටෙලිනිර්මාණයේ වීරයාය. ඉකුත්දා පැවතුණු රයිගම් telees 2018 සිනමා සම්මාන රාත්‍රියේ ‘සහෝදරයා’ ටෙලි නිර්මාණයේ ප්‍රශස්ත රංගනය වෙනුවෙන් හොඳම නළුවා සම්මානයෙන් ඔහු පිදුම් ලැබීය. මේ කතාබහ ඔහු සමගය.

‘සහෝදරයා’ට පසුව රොෂාන් නැවත පුංචි තිරයේ පෙනී ඉන්නවා ‘වීරයා ගෙදර ඇවිත්’ ටෙලි නිර්මාණය තුළින්. මේ නිර්මාණය ගැන ඔබේ අදහස මොකක්ද?

හමුදාවේ රණවිරුවෝ කියලා විරුදාවලි ලබන අය ආබාධිත වූවාට පසුව, නැවත තමන්ගේ ගම් රට බලා පැමිණි පසු ජීවිතයේ වන හැලහැප්පීම් තමයි මේ ටෙලිනාට්‍ය පුරාම නිරූපණය කරන්නේ.

කොහොමද ‘වීරයා’ට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර?

‘වීරයා ගෙදර ඇවිත්’ ටෙලිනාට්‍ය තාම කොටස් ටිකයි විකාශය වුණේ. ඒත් ප්‍රේක්ෂකයන්ගෙන් ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

‘වීරයා ගෙදර ඇවිත්‘ ටෙලිනාට්‍යයේ පිටපත නාමල් ජයසිංහගේ. ඔබ මීට කලින් රංගනයෙන් දායක වුණු ‘සහෝදරයා‘ ටෙලි නාට්‍යයේත් පිටපත සහ අධ්‍යක්ෂණය නාමල් ජයසිංහගේ. ඔහුගේ නිර්මාණකරණයේ යම් විශේෂත්වයක් තියෙනවා ද?

මම මීට පෙර කීපවතාවකම නාමල් ජයසිංහගේ පිටපත්වලට රංගනයෙන් දායක වෙලා තියෙනවා. නාමල් කියන්නේ ඉතාම දක්ෂ නිර්මාණකරුවෙක්. නාමල්ගේ පිටපතක් කිව්වාම නැවත දෙවතාවක් හිතන්න දෙයක් නැහැ. ඔහුගේ නිර්මාණ ගුණාත්මක බවින් ඉහළයි.

රොෂාන් නිර්මාණ තෝරා ගැනීමක් කරනවාද?

තෝරා ගැනීමක් කරන්නවත් පිටපත් දැන් නැහැ. හොඳ ටෙලි නිර්මාණ බිහි වෙන්නේ නැහැ. වර්තමාන ටෙලිනාට්‍ය කලාව හැදිලා තියෙන්නේ රටේ තියන රූපවාහිනී නාළිකාවලට ඕනේ විදියට. රංගන ශිල්පීන් ඇතුළු සමස්ත ටෙලිනාට්‍ය කලාවම රූපවාහිනී නාළිකාවල තියෙන ඒකාධිපතීත්වයට යටත් වෙලා තියෙන්නේ. ඒ නිසා වැඩිමනක් බිහිවෙන්නේ කසිකබල් ටෙලිනාට්‍ය. ඉන්දියානු ටෙලිනාට්‍ය සහ ඒ ආභාසය ගත්ත ටෙලිනාට්‍ය තමයි ලංකාවේ පවතින්නේ. ඔවුන් කරන හානිය කෙතරම් බරපතළද කියනවා නම් මේ නිසා හොඳ පිටපත් රචකයන්ට හොඳ අවස්ථා අහිමි වෙලා යනවා. රටේ පවතින ප්‍රධාන ධාරාවේ පරිපාලනයටවත් කලාව පිළිබඳ කිසිදු අදහසක් හෝ කිසිදු වැඩපිළිවෙළක් නැති මොහොතක අපි ජීවත් වෙන්නේ. ඒ අතරින් බොහොම කලාතුරකින් ගුණාත්මක නිර්මාණයක් බිහි වෙනවා. ඒ වගේ නිර්මාණයක් ලැබුණාම ඒ නිර්මාණයේ අපි ජීවත් වෙනවා.

රොෂාන් සිනමාව පිළිබඳවත් මේ හා සමාන කලකිරීමකින්ද ඉන්නේ?

මට කලකිරීම තියෙන්නේ ලංකාවේ සමස්ත කලා ක්ෂේත්‍රය ගැන. ඒක ටෙලිනාට්‍ය සහ සිනමාව කියලා වෙන් කරන්න බැහැ. සිනමාව ගත්තොත් පැහැදිලිවම ලංකාවේ චිත්‍රපට කෙරෙනවා අඩුයි. එයට හේතුව එය ලාභ උපයන මාර්ගයක් නොවන නිසා. ප්‍රතිපත්ති නැති තැනක ප්‍රතිපත්ති හදන්න බැහැ. මේ මොහොතේ සමස්ත කලාවම දියාරු තත්ත්වයක පවතින්නේ. රට කරන මිනිස්සුන්ට තේරෙන්න ඕනේ මේ රටට කලාවක් අවශ්‍යයි කියලා. මේ රටේ මිනිස්සු මෙච්චර ප්‍රතිගාමී වෙලා තියෙන්නේ ඇයි කියලා තේරෙන්න ඕනේ. ලෝකේ දියුණු හැම රටකම පාහේ කලාව ප්‍රශස්ත මට්ටමක පවතිනවා. කලාව නැති තැනක හොඳ සමාජයක් බිහි වෙන්නේ නැහැ. වර්තමානයේ විකාශය වෙන හින්දි ටෙලිනාට්‍යවලින්, මෙගා නාට්‍යවලින් අපිට අපේ ජීවිත දකින්න බැහැ. ජීවිතවල යථාර්ථය පේන්නේ නැහැ. ‘කලාකරුවා සමාජයේ පෙරගමන්කරු’ කියන එක අද බොරුවක් වෙලා තියෙනවා. නූතන කලාකරුවා සාදවලට ගන්න, ඡන්ද වැඩවලට ගන්න ප්‍රදර්ශන භාණ්ඩයක් වෙලා.

එය රොෂාන් සිනමා නිර්මාණවලට අල්ප වශයෙන් දායකත්වය ලබාදීමට හේතුවක්ද?

ඒකට හේතුව මොකක්ද කියලා මම දන්නේ නැහැ. මට ඒක හිතාගන්න බැහැ. හොඳ චිත්‍රපටි නිර්මාණය වෙන්නේ අල්ප වශයෙන්. කලාතුරකින් තමයි හොඳ චරිතයක් ලැබෙන්නේ. නිර්මාණකරණයෙන් ටිකෙන් ටික ඈත් වෙනවා. කලාව වෙනුවෙන් වෙහෙසුණා ඇති කියලා මට හිතෙනවා.

මොකක්ද ඒකට හේතුව?

මේ ක්ෂේත්‍රය තුළ කලාකරුවාට නිසි ලෙස තමන්ගේ වෘත්තිය කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒ ගැන පැහැදිලි කලකිරීමක් තියෙනවා. මම හිතන විදියට කලාවක් මේ රටට අවශ්‍ය නැතුව ඇති. මොන දේශපාලන් පක්ෂ බලයට ආවත් මොන පාලනය තිබුණත් රටට කලාවක් අවශ්‍යයි කියලා හිතෙන නායකයෝ නැහැ. ඔවුන් දකින්නේ රටට විය යුත්ත නෙමෙයි.

ඒත් සිනමා නිර්මාණවලට වඩා ටෙලිනාට්‍යවල ඔබ වැඩි වශයෙන් දකින්න ලැබෙනවා.

පසුගිය වකවානුව හොඳට බැලුවොත් පේනවා ලංකාවේ නිර්මාණ අතර චිත්‍රපටිවලට වඩා ටෙලිනාට්‍යවලින් තමයි ගුණාත්මක නිර්මාණ බිහි වුණේ. ඒත් ලංකාවේ සම්මාන උලෙළ වැඩියෙන් තියෙන්නේ චිත්‍රපටිවලට. නාළිකා බොහෝමයකින් ආයතන බොහෝමයකින් උත්කර්ෂවත්ව සිනමා සම්මාන උලෙළ පවත්වනවා. ඒත් ඒවාට තරග කරන්න ලංකාවේ චිත්‍රපටි හැදෙනවාද? ලංකාවේ වසරකට සිනමා නිර්මාණ බිහිවෙන්නේ බොහොම අතළොස්සයි. ඒවත් නිෂ්පාදනය කරන්නන් තමන්ගේ යටි අරමුණු ඒ නිර්මාණ හරහා ඉෂ්ට කරගන්නවා. පරණ යල් පැනපු, මල් ගස් වටේ දුවන චිත්‍රපටිවලට රඟපානවාට වඩා හොඳයි ගුණාත්මකත්වයෙන් ඉහළ ටෙලිනාට්‍යවලට දායක වෙන එක. කලාව පවතින්නේ මිනිස්සු උදෙසා නම් දැන් මිනිස්සු රැස් වෙන්නේ රූපවාහිනිය වටා. සිනමාශාලාවලට මිනිස්සු යන්නේ නැති තරම්. ඒ නිසා මිනිස්සු උදෙසා ගුණාත්මක ටෙලි නිර්මාණවලට දායක වෙනවා.

ඔබේ හැකියාවන්ගෙන් උපරිමය පෙන්වන්න පුළුවන් නිර්මාණයකට තවම සම්බන්ධ වෙන්න ලැබුණේ නැහැ කියලා හිතෙන්නේ නැද්ද?

මට නෙමෙයි මෑත කාලයේ ලංකාවේ කිසිම රංගන ශිල්පියෙකුට තමන්ගේ උපරිමය පෙන්න්වන්න ලැබිලා නැහැ. එහෙම උපරිමය පෙන්වන්න පුළුවන් මට්ටමේ නිර්මාණ බිහිවෙන්නේ නැහැ. ටෙලි – සිනමා මේ හැම ක්ෂේත්‍රයකටම ඒක පොදු යථාර්ථයක්.

අවසාන වශයෙන් රොෂාන්ගේ ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?

මේ දිනවල මම කොටස් 50ක ටෙලිනාට්‍යයක් අධ්‍යක්ෂණය කරනවා තණමල්විල කොල්ලෙක් කියලා. එය ටෙලිනාට්‍ය රැසක් නිෂ්පාදනය කළ පාහිම් මවුජුඩ්ගේ නිෂ්පාදනයක්. වැඩි පිරිවැයක් දරමින් නිෂ්පාදනය කරන ටෙලිනාට්‍යයක් ඒක. මේ දවස්වල මේ ටෙලිනාට්‍යයේ වැඩ කටයුතු කෙරෙන්නේ. එක වැඩක් ඉවර කරලා තව වැඩක් කරන කෙනෙක් මම. මේ ටෙලිනාට්‍යයේ කටයුතු ඉවර වුණාම තමයි අනෙක් වැඩ ගැන බලන්නේ. චිත්‍රපට කීපයක් ලැබිලා තියෙනවා. ඊට පෙර චිත්‍රපට කීපයක් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඉදිරියේදී හොඳ නිර්මාණයකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා.
( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

Related posts

උගතුන් පමණක් පාර්ලිමේන්තු එවීමේ උවමනාවක් නෑ..- මැ.කො.

Shiran Viraj

ලොව හොඳම සංචාරක ගමනාන්තය යන නාමය ශ‍්‍රී ලංකාවට අහිමි වෙයි

Shiran Viraj

දෙහිවල සත්තු වත්තේ සිංහයෙකුට කොරෝනා.. හිපපොටේමස් හා සීබ‍්‍රාවෙකුත් මිය යයි..

Shiran Viraj