mediahumanrights.lk
Entertainment Entertainment News News

කලාව පෙම්වතිය කරගත් පුංචි තිරයේ හැඩකාරයා

සකූගේ කතාව නිසා චානුක බොහෝ අයගේ අවධානය දිනාගෙන?

ඔව්, මම සම්බන්ධ වෙන දෙවැනි ටෙලි නාට්‍ය තමයි ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන ‘සකූගේ කතාව’

නිරූපණ ක්ෂේත්‍රයේ හිටපු චානුක රංගන ශිල්පියෙක් වුණේ කොහොමද?

මම මීට අවුරුදු හතරකට කලින් නිරූපණ ක්ෂේත්‍රයට එකතු වුණා. ඊට පස්සේ මගේ උසස් අධ්‍යාපන කටයුතුවලට විදේශගත වෙන්න සිදුවුණ නිසා මට නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉවත් වෙන්න වුණා. පෞද්ගලික හේතුවක් මත ලංකාවට ආපු වෙලාවක මට අහම්බෙන් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට එකතු වෙන්න ලැබුණා. ඒ ශාන්ත සොයිසා මහත්මයාගේ ‘මිතූ’ නාට්‍යයෙන්. ඒත් ඒ නාට්‍ය නැවතුණා. මම හිතුවේ නෑ ඊට පස්සේ මට හොඳ චරිතයක් ලැබෙයි කියලා. නමුත් මට ‘සකූගේ කතාව’ තුළ හොඳ චරිතයක් ලැබුණා.

චානුකට කලින් ඉඳන්ම නළුවෙක් වෙන හීනය තිබුණාද?

නැහැ, නළුවෙක් වෙන හීනයක් මට තිබ්බෙ නැහැ. නිරූපණ ශිල්පියෙක් වෙන්න පහසු වුණාට රංගන ශිල්පියෙක් වෙන්න පහසු නැහැ. මම හිතාගෙන හිටියේ ලස්සන වුණාම උස වුණාම නළුවෙක් වෙන්න පුළුවන් කියලා. නමුත් එහෙම නළුවෙක් වෙන්න බෑ. රංගනය කියන්නේ මහා සාගරය වගේ. ආධුනික මට ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා. ප්‍රියන්ත කොළඹගේ මහත්මයා මාව විශ්වාස කරලා මම දන්නේ නැති මගේ හැකියාවන් එළියට ගත්තා.

කැපකිරීම් කරලා රංගනය තෝරා ගැනීම ගැන අද සතුටු වෙනවාද?

ඔව්. උපාධිය වෙනුවෙන් ඕස්ට්‍රේලියාවට යන්න ගිය ගමන අතහැරලා තමයි මම රංගනයට ආවේ. මම ඉතිරි අධ්‍යාපන කටයුතු ලංකාවේ පටන් ගත්තා. ලැබිච්ච අවස්ථාව ගැන මට සතුටුයි.

අලුතෙන් ක්ෂේත්‍රයට එකතු වෙන අය තමන්ගේ පෙනුම ගැන හිතලා පෙම්වතාගේ භූමිකාවෙන් එළියට එන්න වැඩි කැමැත්තක් නැහැ. චානුකට පෙම්වතාගේ භූමිකාවෙන් එළියට එන්න අකැමැත්තක් තිබ්බේ නැද්ද?

මම නිරූපණ ශිල්පියෙක් විදියට පෙනුමෙන් යන්න ඕන දුර ඇවිත් තියෙනවා. නමුත් රංගනයේදී පෙනුම ගැනම හිතලා පෙම්වතාගේ චරිතයටම සීමා විය යුතු නැහැ. මම කැමැත්තෙන් මේ චරිතය භාර ගත්තා. අත්දැකීමක් නැති විවිධ චරිත අභියෝගයක් ලෙස කිරීමේ ආසාව මට තියෙනවා. මම හිඟන්නෙක්ගේ චරිතයක් වුණත් කරන්න කැමැතියි.

නළු භූමිකාව ඇතුළේ චානුක සාර්ථකද?

මම හිතන්නේ මම සියයට සියයක් සාර්ථක නැහැ. පළමුවැනි නිර්මාණය එක්ක බලද්දි මම මේ නිර්මාණයේ යම් සාර්ථකත්වයක් ලබලා තියෙනවා. අඩුපාඩු කියන දේවල් ආධුනිකයෙක්ට තියෙන්න ඕන. මොකද ඉපදුණු ගමන් කෙනෙක්ට දුවන්න බෑනේ. ප්‍රියන්ත කොළඹගේ මහත්මයා දන්නවා නළුවෙක්ව හදන්න. බොහෝ දේවල් මට කියලා දෙනවා.

සමහරු ක්ෂේත්‍රයට එනවා. ඒත් ටික කාලයකින් පේන්නවත් නැතිව යනවා. චානුකට ක්ෂේත්‍රයේ මතක හිටින චරිත ගොන්නට එකතු වෙන්න පුළුවන් වෙයිද?

මට මතක හිටින චරිතයක් වෙන්න ඕනේ නැහැ. මට කලාවට දෙයක් කරන්න පුළුවන් කියලා දැනෙනවා. ජනප්‍රියකම නෙමෙයි දක්ෂ නළුවෙක් වෙන්න මට ඕනේ. ලස්සන තිබ්බට හැමෝටම රඟපාන්න බැහැ. මගේ රංගනය දැකලා ගොඩක් අය මට ගමනක් යන්න පුළුවන් කියලා කියනවා. උනන්දුව, කැපවීම එක්ක මට හොඳ ගමනක් යන්න පුළුවන් වෙයි.

අලුත් ආරාධනා ලැබුණේ නැද්ද?

ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබුණා. ඒත් මම දැන් කරන වැඩේට සියයට සියයක් හොඳ දායකත්වයක් දෙන්න ඕන. තව වැඩක් භාරගෙන දැනට මම කරන නිර්මාණය අපහසුතාවට ලක් කරන්න මම කැමති නැහැ. ඒ නිසා අනෙක් වැඩ භාරගත්තේ නෑ.

දැන් විවිධ වරප්‍රසාද දීලා ක්ෂේත්‍රයේ අවස්ථා ගන්න පුළුවන්ලු. චානුක එහෙම අවස්ථා ලබාගන්න කැමැති කෙනෙක්ද?

මට එහෙම කරන්න ඕනේ නැහැ. විවිධ දේවල්වලින් ගන්න අවස්ථා ටික කාලයයි තියෙන්නේ. රංගනය ගැන හදාරලා දක්ෂයෙක් වුණොත් ඊට වඩා ඉදිරියට යන්න පුළුවන්. මම මට අභියෝගයක් වෙලා දක්ෂතාවයෙන් ඉදිරියට යන්න තමයි උත්සාහ කරන්නේ.

තමන්ගේ තැන රැකගන්න චානුක ඕනම කැපවීමක් කරනවාද?

මම කාවවත් කපලා, මඩ ගහලා මගේ තැන ගන්න උත්සාහ කරන්නේ නැහැ. මට අභියෝගය තියෙන්නේ මාත් එක්ක. මම මගේ දක්ෂතාව වැඩිදියුණු කරගන්න තමයි මහන්සි වෙන්නේ.

දැන් නිරූපණ කටයුතු අතහැරලාද?

තාම නැහැ. හැබැයි නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කරනවා අඩුයි. මම ප්‍රධාන පෙළේ ආයතන කිහිපයක නිරූපණ ශිල්පියෙක් ලෙස එකතු වෙලා ඉන්නවා. මුල අමතක නොකර ඒ වැඩකටයුතුත් පුළුවන් විදියට කරගෙන යනවා.

රංගන ශිල්පියෙක් වුණාට පස්සේ චානුකගේ සැබෑ ජීවිතේ පැවැත්ම වෙනස් වෙලාද?

මම කවදත් සාමාන්‍ය, සරල ජීවිතයක් ගත කළේ. දැනටත් මම එහෙමයි. දැන් මාව මිනිස්සු හඳුනන නිසා ඔවුන් මුණගැසුණාම හිනාවෙලා කතා කරලා ඉන්නවා. ඔවුන් අපේ රංගනය අගයද්දී සතුටුයි. අපි දුක් මහන්සි වෙලා රඟපාන්නේ ඒ වෙනුවෙන්නේ. අපේ කැපකිරීම්වල ප්‍රතිඵලය තමයි ප්‍රේක්ෂක ආදරය. දැන් මට ඒක ලැබෙනවා.

චානුක පෙම්වතෙක්ද?

පෙම්වතෙක් වෙලා හිටියා. හැබැයි දැන් නැහැ. දැන් මගේ පෙම්වතිය කලාව.

චානුකගේ ඊළඟ සිහිනය මොකක්ද?

මට සිනමාවට සම්බන්ධ වෙන්න ආසාවක් තියෙනවා. කාලයත් එක්ක ඒ ගමන හදාගන්න මට පුළුවන් වෙයි. මම රංගනය ගැන ඉගෙන ගන්න ඕන. ඒ අතරතුර සිනමාවටත් ආරාධනා ලැබුණොත් කැමැත්තෙන් භාරගන්නවා.

උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි

Related posts

මාසයක් තුළ පාතාල කල්ලි සාමාජිකයින් 18 දෙනෙකු අත්අඩංගුවට

Shiran Viraj

සමාජ සත්කා­රය වෙනු­වෙන් ම කැප වූ විෂම භාග

Shiran Viraj

හෙක්ටයාරයකින් කෝටි හතරක්..

Shiran Viraj