mediahumanrights.lk
LIFE LIFE NEWS News

දරු එල ලබන්නට තරබාරුව මට්ටු කරමු

වර්තමානයේ පවතින අධි තරඟකාරී සමාජ රටාවත් සමඟ දරුවකු බිහි කිරීමේ දී සැළකිලිමත් විය යුතු අන්දම පිළිබඳව බොහෝ මව්වරුන්ට අමතක වී යයි. ඊට හරස් වන්නේ පවතින ආර්ථික රටාව මෙන් ම අවිවේකී බව ය . මව්පියන්ගේ නොසැළකිලිමත්කමින් මෙළොවට බිහි වන දරුවා අවාසනාවන්ත ඉරණම්වලට ගොදුරු වන්නේ නොසිතූ පරිදි ය. ගැහැණු දරුවකු යෞවනියක ලෙස සිටින අවදියේ සිට විවා පත් වන අවස්ථාව දක්වා නිසි පෝෂණයෙන් යුක්තව, යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් හා යහපත් චර්යාවලින් යුක්ත වනවා නම් ගර්භනී කාලයේ දී ගැටලුවක් ඇති නොවනු ඇත. ගැබිනි මවකට නිසි පෝෂණය වැදගත් වන්නේ ඇයි?,ගැබිනි මවකට අත්‍යවශ්‍ය පෝෂණ සංඝටක මොනවාද?, ගැබිනි මවකගේ උදෑසන,දහවල්, රාත්‍රී ආහාර වේල කෙසේ සකස් විය යුතු ද? යනා දී කරුණු පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග අංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන මහත්මිය දැක්වූ අදහස් මෙසේ ය.
ගැබිනි මවකට නිසි පෝෂණය වැදගත් වන්නේ ඇයි?
ගැබිනි මවක් යනු තවත් ජීවියෙකු සඳහා උප්පත්තිය ලබා දෙන්නියකි. එනම් ඇය අනාගත වර්ගයාගේ පැවැත්ම සඳහා දායක වන්නියක් ද වේ. එබැවින් තරුණියක විවාහයට පත් වන විට දී නිසි පෝෂණයක් ලබා තිබිය යුතු ය.උසට සරිලන බරක් තිබීම, නීරක්තියෙන් තොර වීම, අයඩීන් ඌනතාවයෙන් තොර වීම මගින් හොඳ උපත් බරක් තිබෙන දරුවකු ( සාමාන්‍යයෙන් කිලෝ ග්‍රෑම් දෙක හමාරකට වැඩි ) බලාපොරොත්තු විය හැකි ය.හොඳ පෝෂණ මට්ටමකින් යුක්ත තරුණියකට නිරෝගී දරුවකු පිළිසිඳ ගැනීමේ අවස්ථාව වැඩි ය. කාලික මන්දපෝෂණය , තීව්‍ර මන්දපෝෂණය තිබෙන තරුණියක් නම් ඇයට වයසට සරිලන උසක් මෙන් ම උසට සරිලන බරක් නොමැති විය හැක. එවැනි තරුණියකගේ BMI අගය 18.5 ට අඩු විය හැකි ය.එමෙන් ම BMI අගය 18.5 ට වැඩියෙන් සාමාන්‍ය අගයක් තිබුණ ද යකඩ, අයඩීන් අඩු වීම් වැනි ක්ෂුද්‍ර පෝෂක ඌනතා තිබිය හැක. එවිට දරුවා පිළිසිඳ ගත් මුල් අවස්ථාවේ සිට මවගෙන් ලැබෙන පෝෂණය අඩු වේ.
උදාහරණ වශයෙන් යකඩ ඌනතාවය නිසා මවගේ රුධිරයේ හිමොග්ලොබින් අඩු වේ. හිමොග්ලොබින් මගින් ශරීරයේ විවිධ ක්‍රියාවන් සඳහා ඔක්සිජන් ගෙන යාම සිදු වේ. හිමොග්ලොබින් අඩු වූ විට මවගෙන් දරුවාට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වේ. සාමාන්‍යයෙන් දරුවකු පිළිසඳ ගැනීමෙන් පසු පළමු මාස 2-3 දී ඉන්ද්‍රිය විකසනය වීම ආරම්භ වේ. එවිට මවගෙන් ලැබෙන්නේ අඩු ඔක්සිජන් ධාරාවක් නම් වේගවත් වර්ධනයට අවශ්‍ය ඔක්සිජන් නොලැබේ.ඒ හේතුවෙන් මොළයේ ස්නායු සෛල වර්ධනයට අවශ්‍ය ඔක්සිජන් නොමැති වීමෙන් මොළයේ සෛල වර්ධනයට බාධා පැමිණේ. තව ද බුද්ධිය අඩු දරුවකු බිහි වීමට ද පුළුවන.මාංශපේශීවලට ලැබෙන ඔක්සිජන් අඩු වූ විට වර්ධනය බාල වේ. ගර්භනී මවගේ පළමු මාස 2 වන විට කලළය වර්ධනය වීමේ මූලික අඩිතාලම වැටෙන නිසා තරුණියක් විවාහ පත් වන අවස්ථාවේ සිට ගර්භනී භාවයට පෙර සිට ම නිසි පෝෂණයක් ලබා තිබීම වඩාත් වැදගත් වේ. ගර්භනී භාවයේ පළමු මාස තුනේ දී මවගේ බර කිලෝ ග්‍රෑම් එකක්, එක හමාරක් පමණ බර වැඩි වේ.ඊළඟ මාස 4-6 කාලය තුළදී මවගේ බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 3-4 ක් පමණ වැඩි වේ. මාස 6- 9 වන විට දී මවගේ බර කිලෝ ග්‍රෑම් 4-5 ක් අතර වැඩි වේ .ඒ අනුව පෙර තිබුණු තත්ත්වයට වඩා මාස 9 ක් ගෙවී යාමෙන් පසු මවගේ බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 10-12 වැඩි වේ.
ගැබිනි මවකට අත්‍යවශ්‍ය පෝෂණ සංඝටක මොනවාද?
සමබල ආහාර වේලක් සෑම අවදියකම සිටින පුද්ගලයින්ට අත්‍යවශ්‍ය වේ. කුස තුළ වැඩෙන දරුවාගේ වර්ධනය සදහා ශක්තිය, ප්‍රෝටීන විටමින් සහ ඛනිජ ලවණ වඩාත් අවශ්‍ය වේ.සාමාන්‍යෙයන් එදිනෙදා වැඩ රාජකාරී සිදු කරන කාන්තාවකට දිනකට කිලෝ කැලරි 2200-2300 ත් ප්‍රමාණයක් ගත යුතු වේ.ගර්භනී සමයේ දී සමාන්‍යයෙන් ගත යුතු කිලෝ කැලරි ප්‍රමාණයට වඩා කිලෝ කැලරි 300 ක් පමණ වැඩිපුර ගත යුතු වේ. ගර්භනී සමයේ දී යකඩ,කැල්සියම් සහ විටමින් අවශ්‍යතාවය ඉහළ යයි.මවගේ ශරීරයේ සිදුවන වෙනස් වීම් සඳහා මෙන්ම කළලයේ වර්ධනය සදහා ද ප්‍රෝටීන අවශ්‍ය වේ. සමබල ආහාර වේලක තිබෙන සෑම පෝෂකයක්ම ගර්භනී සමයේ දී වැඩිපුර ගත යුතු ය.ප්‍රධාන ආහාර වේල් 03 ට අමතරව කෙටි ආහාර වේල් 02 ක් ගත යුතු වේ. එමෙන් ම ආහාරවල තිබෙන පෝෂණ ගුණය අරක්ෂා වන අයුරින් අහාරපාන පිළියෙළ කර ගත යුතු ය. තව ද ආහාර රුචිය වැඩිවන අයුරින් , සිත් ගන්නා සුළු අයුරින් ආහාර පාන පිළියෙළ කිරීම වඩාත් වැදගත් වේ.
ගැබිනි මවකගේ උදෑසන,දහවල්, හා රාත්‍රී ආහාර වේල කෙසේ සකස් විය යුතු ද?
උදැසන ආහාර වේල සඳහා බත්, අල,බතල, කොස්,දෙල්,කඩල,කවුපි,මුං ඇට වැනි ආහාර වර්ග ගැනීමට පුළුවන. බත් ආහාරයට ගන්නේ නම් ඒ සමඟ පලා වර්ගයක්, එළවළු වර්ගයක්, සමඟ තම තමන්ගේ ආර්ථික ශක්තිය අනුව බිත්තර, කරවල, හාල්මැස්සන්, මස්, මාළු යනාදියෙන් එක් වර්ගයක් ආහාරයට ගැනීම වඩාත් සුදුසු ය. වෙනදාට බත් කොප්ප එකක් ආහාරයට ගන්නවා නම් ගැබිනි සමයේ දී ඊට වඩා බත් කොප්ප භාගයක් පමණ වැඩිපුර ගත යුතු ය. වෙනදාට ඉදි ආප්ප 10ක පමණ ආහාරයට ගන්නවානම් ගැබිනි සමයේ දී ඊට වඩා ඉදි ආප්ප 3-4 ක් පමණ වත් වැඩිපුර ගත යුතු ය. උදෑසන 10-10.30 අතර කාලයේ දී වෙරළු, නාරං,ජම්බු වැනි වස විසෙන් තොර දේශීය පළතුරු වර්ගයක්, යෝගට් එකක් හෝ තළ කැරැල්ලක් වැනි දෙයක් ආහාරයට ගැනීමට පුළුවන.
දහවල් ආහාරය සඳහා පෙර දී බත් කෝප්පයක් පමණ ගත්තේ නම් ගැබිණි සමයේ දී ඊට වඩා බත් කෝප් භාගයක් පමණ ගත යුතු ය.පෙර දී එළළුලු කෝප්ප භාගයක් ගත්තේ නම් ගැබිනි සමයේ දී ඊට වඩා කෝප්ප භාගයක් ආහාරයට ගත යුතු ය. නීරක්තිය, මන්දපෝෂණය යනා දී පෝෂණ ගැටලු ඇතිවීමට ඉඩ ඇති බැවින් ප්‍රෝටීන් බහුල ආහාර වන බත්, මාළු ,කරවල , බිත්තර , හාල්මැස්සන් වැනි ආහාරයක් ආහාර වේලට එකතු කර ගත යුතු ය. කෙඳි සහිත එළවළු සහ පලතුරු ගැනීමෙන් ගර්භනී මවට ඇතිවන මලබද්ධය වළක්වා ගත හැකි ය. පැණි රස ආහාර වර්ගවලට වඩා ස්වභාවිකව සැකසු ආහාරවර්ග සහ පලතුරු ආහාරයට ගැනීම වඩාත් සුදුසු ය. සවස 4 ට පමණ කෙටි ආහාරයක් සමඟ තේ කෝප්පයක් ගත යුතු ය.ගර්භනී මවකට කැල්සියම්, පොස්පරස් සහ ප්‍රෝටීන් අත්‍යශ්‍ය වන නිසා දිනකට කිරි හෝ කිරි ආහාර වර්ග දෙකක් ගත යුතු බවට නිර්දේශ කර කෙරේ. ඒ අනුව දිනකට කිරි කෝප්ප 1 ක් හෝ යෝගට් 1 ක් ආහාරයට ගත යුතු ය. ගර්භනී මවට අවශ්‍ය කැල්සියම් ප්‍රමාණය නිසි පරිදි නොලැබුණොත් මවගේ අස්ථි දිය වී එය දරුවාගේ වර්ධනයට අවශ්‍ය කැල්සියම් ලබා දීමට යෙදවේ.
රාත්‍රී ආහාරවේල සඳහා බත්, ආප්ප, ඉදි ආප්ප, පිට්ටු, රොටි ආදී ආහාර ගැනීම සුදුසු වේ.කෘත්‍රීම ආහාර පාන, කල්තබා ගත හැකි රස කාරක, වර්ණ කාරක ආහාරවලින් ඈත් වී සිටිය යුතු ය. එමෙන් ම පලතුරු ආහාරයට ගැනීම වඩාත් සුදුසු ය. පලතුරු ආහාරයට ගැනීමෙන් අනෙකුත් ආහාරවල පවතින යකඩ පහසුවෙන් උරා ගැනීම සිදු කරනු ලබයි. එමගින් ගර්භනී මවට ඇතිවිය හැකි නීරක්තිය මග හරවා ගත හැකි ය. දිනකට ජලය ලීටර් දෙකක් හෝ දෙකහමාරක් පමණ පානය කළ යුතු ය.උෂ්ණ කාළගුණවල දී ඊට වඩා වැඩි වතුර ප්‍රමාණයක් පානය කළ යුතු ය. තව ද තැඹිලි,බෙලි මල් , ඉරමුසු ආදිය පානය කළ යුතු ය. සීනී අඩුවෙන් දමා හෝ සීනී නොදමා නාරං, දොඩම්, දිවුල් වැනි පලතුරු යුෂ පානය කිරීම වඩාත් උචිත ය.
මවක් ගර්භනී සමයේ දී නිසි පෝෂණයක් නෙලැබීමෙන් දරුවාට ඇතිවන බලපෑම කුමක්ද?
ගර්භනී මවට නිසි පෝෂණයක් නොලැබීම නිසා මාස 09 ක් අවසානයේ දී ( දින 280 ) අඩු උපත් බරක් සහිත දරුවකු බිහිවීමට පුළුවන. අයඩීන් ඌනතාවය හේතුවෙන් තයිරොක්සින් නිපදවීම අඩු වූ විට ( Hypothyroidism ) ඇතිවන රෝගාබාධ තත්ත්වයන් දරුවාට ඇති වීමට පුළුවන. අයඩීන් විශාල ප්‍රමාණයක් අඩු වූ විට ක්‍රෙටීනතාවය නම් තත්ත්වය දරුවාට ඇති විය හැකි ය.එවැනි දරුවන්ට මන්ද බුද්ධික තත්ත්වය මෙන් ම ශරීරයේ සෑම ඉන්ද්‍රියකම වර්ධනය අඩාළ වීමට පුළුවන. නීරක්තිය හේතුවෙන් දරුවාගේ බර අඩු වීමේ තත්ත්වය මෙන් ම ප්‍රතිශක්තිය අඩු වීම සහ මතක ශක්තිය අඩු වීමට පුළුවන. තව ද ගර්භනී මවට කාලික මන්දපෝෂණය සහ තීව්‍ර මන්දපෝෂණය තිබේ නම් දරුවා මන්දපෝෂණයට ලක් වීමේ අවදානම වැඩි වේ. ගර්භනී කාලයේ දී දරුවා යම් පීඩනයක විකසනය වන විට අඩු පෝෂණයක සිටින දරුවා අඩු පෝෂණ මට්ටමින් උප්පත්තිය ලබයි.ඒ මඟින් දරුවාගේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා ( අභ්‍යන්තර පරිවෘත්තීය ක්‍රියා ) අඩාළ වේ. තව ද එමගින් හෝමෝන එන්සයිම පද්ධතිවල ක්‍රියාවලියේ වෙනස්කම් ඇති වීමට පුළුවන.එවැනි දරුවන්ට අඩු වයසින් බෝ නොවන රෝග වැළදීමේ අවදානම වැඩි වේ.එවැනි දරුවන්ට අඩු වයසින් දියවැඩියාව, අධික රුධිර පීඩනය, පිළිකා, හෘදයාබාධ ඇති වීමට පුළුවන.
ගැබිනි මවකගේ පෝෂණය පිළිබඳව සමාජයේ පවතින මිත්‍යා මතවාදයන් මොනවා ද?
සමාජයේ සිටින ඇතැම් පිරිස් ගර්භනී සමයේ දී ගස්ලබු, අන්නාසි වැනි පලතුරු ආහාරයට සුදුසු නැති බව ප්‍රකාශ කරති. එය වැරදි මතයකි. යම් කාන්තාවකට පෙර සිටම ගස්ලබු සහ අන්නාසි ආහාරයට ගත් විට යම් අසාත්මිකතාවක් ඇති ගැටලු ඇති වනවා නම් ගර්භනී සමයේ දී එම ආහාර නොගැනීමට වග බලා ගත යුතු ය. එසේ නොමැතිනම් එවැනි ආහාර ගැනීමෙන් කිසිදු ගැටලුවක් ඇති නොවේ. සුදුසුම දෙය වන්නේ ආසාත්මිකතාවක් ඇත්නම් එම ආහාරවලින් වැළැකී සිටීම ය. තව ද ඉස්සන් දැල්ලන් වැනි අධික උෂ්ණ සහිත මාංශමය ආහාර ද ආසාත්මිකතාවක් තිබේ නම් ගර්භනී සමයේ දී නොගැනීමට වග බල ගත යුතු ය. එසේ නොමැති නම් හොදින් පැසුණු, ඉදුණු පලතුරු ගැනීමෙන් කිසිදු ගැටලුවක් ඇති නොවේ.
ගර්භනී මවක් දෙන්නෙකුට කන්න ඕනේ කියලා මතයක් සමාජයේ පවතිනවා නේද?
එයත් වැරදි මතයකි.වඩාත් වැදගත් වන්නේ පෙරට වඩා ස්වල්ප ප්‍රමාණයක් වැඩියෙන් ආහාර ගැනීම ය. එසේ නොමැති ව බත් පිඟන් දෙකක් කෑමට අවශ්‍ය වන්නේ නැත. උදාහරණ වශයෙන් වෙනදාට බත් කෝප්ප එකක් අහාරයට ගන්නේ නම් ගැබිනි සමයේ දී ඊට වඩා බත් කෝප්ප භාගයක් පමණ ආහාරයට ගත යුතු ය. වෙනදාට පලා කෝප්ප භාගයක් ආහාරයට ගන්නේ නම් ගැබිනි සමයේ දී ඊට තවත් කෝප්ප භාගයක් එක් කර ගත යුතු ය. ප්‍රධාන අහාර වේල් 03 ට අමතරව තමන්ට අසාත්මිකතාවන් තිබේ දැයි දැනගෙන පලතුරු ආහාරයට ගැනීම කළ හැකි ය. කුස තුළ වැඩෙන දරුවගේ වර්ධනය සිදු වන්නේ මව ගන්නා ආහාර නිසාවෙන් ගැබිනි මව පෝෂණය සම්බන්ධයෙන් දැඩිව සිතිය යුතු ය.
ගර්භනී සමයේ දී ආහාරයට නොගත යුතු ආහාරපාන සහ ගත යුතු ආහාර පාන මොනවා ද?
කෘත්‍රීම රසකාරක යෙදූ ආහාර, කල්තබා ගන්නා ආහාර, විවිධ වර්ණකාරක යෙදූ ක්ෂණික ආහාරපාන නොගත යුතු ය. එමෙන් ම ආසාත්මිකතාවන් ඇති වන ආහාර වර්ගවලින් ඈත් වී සිටිය යුතු ය. ගර්භනී සමයේ දී ස්වභාවික, දේශීය ආහාර පාන ගැනීමට උනන්දු වීම වඩාත් උචිත වේ. පිටරටින් ගෙන්වන ලද එළවළු, පලතුරු, මාංශමය ආහාර වර්ග හැර ස්වභාවික , දේශීය දෑ වලට මූලිකත්වය දීම වඩාත් වටින්නේ ය.දේශීය ගොවිපලවල්වලින් නෙලා ගන්නා ලද බෙහෙත් නොගැසූ පලතුරු ගර්භනී සමයේ දී ආහාරයට ගැනීම වඩාත් වැදගත් වේ.හැකි සෑම විටම නැවුම් එළවළු,පලතුරු, මස් මාංශ තෝරා බේරා ගැනීමට සැළකිලිමත් විය යුතු ය.
ගර්භනී සමයේ දී මවට බෝ නොවන රෝග වැළදී තිබේ නම් බිහිවන දරුවාට ද බෝ නොවන රෝග වැළදීමේ අවදානමක් තිබෙනවා නේද?
මවක් දියවැඩියාවෙන් පෙළෙන්නේ නම් මුල් සති 28 කාලයෙන් පසු දරුවා කුස තුළ මිය යෑමේ තත්ත්වයක් ඇති වීමට පුළුවන.තව ද මවක් දියවැඩියාවෙන් පෙළෙන්නේ නම් බිහි වන දරුවාට , සංජානීය ආබාධ ( හෘද වස්තුවේ සිදුරු ) , අත්පා වල විකෘතිතා ඇති වීමට පුළුවන. මව තමන්ගේ රුධිරයේ සීනී මට්ටම පාලනය කර නොගත හොත් බර වැඩි වීම නිසා දරුවා බිහි කිරීමේදී අපහසුතාවයන් ඇති වේ.
ගර්භනී සමයේ දී මවට අධික රුධිර පීඩනය තිබේ නම් පෙනහලු මෝරන විට විවිධ ගැටලු සහ හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වීමට පුළුවන. කාන්තාවක් දරුවකු බිහි කිරීමට සුදුසුම කාලය ලෙස අප හඳුන්වනු ලබන්නේ අවුරුදු 25-30 ත් අතර කාලය වේ. මවක් අවුරුදු 30 ට වැඩි වයසක දී දරුවකු බිහි කරන්නේ නම් ඩවුන් සින්ඩ්‍රෝම තත්ත්වයෙන් යුක්ත දරුවන් මෙන් ම ජාන වෙනස් වීම සහිත දරුවන් බිහි වීමේ අවදානම වැඩි වේ.
ගැබිනි මවක් අනිවාර්යයෙන්ම මතක තබා ගත යුතු ආහාර පුරුදු හා චර්යාවන් මොනවා ද?
ප්‍රධාන ආහාර වේල් 03 ම සමබල ආහාර වේල් විය යුතු ය. ප්‍රධාන ආහාර වේල් අතරට කෙටි ආහාර දෙකක් ගැනීම කළ යුතු ය.හොඳින් ජලය පානය කළ යුතු ය. පිපාසය දැනෙන තෙක් නොසිට පුරුද්දක් වශයෙන් ජලය පානය කළ යුතු ය.සීනී නොදැමූ හෝ සීනී අවම ප්‍රමාණයක් යෙදූ නැවුම් පලතුරු යුෂ වීදුරුවක් පානය කළ හැක.ගර්භනී බව යනු රෝගී තත්ත්වයක් නොවේ. එය ස්වභාවික තත්ත්වයකි. විශේෂ රෝගාබාධ නොමැතිනම් බර එසවීම් සිදු නොකර, සාමාන්‍යයෙන් එදිනෙදා දිවියේ දී සිදු කරන කාර්යයභාර්යන් සිදු කළ හැකි ය. අධික බර වැඩ සිදු නොකිරීමට මතක තබා ගත යුතු ය. විශේෂ රෝගාබාධ නොමැති නම් පුටුවක් උඩට වී මුළු දවස තිස්සේම නිදා ගෙන සිටීම කිසිදු විටකවත් සිදු නොකළ යුතු .නා පිරිසුදු වී සිටීම, මානසික සංසුන්භාවයෙන් යුක්ත වීම, වැදගත් ය. තව ද පහන් සිතුවිලි තුළින් සිත සංසුන් කර ගැනීම සදහා භාවනාවල නිරත විය හැකි ය. ගර්භනී මවකට සුදුසු මානසික සෞඛයට හිතකර පරිසරයක් තනා දීම සඳහා පවුලේ සහයෝගය ඇයට ලබා දීම ද අනිවාර්යයෙන් කළ යුතු ය.
ඇතැම් රෝගාබාධ ගැබිනි මවකට වැළදී තිබීමෙන් සංකූලතා සහිත දරුවන් බිහි වනවා. එවැනි රෝගාබාධ මොනවා ද?
මවකට දියවැඩියා තත්ත්වය වැළදී තිබේ නම් බර අඩු දරුවකු හෝ බර වැඩි දරුවකු බිහි වීමේ අවදානමක් ඇති වේ.මුල් කාලයේ දී මවට උණ, සෙම්ප්‍රතිශ්‍යාව, වැනි වෛරස් ආසාදන ඇති වී තිබේ නම් දන්නේ ම නැතිව කුස තුළ වැඩෙන කළලයට එය බලපායි. උදාහරණ ලෙස මව රුබෙල්ලා ආසාදනයට ලක් වුවහොත් මුල් මාස තුන කාලයේ දී උගුර රීදීම්, අසාත්මිකතාවන්, ඇති වීමට පුළුවන. රුබෙල්ලා ආසාදනය මගින් හදවත් සිදුරු, කන් ඇසීමේ දුර්වලතා, මොළයේ වර්ධනය අඩු වීම, වැනි තත්ත්වයන් ඇති විය හැකි ය.කාන්තාවක් විවාහ වන අවදිය වන විට රුබෙල්ලා එන්නත, ලබා තිබීම අනිවාර්යය වේ. ඒ මගින් දරුවකුට ඇතිවන අවදානම් තත්ත්ව වළක්වා ගැනීමට පුළුවන.
ගර්භනී සමයේ දී සාමාන්‍ය පරිදි ඖෂධ භාවිතා කිරීම නොසුදුසු ද?
ආගන්තුක ද්‍රව්‍යවලින් ( ඖෂධ වර්ග ) හැකි තාක් ඈත් වී සිටිය යුතු ය. රූපලාවන්‍ය ඖෂධ , විවිධ රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීමේන් වැළකී සිටිය යුතු ය.
Courtesy : silumina.lk

Related posts

බෞද්ධ උරුමයන් සම්බන්ධයෙන් අස්ගිරි විහාර පාර්ශවයෙන් ප්‍රකාශයක්

Shiran Viraj

මහ මැතිවරණයට ‘පුටුව’ සූදානම් කරනවා.

Shiran Viraj

මහින්ද දේශපාලනයෙන් සමු ගනී..? පොහොට්ටුවන් රනිල්ගේ නායකත්වයට..?

Shiran Viraj