mediahumanrights.lk
Entertainment Entertainment News News

නීටා වේදිකාවට

පසුගියදා පැවැති සුමති සම්මාන උළෙ‍ලේදී ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන යූ.ඩබ්.සුමතිපාල අනුස්මරණ සම්මානයෙන් පිදුම් ලැබූ නීටා ප්‍රනාන්දුගේ රංගන දිවියේ අලුත් වෙනසක් සිදුවී ඇති බව අපට දැනගන්නට ලැබුණා. ඒ ගැන වගේම ඇගේ  කලා දිවියේ නවතම තතුත් දැනගන්නත් එක්කයි අපි ඇයව මෙලෙස සංවාදයට එක්කාසු කරගත්තේ.
කාලයක් වේදිකාවෙන් ඈත්වෙලා හිටපු නීටා මේ දවස්වල ආයෙමත් වේදිකාවට ගොඩවෙලා නේද?
මම රඟපෑම ආරම්භ කළ අලුතම 1970දී ගුණසේන ගලප්පත්තිගේ සඳකිඳුරු නාට්‍යයට එකතු වුණා. ඒ තමයි මගේ මුල්ම වේදිකා රංගනය. ඒත් ඉන්පසු සිනමාවේදී කාර්යබහුල වීම නිසා වේදිකාවෙන් මට ඈත්වෙන්න වුණා. හැබැයි කාලෙන් කාලෙට ඉඳහිට වේදිකා නාට්‍යවලට එකතු වුණා. දැන් මම වේදිකා නාට්‍යයකට එකතු වෙලා තියෙන්නේ අවුරුදු 8කට විතර පසුවයි.
ඔබේ ඒ නවතම වේදිකා රංගනය ගැන කතා කළොත් ?
තනුජ් අනවරත්න නිර්මාණය කළ සඳ එළියට වෙඩි තියන්න නාට්‍යයේ තමයි මම මේ දිනවල රඟපාන්නේ. මා නිෂ්පාදන කළ නිසලගිර අධ්‍යක්ෂණය කළෙත් තනුජ්මයි. මේ මස 22 හා 23 දිනවල පුංචි තියටර්හිදී මෙම නාට්‍යය වේදිකාගත වෙනවා.
සිනමා හා ටෙලි නාට්‍ය රංගනයෙන් ඔබ දැන් ඈත් වෙලාද?
එහෙම දෙයක් නෑ. මම රඟපෑ තේජා හා ස්වර යන චිත්‍රපට ඉදිරියේදී තිරගත වේවි. ඒ වගේම ටෙලි නාට්‍ය කිහිපයකුත් විකාශය වීමට නියමිතයි.
නීටා ප්‍රනාන්දු නිළියක් වගේම නිෂ්පාදිකාවක්. අදහසක් නැද්ද අධ්‍යක්ෂණය පැත්තට යොමුවෙන්න?
අධ්‍යක්ෂණය කියන්නේ සුළුපටු රාජකාරියක් නමෛයි. මට හිතෙන්නේ මම තවම ඊට සුදුසු නැහැ කියලයි.
වේදිකාවේ, ටෙලි නාට්‍යය ක්‍ෂේත්‍රයේ, සිනමාවේ විවිධ චරිත රඟපෑ ඔබට තවමත් රඟපාන්නට නොහැකි වූ රඟපාන්න ආශාවෙන් සිටින චරිතයක් තියෙනවාද?
කන්‍යා සොයුරියකගේ චරිතයක් රඟපාන්න ආසයි. මම දායක වූ ඇතැම් නිර්මාණවල කන්‍යා සොයුරියන්ගේ චරිත ඇතුළත් වුණේ කතාවේ කේන්ද්‍රගත ප්‍රධාන චරිතය ලෙස ‍නෙවෙයි. මම කැමැති කන්‍යා සොයුරියන්ගේ චරිතය කේන්ද්‍ර වූ නිර්මාණයක ප්‍රධාන චරිතය රඟපාන්න.
ඔබ දශක ගණනක් කලාවේ රැඳී සිටියා. ඔබේ සමකාලීනයන් බොහොමයකගේ පවුල්වල පසු පරපුරේ අයගේ දූ දරුවෝ කලාවට පිවිසුණා. ඒත් ඔබෙන් පසු ඔබේ පරපුරේ කෙනෙකු කලාවට ආවේ නැහැ.
ඒක ඇත්ත. මගේ සහෝදර සහෝදරියෝවත් ඒ අයගේ දූ දරුවෝවත් කලාවට ආවේ නැහැ.
ඔබට දරුවකු සිටියා නම් කලාවට යොමු කරන්න තිබුණා යයි සිතෙන්නේ නැද්ද?
නැහැ. මට දරුවන් නැතිවීම ගැන මා තුළ කිසිදු දුකක් පසුතැවීමක් නැහැ. යම් විදියකට මට දරුවකු සිටියා නම් මම ඔහුගේ හෝ ඇයගේ ජීවිතය ළඟ විතරක් නතර වෙනවා. ඒත් දැන් මට සමාජයටම මෙහෙවරක් කරන්න පුළුවන්.
දේශපාලනයට යොමුවුණා නම් ඊටත් වඩා වැඩි මෙහෙවරක් කළ හැකිව තියෙනවා කියා සිතෙන්නේ නැද්ද?
කවදාවත් දේශපාලනයට යොමු වීමේ අදහස් මට ඇතිවී නැහැ. ඉදිරියේදී ඇති වෙන එකකුත් නැහැ.
ඔබේ සහෝදර නිළියක් වන මාලනී ෆොන්සේකා සහ ගීතා කුමාරසිංහ දේශපාලනයට යොමු වීම ගැන මොකද හිතෙන්නේ?
ඒක ඒ අයගේ කැමැත්ත. මම කවදාවත් කාගේවත් කැමැත්තක් විවේචනය කරන කෙනෙක් නමෛයි. ඔවුන් දෙදෙනා ගැනම මට සතුටුයි.

( උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි)

Related posts

‘තෝ දැනගනිං, ඉතාලිය මිනිස්සුන්ට ආදරෙයි.. හිරකරල නෑ..’- ඉතාලි නෑම්බියක් නියෝජ්‍ය පොලිස්පතිට බැණ වදී…

Shiran Viraj

සපුගස්කන්ද පිරිපහදුව වහයි..

Shiran Viraj

දිනකට සෙල්ෆි 3 කට වැඩිය ගන්නේ නම් මානසික රෝගයක්

Shiran Viraj