mediahumanrights.lk
Entertainment Entertainment News News

ධර්මයුද්ධයේ විශාඛා තමන්ගේ කළු චරිතය ගැන කියූ කතාව

ඔබට ඇමැති පදවියකුත් ලැබුණා නේද?
ඔය කියන්නේ ධර්ම යුද්ධය චිත්‍රපටයේ මම නිරූපණය කරන ‘විශාඛා’ ගැනණේ. අධ්‍යක්‍ෂක, කැමරා අධ්‍යක්‍ෂක වගේ කණ්ඩායමක් ඉන්දියාවෙන් ඇවිත් තමයි මේ චිත්‍රපටය කළේ. සිරසෙන් තමයි මට මේ නිර්මාණයට ආරාධනා කළේ. මම හරිම කැමැත්තෙන් මේ චරිතය නිරූපණය කළා.
ඔබ විශාඛා ලෙස නිරූපණය කරන්නේ දුෂ්ට චරිතයක්. ඒ ආරාධනාව ඔබ එකපයින් භාර ගත්තද?
මම සාමාන්‍යයෙන් චරිතයකට ආරාධනා කළාම ඒ චරිතයට දෙවැනි තෝරා ගැනීමක් තියෙනවද කියලා අහලා බලනවා. එහෙම අහන්නේ මට ඒ තෝරා ගත්ත කෙනාගේ පෙනුම සහ ඔවුන් ඒ කෙනාව තෝරා ගත්තේ ඇයි කියන අදහස ගන්න. මම මේ චිත්‍රපටයෙදිත් ඇහුවා ‘විශාකා’ ගේ චරිතයට දෙවැනි තෝරා ගැනීමක් තියෙනවද කියලා එතැනදී ඔවුන් කිව්වා ජැක්සන් නිරූපණය කළ චරිතයටයි මම නිරූපණය කළ චරිතයටයි ආදේශකයක් නැහැ කියලා. මම චරිතය භාර ගත්තා.
ඔබට චරිතයක් ලැබෙද්දී ඔබ සමඟ රංගනයෙන් දායක වෙන අනෙක් රංගන ශිල්පීන් ගැනත් ඔය වගේ හොයලා බලනවද?
මම අහන්නේ මගේ චරිතය ගැන විතරයි. අනෙක් චරිත රඟපාන්නේ කවුද කියලා අහන පුරුද්දක් මට නැහැ. මට ඕන කෙනෙක් එක්ක සුහදව රඟපාන්න පුළුවන්.
සමහර රංගන ශිල්පීන්, ශිල්පිනියන් සුදු චරිත නිරූපණය කරන්න විතරයි කැමැති. ඔබට රංගනයේදී කළු චරිතයක් වෙන්න අකමැත්තක් තිබ්බේම නැද්ද?
එහෙම සුදු චරිත විතරක් කරන්න කැමැති අය ඉන්නවා. හැබැයි මම සුදු චරිතයක් වෙන්න කැමැති පෞද්ගලික ජීවිතයේදී විතරයි. රංගනයේදී මට චරිතය සුදුද කළුද කියන එක වැදගත් නැහැ. මම නිරුවත් චරිත හැර වෙන ඕනම චරිතයක් කරනවා.
නිරුවත් චරිත කරන්නේ නැත්තේ පෞද්ගලික ජීවිතේ සුදු චරිතයට හානියක් වෙන නිසාද?
මගේ ජීවිතේ අංක එක පවුල. මම රංගන ශිල්පිනියක් වීම මගේ පවුලට බාධාවක් වෙන්න බෑ. මම දියණියක්, බිරියක්, මවක් සහෝදරියක් විදියට ඉන්න ඕන. මම පවුලත් එක්ක බැඳිලා ඉන්න කෙනෙක්. මගේ දරුවෝ කවදාවත් කැමැති වෙන්නේ නැහැ මම ඒ වගේ චරිතයක් රඟපානවට. මම පවුලට මුල් තැන දෙන නිසා ස්වයං වාරණ ටිකක් දාගෙන ඉන්නවා. ඒ ස්වයං වාරණ ඇතුළේ තමයි මම රංගනයට සම්බන්ධ වෙන්නේ. මගේ ජීවිතේ පළමු තැන කලාවට තිබ්බා නම් මම ඔය වාරණවලට හසුවෙන්නේ නෑ.
ඔබේ ජීවිතේට කොහෙත්ම සමාන නැති කළු චරිතයක් නිරූපණය කිරීම පහසු වුණාද?
ඇත්තටම මම සැබෑ ජීවිතයේදී ළමයෙක්ට සැර කරන්නෙවත් නෑ. දරුවෙක් අඬනවා අහගෙන ඉන්නත් මට බෑ. නමුත් චරිතයට සාධාරණයක් කරන්න මම උත්සාහ කළා. මම ජැක්සන් එක්ක එකට රඟපෑ පළමුවැනි අවස්ථාව මේක. මගේ රංගනය යම් තැනකට ගේන්න ජැක්සන්, කුමාර තිරිමාදුර, රොෂාන් වගේ ඒ රංගනයන් කළ සියලු දෙනාගේ සහාය හේතුවක් වුණා. ඔවුන්ගේ සහාය එක්ක මට මගේ රංගනය කරන්න පහසු වුණා. වෛරය, කේ‍රා්ධය ඉස්මතු කරනවට වඩා මවුපියන්ගේ දාරක ස්නේහය කොච්චර බලවත්ද කියලා පෙන්වන්න මම උත්සාහ කළා.
විශාඛාගේ චරිතය තුළ ඔබ සාර්ථක රංගනයක නිරත වුණා කියලා විශ්වාස කරනවද?
ඒ චිත්‍රපටය මීට කලින් වෙන භාෂාවලින් කරලා තිබ්බා. නමුත් මම ඒ චිත්‍රපටය බලලා තිබ්බේ නැහැ. අපි අපේ රටට ගැළපෙන විදියට ඒ චරිතය කළා. මගේ රංගනය බැලන්ස් කරගන්න සිදුවුණා. මොකද නැත්නම් එය ඕවර් ඇක්ට් එකක් විදියට පේන්න තිබ්බා. මුහුණේ ඉරියව්වලට මුල් තැන දීලා මම රංගනය ඉදිරිපත් කළා. මම හිතනවා මගේ ඒ ව්‍යායාමය සාර්ථකයි කියලා.
ලැබෙන ප්‍රතිචාරත් ඔය කියන සාර්ථකත්වය මැන ගන්න බලපාන්න ඇති?
ඇත්තටම ඉතා විශාල ප්‍රතිචාර ප්‍රමාණයක් ලැබෙනවා. මගේ දරුවෝ වගේම ශ්‍රියන්ත පවා කිව්වා මම ඒ චරිතය හොඳින් නිරූපණය කරලා තියෙනවා කියලා. ශ්‍රියන්ත මට කිව්වා “ඔයාව දැක්කම හරි බය හිතෙනවනේ” කියලත්. ඇත්තටම ලැබෙන ප්‍රතිචාරත් එක්ක ගොඩක් ලොකු සතුටකින් මම ඉන්නේ.
අධ්‍යක්‍ෂවරයාත් ඔබේ රංගනය ගැන සතුටු වුණාද?
අධ්‍යක්‍ෂවරයා එක් අවස්ථාවක ප්‍රගීත් රත්නායකට කියලා තිබ්බා කුසුම්ව ඉන්දියාවට එක්ක ගිහින් ටෙලි නාට්‍යයක් කරනවා කියලා. එය ප්‍රගීත් මට කිව්වම හිතුණා අධ්‍යක්‍ෂවරයා මං ගැන සෑහීමකට පත්වෙන්න ඇති කියලා. නමුත් අධ්‍යක්‍ෂවරයාගේ සතුට දකින්න බැරි වුණා ඔහු මෑතකදී මියගිය නිසා.
ඔබත් මවක්. සැබෑ ජීවිතයේදී ඔබේ දරුවන් වෙනුවෙන් ඒ වගේ ඕනම කැප කිරීමක් කරන්න ඔබ සූදානම්ද?
අනිවාර්යයෙන්ම. අම්මෙක්ට, තාත්තෙක්ට දරුවෙක් වෙනුවෙන් මැරෙන්න වුණත් පුළුවන්. ලේ කිරි කරලා පොවලා හදපු දරුවෙක් වෙනුවෙන් ඕනම කැපකිරීමක් කරන්න පුළුවන්. මගේ දුවලා දෙන්නා වගේම මගේ දුවලාගේ ජීවිතවලට එකතු වුණු පුතාලා වෙනුවෙනුත් මට ඕනම කැප කිරීමක් කරන්න පුළුවන්.
සිනමාවේදී ඔබව වෙනස් හැඩයකින් ප්‍රේක්‍ෂකයන් අතරට ගෙනාපු හොඳම අවස්ථාව මේ චිත්‍රපටය කියලා හිතනවද?
ඇත්තටම මම මේ වෙලාවේ නිර්ලෝභීව දෙයක් කියන්න ඕන. කුසුම් රේණු කියන මාව වෙනස් පැතිවලට හැරෙව්වෙ සිරස මාධ්‍ය ජාලය. නෝනාවරුනි මහත්වරුනි ටෙලි නාට්‍යයේ මධුගේ චරිතය කරපු මට දාමිණි නාට්‍යයේ මාලනි වගේ සීරියස් චරිතයක් කරන්න අවස්ථාව ලැබුණා. මම ඒ වෙනකොට වේදිකාවේ හිටියත් මාව ප්‍රේක්‍ෂකයන් අතරට ගෙනිච්චේ සිරස. මට දුෂ්ට චරිතයක් දෙන්නෙත් සිරස. ඒක මට ලැබුණු හොඳම හොඳ අවස්ථාවක්. මම කොමඩි චිත්‍රපටයකත් ඇමැති චරිතයක් නිරූපණය කළා. ඒක ඉදිරියේදී තිරගත වෙයි.
ඔබ මේ දිනවල නම් පුංචි තිරයටත් වඩා වේදිකාවට මුල් තැන දීලා තියෙනවා නේද?
ඔව්. මම වසර දෙකක් විතර ටෙලි නාට්‍ය අතලොස්සක විතරයි රඟපෑවේ. හරියට පිටපතක් නෑ. ඒ කාර්යය තුළ තියෙන වෙහෙසත් නිසා මම පුංචි තිරයේ වැඩවලට දායක වුණේ අඩුවෙන්. හැබැයි මම රාස්ස පරාස, සුදු සහ කළු, සුබ සහ යස, ජසයා සහ ලෙංචිනා, පොත් ගුල්ලි, චෞද්රි වෙස්ගත් බොස් සහ ජයන්ත චන්ද්‍රසිරිගේ හංකිති දහතුන වේදිකා නිර්මාණවලට සම්බන්ධ වෙනවා. ඇත්තටම ජයන්තගේ අධ්‍යක්‍ෂණයෙන් මගේ රංගන ජීවිතයට ලබපු පන්නරය අති විශාලයි. මම කරපු ‘ධර්මයුද්ධය’ චිත්‍රපටයේ සාර්ථකත්වයටත් ඒ පන්නරය බලපාන්න ඇති. ඊට අමතරව මාපිටිගම අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍යයකටත් මම රංගනයෙන් දායක වෙනවා. ඒකත් වෙනස් මුහුණුවරක් තිබෙන නාට්‍යයක්.
දැන් පොඩි දුව දීග යන්නත් ලෑස්තියි නේද?
ඔව්. ලබන වසරේ මුල පොඩි දුවගේ විවාහය සිද්ධ වෙනවා. මම විවාහ වෙලා වසර තිස් පහක් යන්න කලින් මගේ දුවලා දීගතල දෙන්න මගේ හිතේ අදහසක් තිබ්බා. දැන් මම විවාහ වෙලා වසර තිස් එකක්. ඒ වෙද්දී මට මගේ ඉලක්කයට යන්න පුළුවන් වුණා.
(මව්බිම පුවත් පත ඇසුරෙනි)

Related posts

එලවළු සැපයුම තවත් බහී.. රටපුරා ආර්ථික මධ්‍යස්ථාන වසා දමන්න සැරසේ..

Shiran Viraj

හඳුනාගත් වැරදි 33ක් සඳහා නව ස්ථානීය දඩ නියම කරයි

Shiran Viraj

ඉසුරුපාය ඉදිරිපිට උපවාසයක් අරඹයි….

Shiran Viraj