mediahumanrights.lk
Entertainment Entertainment News News

තාරුණ්‍යයේ නවමු කඩයිම් සොයා යන සීමා නෑ ආකාසේ

සොක්‍රටීස් දෝතින්ම ගෙන වස බඳුන බොයි. මඛාදේව ජාතකයේ එන රජු දේව ධර්මයට සවන් දෙනු පිණිස මරණයේ මකර කටට පනී. එවන් පුරාවෘත්ත දන්නා අයවලුන්ට බයිබලයේ පැරණි තෙස්තමේන්තුවේ එන ජීවිත කාලයක් තුළ මිනිසෙක් සැබෑ මරණයට පෙර දස දහස් වරක් මැරි මැරි ජීවත්වන බවට වන සඳහනත් අලුත් යමක් නොවනු ඇති.
අළු ගසා මරණයෙන් නැඟී සිටින බව කියන්නේ ෆීනික්ස් පක්ෂියා. ‘අන්ධකාර සළු පොරවන් වැනෙන්නේ – වරෙන් උඹ තමයි මං මේ හොයන්නේ’ යැයි මහගම සේකර කවියා ලීවේ මරණයටමය.
මේ කොයිඹින් එබුණත් එබෙන්නේ මරණයේ අඳුරු පෙදෙසේ අහුමුලුවලටය. මරණය තරම් තවත් ජීවිත පාඩමක් මිනිසාට නැතැයි කියන කියමන ප්‍රකට කරන්නේ ද එයම විය හැකිය.
ලොව පුරා තිරගත කෙරුණු සිනමාපට රොත්තකින්ම ඊට උවම් සොයනු අපහසු නොවේ.
අසීමාන්විත ඒ ඉමේ, නුතන තාරුණ්‍යයේ නවමු කඩඉමකට අකුරු කෙරුණු තිර පිටපතකි ‘සීමා නෑ ආකාසේ’. අපූරු කතා වස්තුවක් පාදක කරගත් නිර්මාණයක් විදියට පසුගියදා පැවැත්වුණු මාධ්‍ය දර්ශනයෙන් ඉක්බිතිවත් කතාබහට ලක් වූ මේ තිරපිටපත වානිජ සිනමාපටයකට උචිත අන්දමට හරවන්නට සිදු වූ බව එහි අධ්‍යක්ෂවරයා වරක් කීය. ඒ කුමකින් කුමක් වුවත් වෙනස් තාලේ සලරු ඇමිණුමක් වශයෙන් ඇගැයුමට ලක්වෙමින් තිබෙන ‘සීමා නෑ ආකාසේ’ ළඟදීම තිරගත කිරීමට නියමිතය.
නූතන මැද පන්තියේ තාරුණ්‍යයෙන් උගුල්ලාගෙන මේ චිත්‍රපටය අපට ගෙනහැර පානා යුවළකි. යුවතිය අපේක්ෂාය. යෞවනයා ඉසුරුය. අපේක්ෂාට තවදුරටත් ජීවන අපේක්ෂාවක් නැතුවාය. ඉසුරුට ජීවිතය එපා කරවා තිබුණේ යස ඉසුරුමය.
නූතන වෙළෙඳ සමාජ ක්‍රමය ඉදිරියේ නන්නත්තාර වන මේ දෙපළ දෙමඟකින් පැමිණ එකම ගරාවැටුණු පරණ ගෙඩනැගිල්ලක නවතී. මුලින් එහි පැමිණ හිඳින්නී අපේක්ෂාය. දිවි තොරකර ගන්නට ගින්න තෝරාගත් ඈ පසුතැවිලි වන්නී ඈ ළඟ නැති ගින්දර උදෙසාමය. ඉසේ සිට පාදාන්තය තෙක් වත්කර ගත් භූමිතෙල් තෙත පිටින් ගින්දරක් සොයමින් අපේක්ෂා ළතැවෙයි.
මියැදෙන්න ගින්දර සොයනා අනපේක්ෂිත අපේක්ෂාට අනපේක්ෂිතවම මුණගැසෙන ඉසුරු නිසා එකම එක අපේක්ෂාවක් උපදී. ඒ වෙන මොනවාවත් නොව ඔහු ලවා ගින්දර ගෙන්වා ගන්නටය.
ඉඳින් අපේක්ෂාට ගිනි අවුළුවා ගන්නට ගින්දර සොයා දෙන්නට ඉදිරිපත් වන්නා ඉසුරුය. ඉසුරු ද ඒ වන විටත් කරවටක් ණය බරෙන් ගිලී සිටින්නෙකි. ඔහු අපේක්ෂාගෙන් වෙනස් වන්නේ මරණයේ ගංතෙරින් එගොඩ වන්නට තේරාගත් වෙනස් හිතුවක්කාර මඟ අතින් පමණකි. ඉසුරු සිතන්නේම අපේක්ෂා හා ඔහු හමු වූ ගරා වැටුණු උස ගොඩනැගිල්ලෙන් බිමට පනින්නටයි. මේ එකිනෙකා තරඟකාරී සමාජ රැලි දිගේ හති වැටෙනතුරු දිවූ ගමනින් පරාජය වූවන්ය. ඒ පැරදුම ඔවුනොවුන් බාර ගන්නා අන්දම විටෙක අනුකම්පා සහගතය. විටෙක ශෝචනීයය. තවත් විටෙක රොමාන්තික සහ සරාගිකය. එනමුත් එය දුරදිග නොබලන සුළු නූතන තාරුණ්‍යයේ බහුතරයකට ඇල්ලූ කන්නාඩියක් බඳුය. අපේක්ෂා සහ ඉසුරු එකිනෙකාට කරගන්නා ආත්ම කථන පාපෝච්චාරණ වේශයක් ගනී. ඒ ඔස්සේ වර්ණ ගැන් වුණු රූ ඇමුණුමයි ‘සීමා නෑ ආකාසේ’ .
රංගනයට එක් වූ සමහර මාධ්‍යවේදීන් පිළිබඳ මතක දුලබ නොවුණත් මාධ්‍යවේදිනියන් රංගනයට පිවිසීම එතරම්ම සුලබ නොවෙයි. ඒ අතින් බලන කළ සීමා නෑ ආකාසේ අලුත්ම නිළියක් ප්‍රධාන චරිතයකින් සිනමාවට හඳුන්වා දෙන්නාක් මෙන්ම ඈ මාධ්‍යවේදිනියක් වශයෙන් වෘත්තියේ යෙදෙන්නියක වීමත් සීමා නෑ ආකාසේ හරහා කතාබහට ලක්වූවකි.
පුබුදු චතුරංග, අරුණි මල්ලවාරච්චි, ධනංජි තාරුකා, කෙෂාන් ශෂින්ද්‍ර, ශ්‍රියානි අමරසේන, බුද්ධදාස විතානාච්චි, සංගීතා තදානි බස්නායක ආදීහු සීමා නෑ ආකාසේ හි රඟති.
තිර රචනය සහ අධ්‍යක්ෂණය නිහාල් බණ්ඩාරගෙනි. සහාය අධ්‍යක්ෂණය සුනෙත් රසාංගය. කැමරාව අයේෂ්මන්ත හෙට්ටිආරච්චිගේය. අංග රචනය නලින් ප්‍රේමතිලකගෙනි. කලා අධ්‍යක්ෂණය දීප්ති මංගලසෝමය. සංස්කරණය ප්‍රවීන් ජයරත්නගෙනි. නිෂ්පාදන කළමනාකරු ශ්‍රීලාල් වික්‍රමගේය. සංගීත අධ්‍යක්ෂණය සංඛ රුවන්දිත සහ ශෂින් ගිම්හාන් පෙරේරාගෙනි. ගැයුම් ඉමේෂා මුතුකුමාරි සමඟින් චමරි පෙරේරා, කෞෂික් මලින්ද හා ඩිල්ෂාන් සමරසිංහගෙනි. ජගත් ජයවර්ධන සංගීත සංයෝ්ජනයට එක් වූ සීමා නෑ ආකාසේ ඇක්ටිව් මෝෂන් පික්චර්ස් වෙනුවෙන් තිස්ස බාලසූරිය ආරච්චිගේ නිෂ්පාදනයකි.
(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

Related posts

හිරු රූපවාහිනිය හොද නැතැයි කියා හරීන් එහි මයික‍්‍රෆෝනය ගලවා දමයි.. සිරස නාලිකාව හොදයි කියයි..

Shiran Viraj

රෝහල් ගතවන රෝගියෙකුට විකල්ප දෙකයි.. එක්කෝ නැවත ගෙදරට.. නැතිනම් මල් ශාලාවට…

Shiran Viraj

මාතලේ කොටසක් ලොක්ඩවුන්..

Shiran Viraj