mediahumanrights.lk
Local News News Political

මැතිවරණ කල්දැමීමට රජයට අවශ්‍යතාවයක් නෑ – ෆයිසර් මුස්තාපා

සීමානීර්ණ අභියාචනා කටයුතු අවසන් කොට ඇති මෙම වකවානුවේ පළාත් පාලන ආයතන සදහා මන්ත්‍රීන් සංඛ්‍යාව සංස්ථාපනය කිරීමේ වගකීම තමන්ට පැවරී ඇතැයි පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පැවසීය.
දේශපාලන හේතු නිසා මැතිවරණ කල්දැමීමක් ඉතිහාසයේ ඇතැම් අවස්ථාවල සිදුව ඇති නමුත් දේශපාලන මුහුණුවරකින් කිසිදු අවස්ථාවක මැතිවරණ කල් දැමීමේ ක්‍රියාමාර්ගයක් මෙම රජය දියත් නොකරන බව ඒ මහතා ඉකුත්දා (04) මහනුවරදී මාධ්‍ය හමුවේ කීවේය.
ශ්‍රී දළදා මාලිගාවේදී අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ බැහැදුටු අමාත්‍යවරයා අනතුරුව මල්වතු මහා විහාරයේදී එම පාර්ශවයේ මහා නායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ බැහැදැක මැතිවරණය සම්බන්ධයෙන් වත්මන් ක්‍රියාමාර්ග දැනුම් දුන්නේය.
යම් තරමක් හෝ මැතිවරණ කාලය ප්‍රමාදවුවත් සියලු පක්ෂ සදහා සාධාරණය ඉටුවන ලෙස මැතිවරණය පැවැත්වීම වඩා වැදගත් වන බව මල්වතු පාර්ශවයේ මහා නායක හිමිපාණන් තමන් වෙත පැවසූ බව කී අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ මෙසේ ද කීවේය.
සීමා නීර්ණ අභියාචනා ක්‍රියාදාමය මේ වන විට සිදුකර අවසන්. නමුත් සමහර සුළු පක්ෂ මෙම ක්‍රමය මගින් අසාධාරණයක් සිදුවන බව ප්‍රකාශ කර තිබෙනවා. මේ පිළිබදව සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පවත්වනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කිසිදු පක්ෂයකට අසාධාරණයක් සිදු නොකරන නායකයෙක්. සියලු දෙනාට සාධාරණය ඉටු කිරීමට කටයුතු කරන අතර කිසිදු අයුරකින් මෙම ඡන්දය ප්‍රමාද කිරීමේ අවශ්‍යතාවයක් අපට නැහැ.

ඉදිරියේදී පළාත් පාලන ආයතන සදහා මන්ත්‍රි සංඛ්‍යාව සංස්ථාපනය කිරීම සිදුකිරීමට නියමිතයි. සියයට විසිපහක කාන්තා නියෝජනයක් ලබාදීමට ද පාර්ලිමේන්තුවේ එකගත්වය ලැබී තිබෙනවා. ඒ නිසා අපට නව සංශෝධන කිහිපයක් සිදුකිරීමට සිදුව තිබෙනවා. මැතිවරණ කොමසාරිස්වරයාත් සංශෝධන කිහිපයක් ඉදිරිපත් කොට තිබෙනවා. සියලු දෙනාට සාධාරණයක් ඉෂ්ටවෙන මැතිවරණයක් පැවැත්වීමටයි රජය අපේක්ෂා කරන්නේ.
මැතිවරණය ප්‍රමාදවීම දේශපාලන වේදිකාවක් බවට පත් කර ගැනීමට ඇතමුන් උත්සහ කරනවා. නමුත් ඊට ජනතාව හසුවන්නේ නැහැ. උතුරු පළාත් පාලන ඡන්දය පැවැත්වීමේදී එම ඡන්දය නොපැවැත්වීමට පසුගිය පාලනය හේතුවක් කර ගත්තේ 2012 අංක 21 දරන පනත උපයෝගීකර ගනිමිනුයි. ඡන්ද ප්‍රමාද කිරීමට දේශපාලන හේතු ඉතිහාසයේදී යොදා ගත්තත් අප රජය එවැනි ක්‍රියාමාර්ග ගන්නේ නැහැ.
සියලුම පක්ෂවල අදහස් ලබා ගනිමින් එම පක්ෂවලට ද සාධාරණ වන ලෙසයි මැතිවරණ පැවැත්වීමට අප කටයුතු කරන්නේ.
දූෂණය, අක්‍රමිකතාව වැළැක්වීම සදහා ජනතා විමුක්ති පෙරමුණ විශාල කාර්යයභාරයක් සිදුකරනවා. සුලුතර ජනතාවගේ අදහස් දරන පක්ෂයන්ගේ ඡන්ද පදනම ආරක්ෂාකර දීම රජයේ වගකීමක් වන බව අපි දන්නවා. නමුත් සමානුපාතික ඡන්ද ක්‍රමයකට යොමුවීම එහි විසදුම නොවෙයි. කොට්ඨාශ ක්‍රමය හා මිශ්‍ර ක්‍රමය තුළින් ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂවල ඡන්ද පදනම ආරක්ෂා කිරීම ප්‍රජාතන්ත්‍රවාදී වගකීමක් වන බව අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

ඉන්ධන ඉල්ලා පාර වසා විරෝධතා….

Shiran Viraj

මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 63ක්

Shiran Viraj

අගමැති බෙරුණේ නැත්නම් ජනපතිත් පසෙකට

Shiran Viraj